වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මා ආමන්ත්‍රණය කරන්නේ පුංචි තිරය අතැර ගිය පිරිසටයි

මා ආමන්ත්‍රණය කරන්නේ පුංචි තිරය අතැර ගිය පිරිසටයි

ගෙනෙන සුසිරන් ද සිල්වා සමඟ කතාබහක්

ජාතික රූපවාහිනියෙහි සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට විකාශය වන ‘නිර් සත්වයෝ’ ටෙලි නාට්‍යය වෙනස්ම ආරක්ගත් ටෙලි නාට්‍යයකි. පුද්ගලික රෝහල්වල ස්වභාවය හා වෛද්‍යවරුන් මුදලට විකිණෙන අයුරු දක්වමින් රෝහල් පිළිබඳ ප්‍රස්තුතය මූලික කර ගනිමින් නිර්මිත ‘නිර් සත්වයෝ’ ටී. ජී. සුසිරන් ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි. ‘මනෝකාය’, ‘එකට ගැටුම’, ‘ඉසුරු යෝගය’, ‘ඉසුරු භවන’, ‘ඊ බ්‍රේන්’ ආදී නිර්මාණ රැසක් ප්‍රේක්ෂක හමුවට රැගෙන ආ ටී. ජී. සුසිරන් ද සිල්වා සමඟ අප ‘නිර් සත්වයෝ’ පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා කියන නිර්මාණකරුවාගේ සෙවණෙහි හැදුණු වැඩුණු ඔබ, ඔබගේ නිර්මාණ සඳහා බොහෝ දේ ඔහුගෙන් උකහා ගත්තද?

‘මගේ පියාව ලංකාවේ බොහෝ දෙනෙක් දන්න හඳුනන අයෙක්. ඔහු ඒ කාලයේ කළ බොහෝ නිර්මාණ මා කියවා තිබෙනවා. ඒ නිර්මාණත් මගේ ජීවිතයට යම් යම් බලපෑමක් ඇති කිරීමට සමත් වුණ බව රහසක් නොවෙයි. නමුත් තාත්තාගේ නිර්මාණ කියැවීම ඔස්සේ අලුත් විදියට හිතන්න මා ඉගෙන ගත්තා. එතැනින් එහාට යමක් කරන්නේ කොහොමද කියලා මා ඉගෙන ගත්තා.අධ්‍යයනය කළා. අධ්‍යාපන කටයුතු අවසාන වීමෙන් පසුව මා රූපවාහිනියට පැමිණෙන්නේ මේ අතරෙදියි. ඒ 1987 වර්ෂයේ තාක්ෂණික ශිල්පියෙක් විදියටයි.

* ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට කල එළි බැසීමට ප්‍රථම හොඳ පිටපත් රචකයෙක් නේද?

‘රූපවාහිනියෙහි සේවය කළත් ටෙලි නාට්‍ය නිිර්මාණය කිරීමේ අදහසක් මට තිබුණේ නැහැ. එනමුත් තිර පිටපත් රචනයට මා බෙහෙවින් ආදරය කළ කෙනෙක්. ඒ තිර පිටපත් රචනයට තිබුණු ආදරය නිසා මා තිර පිටපත් පිළිබඳ හොඳට අධ්‍යයනය කළා. ඒ පිළිබඳ හොඳ දැනුමක් රැස් කර ගත්තා. අද වනවිට මා ලියූ තිර පිටපත්වලින් කළ නිර්මාණවලට මේ තරමටම ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ රහස රැඳී තිබෙන්නේ එතැනයි. මේ අතරදි 1990 වර්ෂයේදී මා රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙක් විදියට පත්වීම් ලබනවා.

තිරපිටපත් රචනයටත් වගේම අධ්‍යක්ෂවරයෙක් විදියට මා කල එළි බසින්නේ ඉන් පසුවයි. මගේ පළමු ඒකාංගික ටෙලි නිර්මාණය සැකසෙන්නේ මගේ පියාගේ කෙටි කතාවක් අනුසාරයෙන්. ඊට මා නම තබන්නේ ‘පිළිම වහන්සේ’ කියලා. එතැනින් ඇරැඹුණු මගේ නිර්මාණ ජීවිතයෙහි මුල්ම පිටපත සැකසෙන්නේ ‘මනෝකාය’ ටෙලි නාට්‍යය සඳහා. මගේ සහෝදරයාත් සමඟයි මා ඒ පිටපත් රචනය සිදු කරන්නේ. මගේ ස්වනිර්මාණය ආරම්භ වන්නේ ‘එකට ගැටුම’ ටෙලි නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු තිරපිටපත් රචනය අද දක්වාම පැමිණුනා. මගේ නිර්මාණ සියල්ලෙහිම තිරපිටපත් රචකයා මමයි’

‘නිර් සත්වයෝ’ ටෙලි නාට්‍යයෙහි තිර පිටපත රචනයේදීත් ඔබට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදු වුණාද?

‘ඇත්තටම ඔව්. ‘නිර් සත්වයෝ’ කියන්නේ මගේ මෙතෙක් බිහිවුණු නිර්මාණවලට වඩා වෙනස් නිර්මාණයක්. නිර්මාණයකට පාදක විය යුත්තේ සමාජයේ මිනිසුන්ට බලපාන සමාජයේ දකින්නට ලැබෙන ගැටලුවක් විය යුතු බවයි මගේ හැඟීම වන්නේ. එහිදී මගේ අවධානය පැහැර ගත්තේ සෞඛ්‍ය සේවයයි. ඒ සේවය අතරින් පෞද්ගලික සෞඛ්‍ය සේවය කෙරෙහි මගේ දැඩි අවධානයක් යොමු වුණා. මේ පිටපත සාර්ථකව ලියන්නට මා මීට වසර කිහිපයකට පෙර ඊට අදාළ තොරතුරු එක් රැස් කළා.

ඒ ලැබුණු තොරතුරුත් සමඟින් මගේ නිර්මාණ ශක්තියත් යොදවා නිර් සත්වයෝ පිටපත නිර්මාණය කරන්නට මට වසරක කාලයක් ගත වුණා. චරිතවලට අදාළ රංගන ශිල්පින් හා ශිල්පිනියන් තෝරා ගත්තට පස්සේ පිටපත අධ්‍යයනය කරන්නට මා ඔවුන්ට කාලය ලබා දුන්නා. ඊට පසුවයි මා ටෙලි නාට්‍යය රූපගත කිරීම් ආරම්භ කළේ. එවැනි වෙහෙසකර කාර්යයකට පසුවයි ‘නිර් සත්ත්වයෝ’ ප්‍රේක්ෂක හමුවට පැමිණිියේ.

ඔබ ඒ කළ සමීක්ෂණයට අනුව හෙළි වූ බොහෝ කරුණු කාරණා ටෙලි නිර්මාණය සඳහා සම්පූර්ණයෙන්ම යොදා ගැනීමට ඔබට හැකි වුණාද?

‘ඒ සමීක්ෂණයට අනුව එක් රැස් වූ තොරතුරු මාව මවිතයට පත්කළා. සමහර වෛද්‍යවරුන්ව සමාගම් කොයි තරම් මිලට අරගෙන ද කිව්වොත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල වියදම දරන්නෙත් ඔවුන්. ඒ විතරක් නෙමෙයි, සමහර අයෙකුට නිවෙසක් පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් පරිත්‍යාගශීලී වෙලා.

ඒ මා කිව්වේ හෙළි වූ කරුණු කිහිපක් පමණයි. මේ කාරණවත් අප හිතට ගත යුතුයි. මෙලෙස කටයුතු කරන්නේ වෛද්‍යවරුන්ගෙන් බහුතරය නෙවෙයි. බොහොම සුළුතරයක්. මේ සුළුතරයේ ක්‍රියා කලාපයයි මා මගේ නිර්මාණයට පාදක කර ගත්තේ. ටෙලි නාට්‍ය කියන්නේ නිර්මාණයක්. ඒ නිර්මාණය ඇතුළේ කතා කළ හැකි එක්තරා සීමාවක් තිබෙනවා. ඒ සීමාවේ ඉඳගෙන මා බොහෝ දේ හෙළි කළා. ඒ වගේම ‘නිර් සත්වයෝ’ කියන්නේ කොටස් 30 ක ටෙලි නාට්‍යයක්’.

