වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 සුමියුරු සිනමා ගී සමඟ කාංචනමාලා

 සුමියුරු සිනමා ගී සමඟ කාංචනමාලා

අවදි කරන්නට සිතුවෙමි
පසුගිය දෙවසර ගිලී ගිය මගේ ගී හඬ
නැත මා ප්‍රියයා මා අසල
එනමුත් ඔහු කොහේ සිට හෝ
මා රකිනු ඇත
මා හට ආශිර්වාද කරනු ඇත
එනයින්,අවදි කරමි මගේ ගී හඬ යළිත් පොසොන් මස 21 වැනිදා සවස 6.30 ට රාජකීය විද්‍යාලයීය නව රඟහලට ‘සුමියුරු සිනමා ගී’ ප්‍රසංගය රැගෙන පැමිණෙන්නේ ඇයයි.

‘කාංචනමාලා මහවිතාන’

ඇගේ මියුරු ස්වරයෙන් ගැයෙන ඒ ‘සුමියුරු සිනමා ගී ප්‍රසංගය’ පිළිබඳව මෙසේ සරසවිය සමඟ ඕ සිය සිතැඟි හෙළි කළාය.

* ‘සුමියුරු සිනමා ගී ප්‍රසංගය’ බොහෝ කලකට ඉහත ආරම්භ වූවක්. දිගු නිවාඩුවකට පසු ඔබ මේ ප්‍රසංගය නැවතත් ආරම්භ කිරීමට අදහස් කළේ ඇයි?

‘මේ ප්‍රසංගය ආරම්භ කළේ 1999 වර්ෂයේ. මෙවැනි ප්‍රසංගයක් කරන්න තියෙන අදහස මගේ සිතේ ඇති කළේ මගේ මහත්තයා ස්ටැන්ලි ලියනගේ. ඔහු චිත්‍රපටවල සංගීත ශිල්පියෙක්. ඒ වගේම චිත්‍රපට කිහිපයකම සංගීතය අධ්‍යක්ෂණය කළ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු මගේ සිතේ ඇති කළ ඒ අදහස ආරම්භ කළාට පස්සේ ලැබුණු ප්‍රතිචාර මා ධෛර්යවත් කළා. ඔහු පැවසූ ඒ අදහස කොයිතරම් අපූරු අදහසක් ද කියලා මට හැඟුණේ ඊට පස්සේ.

සැමියාගේ සමු ගැනීමත් සමඟ ඒ හැම දෙයකටම නැවතිමේ තිත තැබුවා. ඒත් මට ආදරය කරන බොහෝ රසික – රසිකාවන් මට නිතරම කතා කළා. ඇයි මේ ප්‍රසංගය නැවතත් ඔබ ආරම්භ කරන්නේ නැත්තේ කියලා ඔවුන් නිතරම අහන්න පටන් ගත්තා. සැමියාගේ වියෝවෙන් සිටිය මට ඔවුන්ගේ ආරාධනාව ඉවත දැමිය නොහැකියි. ප්‍රසංගය නැවත ආරම්භ කරන්නට එක් හේතුවක් එයයි. අනිත් කාරණය වෙන්නේ සැමියාගේ අදහස නැවතත් ක්‍රියාවට නඟන්නයි. ඒ ප්‍රසංගය ඔස්සේ ඔහු මගේ ළඟම ඉන්නවා යන හැඟීම මට නිතරම දැනේවි.’

* ‘සුමියුරු සිනමා ගී’ ප්‍රසංගයේදී සිදුවන විශේෂිත කටයුත්ත කුමක්ද?

‘ස්ටැන්ලි ලියනගේ ජීවත්ව සිටියදී ඔහු වැයූ වයලීනයක් පරිත්‍යාග කිරීමට මා සිතුවා. ඒ සංගීතය ඉගෙන ගන්නා දුප්පත් දරුවෙකුටයි. ඒ වයලීනය බාර දෙන්නේ ප්‍රසංගය සඳහා සහභාගි වන ප්‍රධාන ආරාධිත අමුත්තන් වන සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක වගේම ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා අතින්. ඒක බොහොම සුවිශේෂී මොහොතක් වේවි. ඒ වගේම කලාකරුවන් රැසක් මේ ප්‍රසංගයට සහභාගිවීමට නියමිතයි.’

* යුග ගායනා ගැයිමේදී ඔබ සමඟ අත්වැල් බැඳගත් සැමියා වෙනුවට මෙවර ප්‍රසංගයේදී ඔබ අසල රැෙඳන්නේ කවුරුන්ද?

‘මේ සිදුවීම මගේ ජීවිතයේ නොමැකෙන මතකයක් වේවි. ඒ පුතුª බුද්ධික සහන් මා සමඟ යුග ගායනා ගැයීමට සහායට පැමිණීමයි. ඔහුට අපූරු කටහඬක් තිබෙනවා. ඒ හඬ එදිනට අවදිවේවි. මෙම ප්‍රසංගයේ තිබෙන අනෙක් විශේෂත්වය නම් දුව චමත්කා වීණාවිගේ නර්තන වින්‍යාසය ප්‍රසංගය වර්ණවත් කිරීමයි. ඒ වගේම ස්ටැන්ලිගේ මතකය සදා රඳන්නට ඔහුගේ හඬ පසුබිමේ ඇසෙද්දී සජීවීව මා යුග ගීයක් ගැයීමත් විශේෂත්වයක්. ඊට අමතරව එදිනට රොජර් සෙනෙවිරත්න, සුරේශ් ගම්ගේ, රමේෂ් උවයිස්, සරත් මධු, උපසේන සුභසිංහ කියන ශිල්පීන් මා සමඟ යුග ගී ගයනවා.

* ටවර් හෝල් රඟහලේ නූර්ති ශිල්පිනියක් වන ඔබ රංගනයෙන් සදහටම සමු අරගෙනද?

‘එහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කාලයක් මේ හැම දෙයකින්ම ඈත් වෙලා සිටියේ මගේ දුක තුනී කර ගන්නයි. තවමත් ඒ දුක්බර සිදුවීම සිහියට නැඟුණත් ඔහු වෙනුවෙන් මා ජීවත් විය යුතුයි. මේ නිසා ගායනය වගේම රංගනයත් මා ඉදිරියට රැගෙන යනවා. නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘බාලොලි’ත්, සමන්කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ ‘පෙම් සිත දැහැමි’ කියන ටෙලි නාට්‍යයටත් මා රංගනයෙන් සහභාගි වුණා. ස්ටැන්ලි ජීවත්ව ඉඳීද්දී කළ ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍යයත් වේදිකා ගත කරන්නට මා අදහස් කළා.’

* ඔබට ආදරය කරන ඔබගේ රසික – රසිකාවන්ට ප්‍රසංගය විවෘතද?

ඔව්. මට ආදරය කරන රසික - රසිකාවන් සියල්ලන්ටම මේ ප්‍රසංගය විවෘතයි. මේ ප්‍රසංගය මුදල් අය කරලා කරන ප්‍රසංගයක් නම් නෙවෙයි. එන්න මේ ප්‍රසංගය නරඹන්න මම ආදරය කරන හැමෝටම මා ආරාධනා කරනවා.’