වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය සරත් වික්‍රම තවත් වික්‍රමයකට සූදානම්

සම්මානනීය සරත් වික්‍රම තවත් වික්‍රමයකට සූදානම්

25 වැනිදා මහජන පුස්තකාලයට එන්න

කිරි මුහුදු වෙරළේ නැළැ වී තරංගා

කාගේද පිළිරු ඇඳී

ඒ රූප ඡායා . . .

ඔබගේ නොවේදෝ

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අභියෝගය චිත්‍රපටයට නුවන් ගුණවර්ධන ගැයූ මෙම ගීතය සංගීතයෙන් රස ගැන්වූයේ ඔහුය.

එපමණක් ද නොව රූකාන්තගේ මුතුකැට වැටෙනා (චිත්‍රපටය මාරියෝ ජයතුංගගේ හඬන කිංකිණි) නිමන්ත හේෂාන් ළමා වියේදී ගැයූ මගේ පොඩි යාළු ( චිත්‍රපටය ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අරගලය) යන ජනප්‍රිය චිත්‍රපට ගීත ඔහුගෙ මිහිරි ස්වර රටාය. ඉන් නොනැවතී ටෙලි සිතුවම් රැසකට මේ සොඳුරු සංගීතඥයා තම සංගීත ඥානය අපූරුවට භාවිත කළේය.

තීර්ථතරණය වෙනුවෙන් ශෂිකා නිසංසලා ගැයූ ‘කඩදාසි ඔරුව යාත්‍රා කරයි’ ප්‍රේමපාරමී හි කසුන් කල්හාර හඬ මුසු කළ ‘විකසිත සිත පාවෙන විට’ වැනි ගීත ඔහුගේ ටෙලි නාට්‍ය සංගීත නිර්්මාණ චාරිකාවේ අනන්‍යතා ලක්ෂණ බඳුය.

සරත් වික්‍රම.

අද අප කතා කරන සංගීත මැවුම්කරුවා ඔහුය. දශක හතරක සංගීතමය ඉතිහාසයක් ඇති මේ සම්මානීය සංගීතඥයා, වාදකයා පිළිබඳ විශේෂයෙන් අප කතිකාවතක් ගොඩ නැඟීමට සිතුවේ එළඹෙන 25 වැනිදා ඔහු විසින් සිදු කරන විශේෂ කටයුත්තක් හේතුවෙන්ය.

සරත් අයියේ ඔබේ වචනවලින්ම ඒ ගැන දැනගන්නට කැමැතියි?

මං වසර හතළිහක් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටියා. හොඳ ස්ථාවර ගමනක් ආවා. හැබැයි තනිවම නෙවෙයි. මගේ වටා සෑහෙන්න දෙනෙකු හිටියා. ඔවුන් මට උදව් කළා මං ඒවායින් පුළුවන් තරම් ඉදිරියට ගියා. ඉතින් මට හිතුණා මගේ ගමනට හයියක් වෙච්ච ඒ සහෝදර හිතවතුන්ව අගයන්න. ලබන අඟහරුවාදා ඒ කියන්නේ 25 වැනිදා සවස 4 ට කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදියි මේ චාම් උත්සවය තියෙන්නේ. මේක සහෘද සංවාද කේන්ද්‍රයේ සංවිධානයක්. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් මුඛ්‍ය දේශනය පවත්වනවා. බණ්ඩාර ඇහැළියගොඩ සහ අමිල ජයසේකර මේ අවස්ථාව මෙහෙයවනු ලබනවා.

තව මොනවද එදින සිදු කරන විශේෂ කර්යයන්?

සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට් නමින් පුංචි ප්‍රසංගයක් පවත්වනවා. එහිදී මේ කතාව ආරම්භයේදී ඔබ සඳහන් කළ ම’විසින් නිර්මාණය කරන ලද ඒ ජනප්‍රිය ගීත ඇතුළු තවත් ගීත රැසක් සජීවීව ඉදිරිපත් කරනු ලබනවා. ඇත්තටම ඒ මොහොත මටත් අමතක නොවන අවස්ථාවක් වේවි. එයට අමතරව මා සංගීතය සැපයූ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගී 16 කට පරිඝණක සංගීතය මුසු කොට වීර සෙබළු නමින් සී ඩී පටයක් මගේ චිත්‍රපට ටෙලි නාට්‍ය ගීත ඇතුළත් මුතු සහ සුළඟ නමින් තවත් සී ඩී පට දෙකක් එදින එළිදක්වනවා.

ඉස්සර තරම් ඔබේ අතින් ජනප්‍රිය චිත්‍රපට ගීත නිර්මාණය වූයේ නැහැ. මොකද ඊට හේතුව?

මීට කාලයකට ඉහතදී අපට නිර්මාණ කරගෙන යන්න නිදහසක් තිබුණා. ඒත් ඉස්සර වගේ බල බල කාලය අරන් නිර්මාණ කරන්න අමාරුයි. ඔන්න ඕකයි හේතුව.

