වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ලීටස් වේදිකා රංගනයක හතයි හතයි හතේ හතයි ඇරඹේ

ක්ලීටස් වේදිකා රංගනයක හතයි හතයි හතේ හතයි ඇරඹේ

ක්ලීටස් මෙන්ඩිස් දිගු කලකට පසු වේදිකා රංගනයට පිවිසෙන පීටර් වෙදමුණිගේ හතයි හතයි හතේ හතයි වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ලේ පුංචි තියෙටර්හිදී පැවැත්විණ.

ක්ලීටස් සමඟ රාජසිංහ ලෝලුවාගොඩ , මල්කාන්ති ජයසිංහ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රෝහිත බී. පෙරේරා, ආරියසේන ගමගේ, සැනෙට් දික්කුඹුර ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

අධ්‍යක්ෂණය මෙන්ම රචනය ද පීටර්ගෙනි.

නාට්‍යවේදියකු මෙන්ම ගායකයකු ද වන පීටර් ගඟබඩ සිටි හේවරාළ යන ජනප්‍රිය ගීතයේ හිමිකරුවාය.

තරුෂිගේ අලුත් වැඩේට කලාකරුවන් එක්වී

තරුෂි පෙරේරා මේ දිනවල ටිකක් කාර්යබහුලයි. ඒ කලා කටයුතු හින්දාම නෙවෙයි, වෙනත් කටයුත්තක් හේතුවෙන්.ඇය පුංචි ව්‍යාපාරයක් පටන් අරන්. තවත් සරලව කිව්වොත් සැලොන් එකක්. මහරගමදී ඇරැඹුණු තරුෂිගේ ඒ ව්‍යාපාරික ස්ථානය පසුගියදා විවෘත කෙරුණා.

ශ්‍රියාණි අමරසේන, ගයේෂා පෙරේරා, රජිත හිරාන්, සුරේෂ් ගම්ගේ, නයනා කුමාරි, නිරෝෂා තලගල ඇතුළු තරුෂිගේ සමීපතමයන් රැසක් මේ මොහොතට සහභාගි වී සිටියා. මේ ඒ මොහොත සේයාරූගත වූ අයුරුයි.

‘සියපත් සර’ ගී දැහැන ජූනි 30 දා . . .

මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, කලාශූරී ලතා වල්පොල, ජානක වික්‍රමසිංහ, සශිකා නිසංසලා ගී ගයන ‘සියපත් සර’ ගී දැහැන ජූනි 30 ඉරිදා සවස 6.00 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

විශාරද මනෝජ් පීරිස් සත්සර මෙයෙවන මෙම ගී ප්‍රසංගයේ කථනය වසන්ත රෝහණගෙනි. නාවින්න බෝසත් දහම් පාසලේ ගොඩනැගිල්ලට ආධාර පිණිස මේ ප්‍රසංගය පැවැත්වේ.

බී. එස්. පෙරේරාගේ 31 වැනි ගුණ සැමරුමට 23 දා පින්කමක්

සිංහල සිනමාවේ ජනප්‍රිය හාස්‍යෝත්පාදක නළුවෙකු වූ බී. එස්. පෙරේරාගේ 31 වැනි ගුණ සමරුව ලබන 23 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් එදින සොයිසා පුර නිවාස සංකීර්ණයේ පින්කමක් සිදු කෙරෙන බව ඒ මහතාගේ පුත් චිත්‍ර ශිල්පී සුනිල් වෙස්ලි පෙරේරා සරසවියට දන්වා සිටියි.

ධීවරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බී. එස්. පෙරේරා මහතා සැනසුම කොතැනද, අල්ලපු ගෙදර වැනි චිත්‍රපට ඇතුළු චිත්‍රපට 350 ට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත. ‘රොඩී ගම’ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ ඔහු ‘මගේ අම්මා’ චිත්‍රපටයට ගීත ගායනයෙන්ද එක් වී ඇත.

සැම්සන් කුමාරගේගේ පියා මිය යයි

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සැම්සන් කුමාරගේ ගේ ආදරණීය පියාණන් වූ එඩ්වින් මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු පහළ බියන්විල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

බොදු ගුණ ගීතාවලිය පිළිමතලාවේ දී බොදු මග යළි අවදි කිරිම වෙනුවෙන් ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් පිරිවරාගෙන ‘බුදු හිමියනි බෝමළුවට ආයෙත් කරුණාකරන්න’ යනුවෙන් බොදු ගුණ ගීතාවලියක් මේ පොසොන් පොහෝ දින පිළිමතලාව නගර මධ්‍යයේ දී පැවැත්වේ.

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ටී. එම්. ජයරත්න,දයාන් විතාරණ, ශාන්ත ජයලත් තිසේරා යන ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන මෙය ධම්මික බණ්ඩාර, රාජු බණ්ඩාර, කලනි පෙරේරා ගෙන් සමන්විත වාද්‍ය වෘන්දය සංගීතවත් කරති.

මවුපියන් විසින් අතහැර දැමූ දරුවන්, දරුවන් විසින් අතහැර දැමූ මවුපියන්, උසස් අධ්‍යාපනය අතහැරීමට සිදු වූ දරුවන් රැකගැනීම සඳහා වූ අරමුදලක් බිහි කිරීම වෙනුවෙන් පැවැත්වෙන මෙය සංවිධනය කරන්නේ යටිනුවර වෙළෙඳ හා වෘත්තිකයන්ගේ බල මණ්ඩලයයි.