වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

කලාකරුවකු සාර්ථක නිර්මාණයක් කරන්නට හෝ ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වය ගොඩ නගා ගන්නට පෙරදා විවේචන බොහෝ සෙයින් බලපායි. එහෙයින් කලා ලොව තුළ සිදු වන දෑ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන ‘සරසවිය’ අප පාඨකයන් වන ඔබ කලාකරුවන් හෝ කලා නිර්මාණයන් පිළිබඳ විවේචන ද වැඩිපුර මේ සඳහා එවන්න. එය ඔවුන්ගේ ඉදිරි නිර්මාණයන්ට බෙහෙවින් බලපානු ඇත. එලෙස කියනුයේ ප්‍රතිචාර තීරයට වැඩිපුර ලැබෙනුයේ අගය ලැබෙන සිතැඟිය. ඒවා ද අවශ්‍යය. එහෙත් මෙම ඉඩ සමබරව පවත්වාගෙන යාමට සහ ප්‍රතිචාර පිටුව විවිධාකාර වීමට මල් මෙන්ම ගල් ද අවශ්‍යය.

ඔබේ ක්ෂණික ප්‍රතිචාර 0752805047 අංකයට එවන්න. තැපැල්පත් නම් ප්‍රතිචාර ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය භාවිත කළ හැකිය.

‘අළු බඳුන’ රඟපෑම් අගෙයි

අළුබඳුන ටෙලි නාට්‍යයෙහි ආශා එදිරිසිංහ, ජයනි සේනානායක, ජගත් චමිල සහ සරත් කොතලාවල සමඟ ලාල් කුලරත්නගේ රඟපෑම් ඉතා අනර්ඝයි.
 

සරත් රණසිංහ

කපුගොඩ

මාළිඳ නිමාව කදිමයි

මල්දෙවැට ටෙලි සිතුවම හොඳ ආදර්ශයක් ලබාදී හරවත් ලෙසත්, ප්‍රාණවත් ලෙසත්, රසවත් ලෙසත් ප්‍රේක්ෂකයාට අසාධාරණයක් නොකරමින් නිමාව දුටුවේය.
 

නිමල් කුලසේකර

අඟුලාන

අමතක නොවන රංගනයක්

අශෝකා චිත්‍රපටයේ හැරී නම් සෙල්ලක්කාර තරුණයාගේ චරිතය, පොඩි පුතා චිත්‍රපටයේ පොඩි පුතාගේ චරිතය මනාව නිරූපණය කළ ආනන්ද වීරකොන්ගේ රංගන විලාසය කිසිදාක අමතක නොවේ.
 

ජයම්පති නවරත්න

මාතලේ

‘ඔබට දිවුරා කියන්නම්’ සැමටම තුති

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල්සෝම පීරිස්්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය සහ සම්මානනීය නිළි අනෝජා වීරසිංහගේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වූ එච්. ආර්. ජෝතිපාලයන් හොඳම ගායකයා ලෙස සරසවිය සම්මානයෙන් කිරුළු පළන් ‘පාළු සුසානේ ප්‍රේම පුරාණේ’ ගීතය ඇතුළත් ‘ඔබට දිව්රා කියන්නම්’ චිත්‍රපටය ඩී. වී. ඩී ගත කළ සැමට මගේ ප්‍රණාමය.
 

සුමිත් සුදර්ශන

වතුරුගම

ශ්‍රීමතී ගී ඇසෙනවා මදී

‘ආත්ම ගණනක’, ‘අම රස පෙම්’ ආදී ගීත ගැයූ ශ්‍රීමතී තිලකරත්නගේ ගී ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා මදි.
 

වියාණි ගුණවර්ධන

නිලන්ති ගුණවර්ධන

වයානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

නොදැකපු දේ පෙන්නුවාට ‘දෙරණ’ට තුති

සතියේ දිනවල දහවල් එකට ටී. ටී. දෙරණ තුළින් විකාශය වන සිංහල චිත්‍රපට ඉතාම ලස්සන වැඩසටහනකි. මේ දිනවල එහි සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ ශීල්පීන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට පෙළක් විකාශය වේ. ඒ අතර චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනින් මොරායස් නම් අසහාය අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපට ද තිබිණ. ඒවා නරඹා මා ලද ප්‍රීතිය ප්‍රකාශ කිරීමට වචන නැත. කලාවට ළැදි තරුණ අප කවදාවත් දැක නැති පැරැණි චිත්‍රපට එලෙස විකාශය කිරීම ඉතා හොඳ කටයුත්තකි.
 

අජිත් ලක්මාල්

මීගමුව
 

යළිත් ඉපිද රඟන්නට එන්න

සැන්ටින් ගුණවර්ධන සිහිපත් කිරීමකි මේ.

සයිමන් ඝෂාවා නම් පෙම්වතා, සුභ නම් දොරටු පාලකයා අප සිත්වලින් කෙසේ අමතක කරම්ද?

ඔබ නැවතත් අප ශ්‍රීී ලංකාදීපයේ ඉපිද වේදිකාවට හරවත් යමක් කරන්න.
 

ශාන්ති පෙරේරා

මොරටුව

නම් වැලම පැදියෙන්

හෙළ සිනමා තාරකාවන්ගේ නම් අමුණා මේ පැදි පෙළ අපට එව්වේ වත්තල ලක්ෂ්මන් රණසිංහයි.

රුක්මණී ජෙමිනි කාන්තා රූපා දේවි
එමලින් දිඹුලාන
ශ්‍රීමතී කරුණාද්වි ලැටීෂියා පීරිස්
ඇග්නස් සිරිසේන
නන්දා ලීලානායක සුමිත්‍රා ඩෝරති
ගර්ලි ගුණවර්ධන
කුමාරි බිබිලේ කුමාරි මානෙල්
රීටා කාමලින් මනබඳීන
මේබල් ෂර්ලි බ්ලයිත් දෙන්නා
අක්කයි නංගයි වන්නේය
පර්ල් වාසුදේව මිලී කහඳවල
රංජනා රෝහිණීී ජයකොඩිය
විනීතා රංවල චිත්‍ර සකුන්තලා
නිල්මිණි සිල්වා සෝබනිය
තලතා නදීකා අම්මයි දුවයි
වාසගමෙන් ගුණසේකරය

ඇසිලින් තේජා විමලා පුෂ්පා ජෙනට්
සිරිමති රසාදරී
ශාන්ති ලේඛා චම්පා ලියනගේ
ලක්ෂ්මී බායි හරි හැඩකාරී

දිස්නා රංජනී රීටා පෙරේරා උදුලා
ජෙමිණි ෆ්‍රීඩා සීතා කුමාරි
සූරිය ජයමහ දෙනවක හාමිනේ
අයිරංගනී සේරසිංහ තවමත් රඟපාවි

ලීනා, ක්ලැරිස් ද සිල්වා රීටා
රත්නායක එකට
සුජාතා නාලනී කාන්ති ලිලියන්
රූබි ද මැල් රඟපෑ යසට
ලීනා නීටා ප්‍රනාන්දු කාන්ති
ලංකා ස්වර්ණා කහවිට
ශිරාණි ජානකී මැණික් තිදෙනා
කුරුකුලසූරිය පවුලේ ප්‍රකට

ප්‍රමිලා කුරුප්පු පර්ල් අනෙස්ටා
පර්ල් කුරේ එඩ්නා සුමනා
රොසලින් හේමා ඇනෙස්ටා ප්‍රනාන්දු
නිලන්ති විජේසිංහ මනබඳිනා
රත්නාවලී කැකුණුවෙල සමඟින්
මානෙල් පැමිණෙන්නා
ලියෝනි කොතලාවල අයේෂා
වීරකෝන් ශිරාණි ගුණතිලකත් එන්නා

මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින මැණිකේ අත්තනායකගේ රංගනය නියමෙටම නියමයි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

සංජය නිර්මාල්ගේ ස්වර චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දුටු අපට එය හොඳ චිත්‍රපටයක් බව තේරෙනවා.

කල්හාර

හොරණ

ප්‍රීති රන්දෙණියගේ ‘කැට කිරිල්ලී’ කෘතිය ජීවිතයේ සැප දුක පිළිබඳ හොඳ විවරණයකි. කියවන්නත් ආසයි. එය දොරට වැඩියේ සම්භාව්‍ය කලාකරුවන්ගේ අගය කිරීම් මැද ගෙවුණු හැන්දෑවකය. එදින රවීන්ද්‍ර රන්දෙණිියගේ කතාව සහ දිරි ගැන්වීම ආදර්ශවත්.

ඉනෝකා ගුණවර්ධන

සුජාතා විද්‍යාලය

නුගේගොඩ

චන්න විජේවර්ධන මහතාණෙනි,

මෙවර රිදී රැයක් ප්‍රසංගයට ගීතා කුමාරසිංහ, මැණික් කුරුකුලසූරිය, ක්ලැරිස් ද සිල්වා, ජීවරාණි යන කලාකරුවන් එකතු කර ගන්න යැයි ඉල්ලා සිටිමි.

රුවන් කුමාර

රත්නපුර

අම්මාවරුණේ ටෙලි නාට්‍යයේ කොස්තාගේ චරිතය එකම කන්දොස්කිරියාවක්.

කමලා මධුරප්පෙරුම

නාවල

දහඅට වංගුව ගීතය ගැයූ කුමා අත්තනායකගෙන් අලුත් ගීත ඉල්ලා සිටිමි.

රත්නා කහඳව

අලව්ව

නෙහාරා පීරිස්ට,

අද වැඩිම නාලිකා ගණනක රඟන නිළිය ඔබයි. එසේම රංගනය ද අපූරුයි. සැබවින්ම ජනප්‍රිය නිළිය ඔබයි.

ජයනාත්

බදුල්ල

එදා යුගයේ අතිශය ජනප්‍රය ඒ. එම්. රාජා, ජමුණා රාණි, ජික්කි වැනි ගායක ගායිකාවන්ගේ ගීත විනාශ නොකර ඒ අයුරින්ම ගයන සූරියකුමාර් මුත්තලගේ සහ එස්. කලාවතී අගයමු.

වික්‍රම

මිද්දෙණිය

හර්ෂ තෙන්නකෝන් නව පරපුරේ ඉතා දක්ෂ රංග ශිල්පියෙකි. නිහතමානී ගුණයෙන් පිරිපුන් ඔහු අනාගතයේදී මෙරට විශිෂ්ට රංගන ශිල්පියකු වනු ඇත.

ඉසුරු බස්නායක

කොට්ටාව

මේ වන විට රසික ජනගහණය අබිබවා යමින් ගායක ගායිකාවෝ පිරිසක් බිහිවෙමින් සිටිති. මේ අතර කිසිම හව්හරණක් නැතිව දුක් විඳින කලාකරුවන් පිරිසක් වෙනමම සිටිති. සුපිරි තරු සෙවිම මඳකට පසෙකලා ඔවුන් සතුටු කිරීම වගකිවයුත්තන් කරන්නේ නම් ඔවුන්ගේ ජීවිතවලට නව පණක් ලැබෙනු ඇත.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

සිංහල සංගීතයට අග්‍රගණ්‍ය මෙහෙවරක් කළ ලතා වල්පොල ගීත කෝකිලාවියනි, ඔබ කළ සේවාව අමරණීයයි.

සරත් මද්දුම ආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

වත්සලා දියලගොඩ නව පරපුරේ නිළියන් අතර ඉතා දක්ෂ චරිතාංග නිළියකි.

සංජීවනී

කුණ්ඩසාලේ

පුංචි තිරයේ මනා පෞරුෂයකින් හෙබි එකම නළුවා කංචන කොඩිතුවක්කුය. ඔහුගේ මානව හිතවාදී ගුණය කෙසේද යත් ඔහුගේ මංගල උත්සවයට වියදම් කරන්නට වෙන් කොට තිබූ මුදල රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමයි. එය ඉතාමත් සංවේදී ක්‍රියාවකි.

කුෂාන්ත

කැලණිය විශ්වවිද්‍යාලය

දිනේෂ් නානායක්කාර, අතුල ලෙව්කේ බණ්ඩාර හදවතට වදින ගීත තිළිණ කළා. ඇයි අද නිහඬ.

කරු මන්දාවල

නාත්තණ්ඩිය