වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සාවාරියා ලන්ඩන් සවාරියේ

සාවාරියා ලන්ඩන් සවාරියේ

තාරකාවකට ද වඩා විලාසිතා මවන්නියක ලෙස නම් දරා සිටින සෝනම් කපූර් පසුගිය 10 වැනි දින විසි අටවැනි වියට පිය මැන්නාය. මේ ඇය රාන්ජනා, භාග් මිඛා භාග් සිනමාපට සමඟ කාර්යබහුල වී සිිටින කාලයකි. සෝනම්, යාෂ් රාජ්ගේ චිත්‍රපටයක රූගත කිරීම්වලට ද සහභාගි වෙමින් සිටින්නීය. ආයුෂ් ්මාන් කුර්නා ඇය සමඟ රඟන ප්‍රධාන තරුවයි. මේ අධික කාර්ය බහුලත්වයෙන් මිදීමට ඇය උපන් දිනය යොදා ගත්තාය. ඒ සොයුරිය හා මිතුරියන් සමඟ තෙදිනක නිවාඩුවක් ලන්ඩනයේ ගත කිරීමෙනි.

අමීර් පුතු අධ්‍යක්ෂණයට

තරු දූවරු, පුත්තු සිහින මවන්නේ තරුවක් වීමටයි. එහෙත් තරු ලොවේම වෙනත් ඉසව් සොයා යාමට කැමැති දූ පුතුන් ද ඇත.

බොලිවුඩයේ පූර්ණවන්තයා අමීර් ඛාන්ගේ වැඩිමල් පුතු, ජුනෙයිඩ් වඩා කැමැති අධ්‍යක්ෂණයටයි. එක් අතකින් එය පුදුමයක් නොවන්නේ අමීර් ඛාන් ද අධ්‍යක්ෂණයට සමතකුª නිසයි.

රාජ් කුමාර් හිරානිගේ ‘පී කේ’ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂ ජුනෙයිඩ්ය. මෙහි අමීර් ද රංගනයෙහි යෙදෙයි.

දැනට වාණිජ උපාධිය හදාරන ජුනෙයිඩ් නිශ්චිතවම සිනමාව තම අනාගතය කර ගනීවි ද යන්න සැක සහිත බව පියා වන අමීර්ගේ අදහසයි. ‘මේක ඔහුට හොඳ අත්දැකිමක්. තමන් තෝරා ගන්නේ රඟපෑම ද, අධ්‍යක්ෂණය ද නැත්නම් වෙනත් දෙයක් ද කියා ඔහුට තීරණය කළ හැකි වේවි’ අමීර් පවසන්නේය. එහෙත් ගහේ කටු උල් කිරීමට අනවශ්‍යය. ඔහුගේ අනාගත භූමිකාව කුමක් වුවත් එය සිනමාවට සම්බන්ධ වූවක් වීමට තිබෙන ඉඩ වැඩිය.

ජුනෙයිඩ්, අමීර් ඛාන්ගේ පළමු බිරිය රීනා දත්තාගේ පුතුය. දාහත් හැවිරිදි වුවත් ජුනෙයිඩ් දැන් පියාට වඩා උස් මහත්ය. ඔහුගේ උස අඩි හයයි අඟල් තුනකි. ජුනෙයිඩ් තවම තරුවක් නොවුණත්, මේ කඩවසම් හාදයා සමඟ රඟන්නට පෙරුම් පුරන තාරකාවන් අතර තිස්පස් හැවිරිදි රාණි මුඛර්ජි ද සිටින්නීය.

දීපිකා දමිළ වෙයි

රජ ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ වසරේ බලාපොරොත්තුව ‘චෙනායි එක්ස්ප්‍රස්’ය. එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ඔහු නොගන්නා උත්සාහයක් නැත. මෑතකදී ෂාරුක්, දීපිකා පදුකෝන්ට දමිළ බස හදාරන ලෙසට උපදෙස් ලබා දුන්නේය. එවිට ඇයට දමිළ තරුණියක ලෙසින්ම රඟන්නට හැකි වන බව ද පැවසුවේය.

දැනටමත් ඇයට කන්නඩ, හින්දි, ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමට පුළුවන. දෙමළ ඌරුවට කතා කිරීම දීපිකාට පහසුවෙන්ම කළ හැකි බව ෂාරුක්ගේ විශ්වාසයයි.

ඇයට දමිළ සිනමාපට නරඹමින් සීරුවෙන් දෙබස්වලට සවන් දෙන ලෙසට ඛාන් රජු කළ අවවාදය දැන් දීපිකා අකුරටම පිළිපදින්නීය.

‘ෂාරුක් සමඟ රඟපෑම හරිම විනෝදකාමී අත්දැකීමක්. මොනවා හරි දෙයක් ඔහු සමඟ රඟපෑමේදී ඉගෙන ගන්නවා. ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයේ රඟපාද්දී ඔහු මගේ කොන්කානි ඌරුවට (ඉන්දු – ආර්ය භාෂා ශෛලියක්) හිනා වුණා මතකයි’ යනුවෙන් දීපිකා පවසන්නේ සතුටිනි. දීපිකාගේ උත්සාහය අගය කරමින් ඇය දිරිමත් කිරීම මේ දිනවල ෂාරුක්ගේ රාජකාරියයි.