මේ කතාව අතරතුර මං ප්‍රිය කරනවා ඔබේ ඉතිහාසය ටිකක් කෙටියෙන් දැනගන්න?

ඇත්තෙන්ම ඔබ ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. මොකද මගේ නිර්මාණ ගැන ගොඩක් අය දන්නවා වුණාට මං ගැන දන්න අය අඩුයි. මගේ ගම කඩුගන්නාව. පොඩි කාලේ ඉඳලා ගමේ බජව් පොලවල්වල මැන්ඩලීන් සර්පිනා ගැහැව්වා. පසුව කොහොම හරි මුදල් හොයාගෙන එකෝඩියන් එකක් ගත්තා. ගමේ සංගීත කණ්ඩායමකුත් හැදුවා. එක්තරා ප්‍රසංගයකදී මට ස්ටැන්ලි පීරිස් නම් දක්ෂ වාදකයා මට හමුවුණා. මගේ දස්කම් මත ඔහු මාව ඔහුගේ ෆෝචූන්ස් වාදක මණ්ඩලයට ගත්තා. ඉන් අනතුරුව මෙරට බොහෝ සංගීත සන්දර්ශනවලට, පටිගත කිරීම්වලට දායක වුණා. 1987 වසරේ තිමති වීරරත්නගේ වනබඹරා චිත්‍රපටයෙනුයි මං චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පටන් ගත්තේ. එම වසරේදීම හර්බට් රංජිත් පීරිස් කළ හිරුට මුවාවෙන් නාට්‍යයෙන් ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂණය ඇරැඹිණ. මේ වන විට මං චිත්‍රපට 30 ක සහ ටෙලි නාට්‍ය 150 ක විතර සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. 2010 වසරේ අරුංගල් ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් රයිගම්, සුමති සහ ඕ. සී. අයි. සී. යන සම්මාන උළෙලයන් තුනේම හොඳම සංගීතයට හිමි සම්මානය ගත්තේ මම.

ඔබේ සංගීත ගමන අතරතුරදී මෙරට අතිශය ජනප්‍රිය, තවත් විදිහකින් කිව්වොත් සදා අමරණීය ගීත හතරක සංගීත නිර්මාණය නැවත සකස් කිරීමට ඔබට භාරවනවා?

ජෝතිපාලයන්ගේ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි සහ මොහිදීන් බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි, මායා තමයි ඒ ගීත හතර. මං කළේ හින්දි තනු ඒ අයුරින්ම නැතුව ටිකක් වෙනස්කම් කළ එක. ජෝති සාමාන්‍යයෙන් කොපි ගීතයක් ගයන්නේ එම තනුවටමයි. මං හින්දි කොපියේ වෙනස්කමක් කළොත් ඔහු මේ නොනිමෙන දිවි ගමනේ සිංදුව කියන්න බැහැ කිව්වා. ඔහුට ඕනෑ වුණේ හින්දි මෙලඩිය ඒ අයුරින්ම හෝ මං නිර්මාණය කළ ස්වතන්ත්‍ර ගීයක් කියන්න. ඒත් මං ඔහුට මගේ අදහස පැහැදිලි කරලා දුන්නායින් පසුව මේ නොනිමෙන දිවි ගමනේ ගීතය මං වෙනස් කළ අයුරින් කියන්න කැමැති වුණා. ඒ වගේම කොයි තරම් සංගීතඥයෝ හිටියත් බුද්ධං සරණං ගච්ඡාමි ගීතය යළි ප්‍රතිනිර්මාණය කරන්න බෙග් මාස්ටර් අරගෙන ආවේ මගේ ළඟට. අදටත් ඇහෙන්නේ මං ප්‍රතිනිර්මාණය කළ අයුරින්මයි.

ඔබ වගේ අයකු නව පරපුර දෙස බලන්නේ කුමන අන්දමින්ද?

මෙහෙමයි. පුංචි පුංචි අඩුපාඩු හැර අලුත් අයගේ කිසිදු අඩුපාඩුවක් දකින්නට නැහැ. අප ආරම්භක යුගයේ අපට වැඩිය ප්‍රවීණයින්ගෙන් ඕනෑ තරම් උපදෙස් ගත්තා. මං කැමැතියි නව පරපුරේ අය මගෙන් යම් යම් දේවල් අහනවට. සංගීතය ගැන කියලා දෙන්න මං බොහොම ආසාවෙන් ඉන්නවා.

ඔබේ ප්‍ර‍්‍රසංගය ගැනම යමක් සඳහන්කර මේ කතාව අවසන් කරමු?

මෙය මගේ සිතේ කලක් තිබූ හීනයක්. සාමාන්‍යයෙන් උපහාර උත්සව තියන්නේ කලාකරුවකුටනේ. ඒත් මං කරන්නේ ඒකේ අනෙක් පැත්ත. ඉතින් වසර හතළිහක් පුරා මගෙත් එක්ක හිටපු බොහෝ දෙනෙකුව මං එදින බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමැතියි.