වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මම දරුවො හය දෙනකුගේ අම්මා කෙනෙක්

දැන් මම දරුවො හය දෙනකුගේ අම්මා කෙනෙක්

ගීතා කාන්ති දිගු කලකට පසු සරසවිය හා ළෙන්ගතුව . . .

බලදේව සුවිමාලිගේ නිවෙසට පැමිණි එක් මොහොතකි. ලොකුතුවක්කු ගෝරියකට මැදි වී කෑගසන හඬ ඇසෙයි. බලදේව පුදුමයට පත් වී බලා සිටියි. දෙදෙනාම නිහඬව සිටින්නේ සිය සිත සමඟ සංවාදයක නිරත වන්නාක් මෙනි. එක්වරම බලදේව සුවිමාලිගේ සොහොයුරා පිළිබඳ සිය සිතැඟි හෙළි කරන්නේ සමාජය ඈඳමිනි. සුවිමාලිගේත්, බලදේවගේත් ආදරණීය නෙත් එකිනෙක ගැටේ.

‘සුවිමාලි අපි ඉක්මනට බඳිමු’

සුවිමාලිගේ උවන සිනහවෙන් හැඩවේ. මෙසේ එදා ඈ බලදේවට පෑ සිනහව අද ද වියැකී නැතැයි මට සිතිණි. ඒ ගීතා කාන්ති ජයකොඩි රංගන ශිල්පිනියගේ සුපුරුදු සිනහවේ සොඳුරු බව අපට යශෝරාවයේ සුවිමාලිව සිහිපත් කරන බැවිනි.

‘ඉතිං සුවිමාලි’

යශෝරාවයේ ‘සුවිමාලි’ නමින් මම ඇයව ඇමතීමි.

‘ප්‍රේක්ෂකයෝ ඒ දවස්වල වගේම අදත් යශෝරාවයේ සුවිමාලිට ආදරය බව මා දන්නවා. අද වුණත් බොහෝ දෙනෙක් මා දුටු මනතින් මතකයට නඟන්නේ සුවිමාලියි. ඔවුන් මගේ රූපය වගේම හඬත් හඳුනනවා. චරිතයකට හඬ මුසු කළාට පස්සේ ඒ චරිතයට හඬ මුසු කරන්නේ මා කියන වග ප්‍රේක්ෂකයන් හඳුනා ගත් බව දන්නේ ඔවුන් චරිතවලින් මා අමතන විටයි. කලාකාරිණියක් විදියට ඒක මට සතුටක්.’

සුවිමාලිගේ ළඟන්නා සුළු සිනහව පාමින් ඇය පිළිතුරු බඳින්නීය.

‘ඒ මහඟු අවස්ථාව හැමෝටම උදා නොවන්නක්.’

‘ඇත්තටම ඔව්. ඒ අපූරු වාසනාව උදා වෙන්නේ බොහොම සීමිත පිරිසකට පමණයි. ඒ අතරින් මමත් එක් අයෙක්. මේ තත්ත්වය හිමි වෙන්න මූලිකම හේතුව ලෙස මා දකින්නේ ගුවන් විදුලි රඟමඬලයි. ඒ දවස්වල ගුවන් විදුලි රඟ මඬල ගුවන් විදුලි අසන්නන්ගේ ප්‍රියතම වැඩසටහනක්. ඒ වැඩසටහන්වලදී මමත් විවිධ චරිත සඳහා කටහඬින් දායක වුණා. මගේ හඬ අසන්නන්ගේ සිතෙහි හා මතකයෙහි තැන්පත් වුණේ ඒ නිසයි.’

එදා විසූ අසන්නන් ආදරය කළ ගුවන් විදුලිය ඔස්සේ ගීතා කාන්ති ජයකොඩි නාමය හා මියුරු ස්වරය හදවත සනිටුහන් වූ අයුරුයි.

‘නමුත් අද අසන්නන්ගෙන් මේ වැඩසටහන් ඈත් වෙලා.’

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කළ ගුවන් විදුලි රඟමඬල වැනි ගුණාත්මක වැඩසටහනක මතකය මම ඇයට සිහිපත් කළෙමි.

‘එදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට හිමි වුණේ මුල් තැනක්. ඒ කාලයේදී ගුවන් විදුලි සේවාවන් රාශියක් තිබුණේ නැහැ. නමුත් වර්තමානය වන විට තිබෙන තාක්ෂණයේ දියුණුවත් සමඟ ගුවන් විදුලි සේවාවන් රාශියක් පැමිණිලා. ඒ විතරක් නොවෙයි රූපවාහිනියත් ප්‍රේක්ෂකයන් ආක්‍රමණය කරලා. මෙවැනි තත්ත්වයකදී සමහරු ජාතික ගුවන් විදුලිය අසන්නේ නැති තත්ත්වයට පත් වෙලා. ඇතැමෙකු ගුවන් විදුලිය ශ්‍රවණය කළත් වෙනත් වෙනත් ජ් ර් නාළිකා අසන්නට පෙළඹිලා. මේ දේ සිදු වී ඇත්තේ තාක්ෂණයේ දියුණුවත් සමඟයි.

‘ඔබත් අද ගුවන් විදුලි රඟමඬලෙන් ඈත්වෙලා නේද?

