වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය අබේ ඔබේ සිහිනය සැබෑ කළෙමි

ආදරණීය අබේ ඔබේ සිහිනය සැබෑ කළෙමි

නිරංජලා සරෝජිනී

රැළකින් තනි වී, වන මැද සරනා

කැකුළු තුරුණු යාමේ

ඇතෙකුට ඇත් දළ යුවළක් වාගෙයි

මට ඔබගේ ප්‍රේමේ . . .’

සංසාර ගිරි දුර්ගයේ, විඩාබර දිවි ගමනට අපමණ සවියක් රැකවරණයක් වූ ඒ සැළමුතු සෙනෙහස පිළිබඳ ඔහු පෙර දිනක ගැයුවේ එලෙසිනි.

නමුදු ඒ සෙනෙහස ලබන්නට ඔහු අද මෙලොව නැත. ප්‍රිය බිරිය නිරංජලාවන්ගෙන් මෙන්ම අප සැමගෙන් ද වෙන්ව ඔහු සිය ඉරණම් ගමන් ගොස් දැන් තෙවසරක් ගතව ගොසිනි. එහෙත් අබේවර්ධන බාලසූරිය නමැති ඒ මියුරු හඬ, ගායන පෞරුෂය අප දෙසවන්හි නිබඳ රාව, ප්‍රතිරාව නංවයි.

ඊයේ මෙන්ම ඒ ගී හඬ මතු දිනයේ ද සහෘද හදවත් හි ජීවමාන කරවීමට ඈ දරන්නේ අප්‍රමාණ වෙහෙසකි. අබේ – නිරංජලා යුවළ කලකට පෙර ගැයූ දේශාභිමානි ගී සරණිය ‘රන් දිවයින’ නමින් හෙට (12) රසික දෝතට පිරිනැමෙන්නේ වෙසෙසින්ම නිරංජලාවන්ගේ ඒ වෙහෙස, මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනි. හෙට සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එය එළි දැක්වේ.

‘රන් දිවයින’ ගී එකතුවේ විශේෂත්වයක් තියෙනවා. දේශභිමාන ගීත දහසයක් ඇතුළත් සංගත තැටියක් තනිව හෝ ගායක ගායිකා යුවළක් විසින් මෙතෙක් එළි දක්වා නැහැ. මේ එවැනි කටයුත්තක් කෙරෙන මුල්ම වතාව. අබේ මේ ගීත එකතුව එළි දක්වන්න හිටියේ 2008 වසරේ අපේ 60 වැනි නිදහස් වජ්‍ර ජයන්තිය වෙනුවෙන්. නමුත් එයා අසනීප වුණ නිසා ඒ කාර්යය නිම කර ගන්න බැරි වුණා.

නිරංජලාවෝ සිය හඬ එසේ අවධි කරන්නීය.
 

අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට

සිව් රියනේ හිත සතුටින් නිදන්නට

මිනිසකු විලස ඉපදුණු පල දකින්නට

පුළුවනි මරණ මංචකයේ වුවද මට

එදා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද වැලකට ආචාර්ය වික්ටර් රත්නායකයන් සත්සර නද මුසු කළ අබේ ගේ මේ අතිශය ජනප්‍රිය ගීතය ද මෙම ගීතාවලිියට ඇතුළත්ය.
 

ලඹ දෙන සිතියම් පොතේ

පුංචි රන්මුතු කඳුළු බිංදුව

ඇස් දෙකේ තියා ගන්නම්

හදවතේ පුරෝගන්නම්

හිස දරාන සුරකින්නම් . . .

ලූෂන් බුලත්සිංහල ගේය පද රචනයෙන් දායක වූ එම ගීතය එච්. එම්. ජයවර්ධනගේ සංගීත නිර්මාණයකි. අබේ – නිරංජලා යුවළ විසින් ගැයූ මේ මියුරු ගීය ද ‘රන් දිවයින’ට ඇතුළත්ය.

අබේගේත්, මගේත් පැරැණි ජනප්‍රිය ගීත වගේම ඔහු අසනීප වෙන්න කලින් 2007 වසරේ දී පමණ පටිගත කළ ගීත හතක් මේ සංගත තැටියට අඩංගුයි. ඒ ගීත සියල්ලන්ගේම පදමාලා ඇතුළත් පොත් පිංචකුත් මේ සංගත තැටිය එක්ක ලබා දෙනවා.

‘අපට අපේ රට තරම් සොඳුරු රටක් තවත් නැත. අපට පායන ඉර හඳ තරම් දීප්තිමත්, ඉරක්, හඳක් තවත් නැත. අපේ අහස තරම් නිල්වන් අහසක් නැත. අපේ පොළොව තරම් සාර පොළොවක් නැත. අපේ නදී, ඇළ දොළ, ගංගා තරම් සිසිල දෙන ජල සම්පතක් නැත. මේ අපේ රත්තරන් රටයි. ‘රන් දිවයින’යි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ ‘රන් දිවයින’ ගීත එකතුවට සිය අදහස් ගොනුකර ඇත්තේ එලෙසිනි. එහෙත් අපේ මේ පින් බිමේ අගය, වටිනාකම තේරුම් නොගත් පිරිස් ද කොතෙකුත් වේ.

‘ඔබෙත් මවයි ඇය – මගෙත් මවයි ඇය

ප්‍රාණය හද තුළ ගැසෙන තුරු

සියවස් දහසක් රැකගත් නිදහස්

උරුමය අයිතිය රැකිය යුතු’

‘රන් දිවයින’ ගීත සංගෘහිතයේ ඇතුළත් මෙබඳු ගීයකින් අප හදවත් හි ජනිත වන්නේ අපේ රට, දැය පිළිබඳ අභිමානයකි. ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි. අපේ මව රැක ගන්නවා සේම උපන් බිම රැක ගැන්ම ද අපේ පරම යුතුකමක් බැව් මේ ගීයෙන් පේ‍්‍රමකීර්ති ද අල්විස් අපට සිහිපත් කරයි. සෝමපාල රත්නායක සංගීතවත් කළ මෙම ගීතයට හඬ මුසුකර ඇත්තේ නිරංජලා සරෝජිනී ඇතුළු පිරිසයි.

ඒ කාලේ අපි සරල ගී වැඩ සටහන්වලට අනිවාර්යයෙන්ම දේශාභිමාන ගීතයක් ගායනා කරනවානේ. ඉතින් එහෙම එකතු වෙච්ච ඒවා කීපයකුත් මේ සීි. ඩී. එකට ඇතුළත්. ප්‍රවීණ ගී පද රචකයන්, සංගීතවේදීන් මේ ගී නිර්මාණයෙන් අපට දායක වෙලා තියනවා. ඉතින් දැන් අබේත් ජීවතුන් අතර නැති හින්දා මමත් ගීත ගායනයෙන් බැහැරව සිටින නිසා මේ ගීත එකතුවට දායක වූ සංගීතවේදීන් තුන් හතර දෙනෙක් එකතු කරලා ඒ ගීත එදාට ඔවුන් ලවා ගායනා කරවනවා. මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, සංගීතවේදී සමන්ත පෙරේරා එදිනට අබේ වෙනුවෙන් නිර්මාණය කළ ගීත හතරක් සජීවීව ගයනවා.

‘රන් දිවයින’ ගීතාභිනන්දන උළෙලේ සත්සර වැයුම විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය වෙතිනි. විසිතුරු රැ¼ගුම් බුදවත්ත රංගායතනයේ සිසු කැල ඉදිරිපත් කරන අතර රංග වින්‍යාසය කලා ශූරී කුලසිරි බුදවත්ත, හේමාලි බුදවත්ත විසින් සිදු කරනු ලබති. අගැයුම් දෙසුම් මහාචාර්ය සරත් විජේසූරිය හා මාධ්‍යවේදී, ගීත රචක ලූෂන් බුලත්සිංහල ගෙනි. රූසර ගෙතුම් රවීන්ද්‍ර ගුරුගේ ප්‍රමුඛ ඊ. ඍ. ඊ පිරිවර සිදු කරන අතර මෙහෙයුම් හැඟුම් සමන් අතාවුදහෙට්ටි සහ නිරංජලා සරෝජිනී ගෙනි.

සනත් අයියා අබේට හදපු ‘මං නැතිදා’ ගීතය එදාට ඔහු විසින් ගයනවා. වික්ටර් අයියා ‘ගංගා එන්නකෝ ගංගා’, ‘අවසන් හුස්ම පොද’ ගීත දෙක ගායනා කරනවා. සමන්ත පෙරේරා ඔහු හැදූ ගීයක් ගයනවා. මගේ ගීත දෙකක් ර්‍ථතචර ඕචජඬ කරලා ඊට නර්තන අංගයන් දෙකක් එකතු කර තිබෙනවා. එදිනට අපේ ගීත ඇතුළත් වීඩියෝ පටයකුත් ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ කියන්නේ රූපවාහිනී නාළිකා සඳහා අප ගායනා කළ දේශභිමාන ගී ඇතුළත් වීඩියෝ ක්ලිප් එකක්.

‘රන් දිවයින’ ගීත එකතුවේ වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කොට ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නය. සංගීත නිර්මාණයෙන් වැඩි දායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පේ‍්‍රමකීර්ති ද අල්විස්, ලූෂන් බුලත්සිංහල, නිලාර් එන්. කාසිම්, මෛත්‍රී පනාගොඩ ‘රන් දිවයින’ට ගී පද සංකල්පනාවන්ගෙන් දායක වූ සෙසු පිරිසය. ගී තනු හා සංගීත නිර්මාණයෙන් වික්ටර් හා සනත්ට අමතරව නැසීගිය ප්‍රවීණ සංගීතඥ ලයනල් අල්ගම, සෝමපාල රත්නායක, නවරත්න ගමගේ, එච්. එම්. ජයවර්ධන මීට දායක වී තිබේ.