* නමුත් ඒ සුළුතරයගේ ක්‍රියා කලාපයන් සමස්ත සමාජයේ බහුතරයක් ජනතාවට විශාල බලපෑමක් කරනවා.

මා සමාජය වෙත රැගෙන ගියේ මිනිසුන්ට දැනෙන ප්‍රබල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයෙන් ඔවුන් දැවුණත්, හඬක් නැඟීමේ හැකියාවක් ඔවුන්ට ඇත්තේ නැහැ. ඔවුන්ට නැඟීමට නොහැකි වූ හඬ මා මගේ නිර්මාණය ඔස්සේ හඬ නඟනවා. එයයි නිර්මාණකරුවෙක් ලෙස අපගෙන් විය යුත්තේ. ඔවුන්ගේ හදවතට මා කෙතරම් කතා කළා ද කිව්වොත් මේ වනවිට දුරකථන ඇමතුම් රාශියක් ලැබුණා. ඒ අතර වෛද්‍ය සේවාවේ වගේම ඒ ආශ්‍රිත රැකියාවල නියුතු බොහෝ දෙනෙක් තමන්ට සිදුවන බොහෝ කරදර පිළිබඳ පවසන්නත් අමතක කළේ නැහැ.’

* ‘නිර් සත්වයෝ’ හි අපාය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් බවයි පෙනෙන්නේ?

‘අපාය නිර්මාය කළේ පරිගණකය ආධාරයෙන්. එය අලුත් අත්දැකීමක් වුණා. නව තාක්ෂණයේ අපූර්වත්වය තමයි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ඒ දකින්නේ. ජාත්‍යන්තර නිර්මාණකරණයේදී යොදා ගන්නා තාක්ෂණය දෙස විමසා බලද්දීී අප තවම සිටින්නේ බොහොම පහළ අදියරකයි. එහෙත් අන්තර් ජාලය යොදා ගනිමින්, ඒ දැනුම භාවිත කරමින් පරිගණකයෙන් අපායක් නිර්මාණය කරන්නට අපට හැකි වුණා. ඒ අපගේ ශිල්පීන්ගේ දක්ෂතාවයයි. මුලින්ම මගේ අදහස තිබුණේ මොඩන් ඇනිමේෂන් යොදගෙන අපාය නිර්මාණය කරන්නයි. ඒත් ඒක තරමක වියදම් අධික කටයුත්තක් වුණා. මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදීත් ජාතිත රූපවාහිනියෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුයි. ඒ සඳහා විශේෂිත පරිගණක දෙකක් ලබා දුන්නා. ඊට සහයෝගය දැක් වූ සභාපතිතුමා ඇතුළු කළමනාකාරිත්වයෙන් ලැබුණු සහයෝගයට මා ස්තුතිවන්ත වෙනවා.’

* සමාජයට බලපාන ගැටලුවක් විවරණය කිරීමක් වගේම උපහාසාත්මක බවත් ‘නිර් සත්වයෝ’ හි කැටි වෙලා?

ඒ මෙම සමාජයට බලපාන ප්‍රශ්නය නිිර්මාණයකට රැගෙන පැමිණීමේදී මා භාවිත කළ එක් උපක්‍රමයක්. මම හිතන්නේ මේ චරිත හැසිරීමේ යම් යම් ස්වභාවයන්වලදී ඇත්තටම අපගේ සිිතට උපහාසයක් හැඟෙනවා. එනිසා ඉබේම් හිනා යනවා. ඔවුන්ට ප්‍රේක්ෂකයන් සිතින් හිනාවෙනවා.

රූපවාහිනී නාලිකා රාශියක් අතර හතු පිපෙන්නා සේ බිහි වන ටෙලි නාට්‍ය නිසා ප්‍රේක්ෂකයන් පුංචි තිරයෙන් ඈත්වේවිද?

‘බොහෝ ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා පාදක වී තිබෙන්නේ ආදරය කියන තේමාවයි. ඒකාකාරී බවින් යුත් මේ කතා නිසා සමහර ප්‍රේක්ෂකයන් පුංචි තිරය අතහැර ගිහින්. අප මේ කරන්නේ ඒ හැර ගිය ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කිරීමයි. මම හිතන්නේ ඔවුන්ට තෝරා ගැනීමක් කළ හැකි වේවි.