අපට පෙනී ගියේ පෙරදා මෙන් ඇගේ ස්වරය ගුවන් විදුලි රඟමඬලෙන් නොඇසෙන බවකි.

‘වර්තමාන කටයුතුª සමඟ මම බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා බොහෝ අවස්ථාවලදී ගුවන් විදුලි රඟමඬල හා සම්බන්ධවීමට හැකියාව මට ලැබෙන්නේ නැහැ. ඉඳලා හිටලා හෝ ඊට සම්බන්ධවීමටත් මා අමතක කර නැහැ.’

ගුවන් විදුලි රඟමඬලේ ගී ගැයීමට පැමිණි මේ තරුණිය ගී ගැයීම පසෙක ලා රඟපෑමට අත්පොත් තැබුවාය.

‘කැලණි පාලම’

ගීතා කාන්තිගේ ජීවිතයේ අපූරු කඩඉමකි.

‘සුරංගනී’

‘රූපවතී’

‘තරුණ සුරංගනීට අද රූපවතීගේ චරිතයට පණ පොවන්නට සිදු වෙලා නේද?’

‘ආර්. ආරේ. සමරකෝන් මහත්තයගේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ මම රඟපාන්නේ බොහොම තරුණ කාලයේ. එදා සුරංගනීගේ චරිතයෙන් ආරම්භ කළ රංගනය ඔස්සේ තවමත් මම එහි රඟපානවා. මීට වසර කිහිපයකට පෙර සිටි තරුණිය අද තරුණ විය ඉක්මවලා. ඒ නිසා ඊට උචිත රූපවතීගේ චරිතය රඟපානවා. එදා සුරංගනීට වගේම අද රූපවතීටත් ප්‍රතිචාර බොහොමයි.’

සිය රංගනයට සම්මාන ලැබීමට තරම් වාසනාවන්තියක වූ ඕ වේ දිකාව, සිනමාව හා පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය රංගන හැකියාව මුසු කළ අයෙකි.

පුංචි තිරයෙහි ඔබගේ රුව නිරන්තරවම දක්නට ලැබෙනවා නේද?

‘මේ දවස්වල ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘මැද ගෙදර’ ටෙලි නාට්‍යයේ ළමයි හය දෙනෙකුගේ මව ලෙස මා රඟපානවා. ගැහැනු දරුවන් පස් දෙනෙකු හා පිරිමි දරුවකු සිටින මෙම මවගේ චරිතය වගකීම් රැසක් හිමි චරිතයක්. විවිධ අදහස් ඇති ළමයි රාශියක් සමඟ කරන රඟපෑම රූපවාහිනිය නරඹන්නන්ට හොඳින් දැනෙන්න ඕනෑ. මගේ උපරිමයෙන් ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කරන්නට මා උත්සාහ කරනවා. ඊට අමතරව ගිහාන් රෝහණගේ ‘මුතු කැට සිහින’ ශෂි රංගගේ, කැලුම් පාලිත මහීරත්න කියන අධ්‍යක්ෂවරුන් කරන නිර්මාණ කිහිපයකටම රංගනයනේ දායක වුණා.

රංගන කටයුතුවලදී ඇය මවගේ චරිතයටම සීමා වූ බවක් දැනේ.

‘මවකගේ චරිතයටම පමණක් සීමා වීමට හේතුවක් තිබෙනවාද?

‘රංගනනය සඳහා මට ලැබෙන බොහෝ චරිත මවකගේ භූමිකාවයි. ඒ නිසා මා මවක කියන භූමිකාවට කොටු වෙලා කියන කාරණය ඇත්තක්. නමුත් මා මවකගේ භූමිකාවේ යම් විවිධත්වයක් දකිනවා. මොකද ඒ ලැබෙන චරිත විවිධත්වයෙන් යුතු නිසා. මා එසේ පවසන්නේ මවක වුණත් එකම පංතියේ නොවී විවිධ ගැටලුවලට මුහුණ දෙන චරිත ඒ අතර තිබීමයි.’

පබෝධා වැනි දියණියක ලැබීම පිළිබඳ ඔබ මොකද සිතන්නේ?

දක්ෂ දියණියක මෙලොවට බිහි කළ මවකගෙන් ඈ පිළිබඳ නොවිමසීම අඩුවකි.

‘ඈ විශේෂ දක්ෂතා ඇති දරුවෙක්. ඒ ගැන මට ආඩම්බරයි. දුව රඟපෑ නිර්මාණ ඕනෑ තරම් මා නරඹා තිබෙනවා. ඒ සමහර අවස්ථාවලදී ඈ කළ රංගනය මා කළා නම් කිසිම දිනෙක ඈ තරම් හොඳට මට ඒ රඟපෑම කළ හැකිද කියන ප්‍රශ්නය මා මගෙන්ම අසා ගත්තා. මේ වන විට ඈ මගෙන් ඈත දුර රටක සිටියත්, ඇගේ ආදරය, සෙනෙහස, ඇගේ තෝරා ගැනීම මා අගය කරනවා.’

සිය දියණිය පිළිබඳ ඇගයීමක යෙදුණු ඇගේ නෙතෙහි දිලිසුණේ කඳුළකි. ඒ කඳුළ අපට සිහි කළේ සිය දියණිය වෙනුවෙන් මවකගේ හදවතෙහි ඉපදුන අපූර්ව සෙනෙහසයි.