‘චෙනායි එක්ස්ප්‍රස්’ හින්දි ක්‍රියාදාම ප්‍රහසන සිනමා පටයකි. මෙය රෙඩ් චිලීස් එන්ටර්ටෙයින්මන්ට් යටතේ ගෞරී ඛාන් නිෂ්පාදනය කරන ලද්දකි. 2007 දීපිකා, ෂාරුක් ‘ඕම් ශාන්ති ඕම්’ බොලිවුඩයේ මුදල් මවන උල්පතක් බවට පත් කළා සේම ‘චෙනායි එක්ස්ප්‍රස්’ ද වාසනාව ගෙන එන බව අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිගේ විශ්වාසයයි.

ෂාරුක් හැර සිනමාපටයට දායක වෙන දීපිකා, සත්‍යරාජ්, ප්‍රියා මනි, පිටපත් රචක මදි සහ කැමරා ශිල්පී ඩඩ්ලි යන සියල්ලන්ම දකුණු ඉන්දීය සිනමාවෙන් සිනමා ගමන ඇරැඹූ අයයි. මේ සෑම වයස් කාණ්ඩයකටම විඳ දරාගත හැකි රසබර ප්‍රේම වෘතාන්තයක් බව කියවෙයි.

සිනමාපටය තිරගතවීමට නියමිත අගෝස්තුª 8 වැනි දිනටයි. එහෙත් පකිස්තානයේදී නම් ‘චෙනායි එක්ස්්ප්‍රස්’ එදිනට තිරගත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ එදිනටම පකිස්තානු සිනමාපට හතරක්ම තිරගතවීමට ඇති නිසයි.

මරණයටවත් එපා!

විපතකදී, කරදරයකදී හතුරන් පවා මිතුරන් වීම මිනිස් ගුණයකි. එහෙත් මේ නොමනාපය නම් කිසි දිනකවත් මනාපයක් නොවන පාටය.

ගෞරී ඛාන්ට හැර කිසි කෙනකුට ආදරයෙන් පුරවන්නට නොහැකි වූ ෂාරුක්ගේ හදවතට සමීප වෙන්නට හැකි වූ එකම තාරකාව ප්‍රියංකා චොප්රාය. එයින් ගෞරීගේ සිතෙහි ඇතිවුණු කැළල කිසි දිනක මකා දැමීමට නම් නොහැකිය.

පසුගියදා ප්‍රියංකා චොප්රාගේ පියා හිටපු ඉන්දීීය හමුදා ශල්‍ය වෛද්‍ය අශෝක් චොප්රා පිළිකාවකින් මිය ගියේය. කවදත් ප්‍රියංකා හඳුන්වන්නේ ’පියාගේ දියණිය’ ලෙසයි. රංගනයේ යෙදෙන කාලය හැර අන් සෑම මොහොතක්ම ඇය ගත කළේ පියාගේ ජීවිතය බේරා ගැනීමටයි. එහෙත් ඔහු සමු ගත්තේය. මේ කනගාටුදායක සිද්ධිය කන වැකුණු සැනින් බොලිවුඩයේ සියල්ලෝම කම්පා වූහ. ශෝකය ප්‍රකාශ කළහ.

ප්‍රියංකා - ෂාරුක් ආදරය අතීතයට එක් වී අවසන් වුණත්, ප්‍රියංකාට ඇති නොකැමැත්ත ගෞරීගේ සිතින් ඉවත් වී නැත. ඇය තවමත් ප්‍රියංකාව සැක කරන්නීය. එනිසාමදෝ මරණය ගැන ශෝකය ප්‍රකාශ කිරීමටවත්, මරණයට සහභාගිවීමටවත් ගෞරී පෙලඹුණේ නැත. ඔහු වෙනුවෙන් පැවැති පූජාවට ද සහභාගි නොවුණාය.

ගෞරී නොමනාපකම් පෙන්වද්දී ෂාරුක් මෑතකදී කළ සැත්කම පවා අමතක කර මුලින්ම අවමඟුලට සහභාගි වුවන් අතරට එක් විය. ඔහු ප්‍රියංකා සනසන අන්දම ද කාහටත් පෙනුණි. මේ සම්බන්ධය පවතින කාලයේ කරන් ජොහාර් ද ප්‍රියංකාගේ පරම සතුරකු බවට පත් වී සිටිය ද මරණය ගැන ආරංචිය ලැබුණු පසු කඩිනමින් පැමිණ ශෝකය ප්‍රකාශ කළේය.

ප්‍රියංකාගේ සදාතනික සිනමා සැතිරියක වූ කරීනා කපූර් ද සොයුරිය කරිෂ්මා සමඟ පූජාවට පැමිණියහ. කරීනාත්, ප්‍රියංකාත් කලකදී ෂාහිඩ් කපූර්ට පෙම් කළහ. එහෙත් දැන් දෙදෙනාම ඔහුගේ පෙම්වතියෝ නොවෙති.

විද්‍යා බාලන්, ශිල්පා ෂෙට්ටි, රාණි මුඛර්ජි, අල්කා යාග්නික්, රිතීෂ් දේෂ්මුක්, ජෙනේලියා ඩි සූසා, ප්‍රභූදේවා, ඉම්රාන් ඛාන්, රිෂි, නිතු යුවළ ආදී කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෝ රැසක් ප්‍රියංකාගේ පියා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණ සිටියහ.