ඇත්තටම 60 වැනි නිදහස් සැමරුමට සමගාමීව ‘රන් දිවයින’ රසික දෝතට පිරිනමන්න අබේ ලොකු ආසාවකින් හිටියේ.ඒ් සඳහා කවරය පවා මුද්‍රණය කරලයි තිබුණේ. නමුත් අවාසනාවකට ඔහු ජීවත්ව සිටියදී එය කර ගන්නට බැරි වුණා. විශේෂයෙන්ම අබේ එදා ඉඳන්ම අපේ ගීත සංරක්ෂණය කළානේ.

ඉතින් ඔහුගේ මේ ඉටු නොවුණු ‘සිහිනය’ අබේ වෙනුවෙන් ඉෂ්ට, සිද්ධ කිරීමයි මගේ මූලික අරමුණ වුණේ. ‘රන් දිවයින’ අබේ – නිරංජලා විශිෂ්ට ගී 12 වැන්න ලෙසයි රසික සහෘදයා වෙත පිරිනැමෙන්නේ. එදාට සහන මිලකට අපි මේ සංගත තැටිය ලබා දෙනවා. ඊට අමතරව නිවසට පැමිණ මා හමු වී අවශ්‍ය අයකුට මේ සංගත තැටි ලබා ගන්න පුළුවන්.

තම නිර්මාණ සඳහා ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රමාණවත් ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බව බොහෝ ප්‍රවීණයන් නඟනා මැසිවිල්ලකි. ඒ පිළිබඳ මම ඇගෙන් විමසුවෙමි.

ඇත්තටම එහෙම අපේ ගීත ප්‍රචාරය වෙනවා අඩුයි. රටට ව්‍යසනයක් වුණාම තමයි මේ අයට දේහාභිමාන ගීත මතක් වෙන්නේ. ඒ වගේ වෙලාවට මේ ගීතවල වටිනාකම පැහැදිලිවම අපිට දකින්න පුළුවන්. නැතිනම් ඉතින් අපට මෙවැනි ගීත සඳහා වන අනුග්‍රහය ඉතාම අල්පයි. ඉස්සර අපි අවධි වන්නේ ප්‍රබුද්ධ ගීයකින් නැතිනම් දේශාභිමානීය ගීතයකින් ගුවන් විදුලිය හරහා ඇසෙන.

ඉතින් ඒ හැඟීම දැන් ඇතැම් මාධ්‍යවලට නෑ. සමහර මාධ්‍යවල එවැනි ගීත ප්‍රචාරය වුණත් ඉස්සර තරම්ම නෑ. අපි එදා හැම සරල ගී වැඩ සටහනටකටම වාගේ මෙවැනි ගීතයක් තෝරා ගත්තා. ඒවායේ වටිනාකම අද අපට තේරෙනවා. අද බොහෝ වෙලාවට තරුණ පිරිස අතින් නිර්මාණය වෙන්නේ බොළඳ, ආදර ගීත පමණයි. ඒවා එවෙලෙට ඇහුණා. එච්චරයි.

සිය සෙනෙහෙබර සැමියාගේ වියෝවත් සමඟින් ඈ එදා තිර අදිටනකින් යුතුව ගායන දිවියෙන් බැහැර වූවාය. තවමත් හොඳීන් ගී ගැයිය හැකි, මමෝරම්‍ය හඬකට උරුමකම් කියනා සිය ආදරණීය ගායන ශිල්පිනියගේ මේ තීන්දුව රසික සහෘදයන්ගේ සිත්තැවුලට හේතු වූවා නිසැකය. ඒ තීරණය රසිකයන්ගේ පාර්ශවයෙන් බලන කල්හි අසාධාරණයක් විය නොහැකිද?

ගීත ගායනයෙන් බැහැර වෙන්න මම ගත් තීරණයේ වෙනසක් නෑ. ගොඩක් අය මගෙන් ඉල්ලනවා ගීත ගයන්න කියලා. නමුත් ඒක ඉතින් මම දුකකින්වත්, කලකිරීමකින්වත් ගත්ත තීරණයක් නෙවේ, මට හිතුණා මම ඒ කැපවීම කළ යුතුයි කියලා. අනෙක් එක අපට හැමදාම ගයන්නත් බෑනේ. වයසට යනකොට අපේ හඬ නැතුව යනවා.

මේ තත්ත්වය උඩ මම එහෙම අයින් වුණ එක ගැන සතුටු වෙනවා. ඒ වගේම අබේ මා වෙනුවෙන් කරලා තියෙන දේවලට මට හිතුණා මේ ගමන මම තනියෙන් යා යුතු නෑ කියලා. නමුත් එයාගේ නම පවතින්නට මම මොනවා හරි දෙයක් කරනවා. ඉදිරියේදී අපි දෙන්නගේ ගීත පොතක් එළි දක්වන්න මම හිතාගෙන ඉන්නවා.

ඒ ඇගේ පැතුමයි. ජීවත්ව සිටිනා කාලයේ පවා සිය සැමියාගේ මෙන්ම බිරියගේ අගය, වටිනාකම වටහා නොගත් යුවතිපතීන් හට නිරංජලා සරෝජිනී නමැති මේ සැබෑ මිනිස් දියණියගේ ජීවන දර්ශනය උතුම් පරාමාදර්ශයක් වනු ඇතැයි මට සිිතේ.