වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං ඉන්නෙ හරිම පරෙස්සමෙන්

මං ඉන්නෙ හරිම පරෙස්සමෙන්

ඉසිවරුණේ දිව්‍යා - නිපුණිකා හේවාගමගේ

ඔබ නිපුණිකා හේවාගමගේව හඳුනනවාද? දෙරණ නාලිකාවේ අද හොඳම දවස සහ ජීවිතයට ෆෙන්ෂුයි යන වැඩසටහන් මෙහෙයවන්නිය ඇයයි. එමෙන්ම දූවරු ටෙලි සිතුවම හරහා රංගනයට පිවිසි ඕ දැන් රංගන ශිල්පිනියක ද වී හමාරයි.

ක්ෂේත්‍ර දෙකක් තුළ සෙමින් ගමනක යෙදෙන නිපුණි සරසවිය එක්ක මෙසේ පුංචි කතාබහක නියැළුණා.

නිපුණි කොහොමද කලාවට එන්නේ?

අපොස උසස් පෙළ අවසන් කළ වහාම යාළුවකුගේ මාර්ගයෙන් ප්‍රයිම් රේඩියෝවට සම්බන්ධ වෙලා ඉංග්‍රිසි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඒ නිවේදනයට තිබුණු ආසාවට වසරක් පමණ එහි වැඩ කරලා 2011 ටී. වී. දෙරණට බැඳෙනවා.

එහිදී ඔබ පළමුව ඉදිරිපත් කර තිබෙන සජීවී වැඩසටහනක්? ඒ 'අද හොඳම දවස'?

ඔව්, මං කවදාවත් හිතුවේ නැහැ මට දඩාස් ගාලා සජීවී වැඩ සටහනක්ම දේවි කියලා. එෆ්. එම්. එකේ ප්‍රවෘත්ති කිව්වට මුහුණ පෙනුණෙත් නැහැ. අනික කොළයක් බලාගෙන කියන්න පුළුවන්නේ. ඒත් සජීවී වැඩසටහනකදි එහෙම බැහැනේ. කොහොම හරි වැඩසටහන පටන් ගත්තට පස්සේ මට තිබුණු ටෙන්ෂන් එකත් එක්ක ගිරවි වගේ කියෝගෙන කියෝගෙන ගියා. පසුව මං ඒක රිවයින් කරලා නැරැඹුවා. මටම හිනා මං කියෝපු කියවිල්ලට. ඒත් එදා ඉඳලා අද වෙනකම් ඒ වැඩසටහන මං මෙහෙයවනවා.

නිපුණි රංගනයට පිවිසි අයුරුයි ඊළඟට මං අහන්නේ?

අපේ නාලිකාවේ විශ්වල අයියයි මට රංගනයට ආරාධනා කළේ. ඔහු මට ඒ ගැන කිව්වට මගේ කම්මැලිකමට මං බෑ කිව්වා. ඔහුගේ උනන්දුවට නාලන් මෙන්ඩිස් හමු වුණා. ඔහු මට ඩයලොග් කිහිපයක් කියන්න දීලා අපූරු චරිතයක් බාර දුන්නා. ඒක තමයි දූවරු නාට්‍යයේ නිම්මි. ඒක කළායින් අනතුරුව නාට්‍යයය ගණනාවකටම කතා කළා. පබසරා, නුඹට ඉන්නෙ මං විතරද, හිරු තනිවෙලා, මිනිමුතු, අටම්පහුර, මන්දෝදරි, පෙම් සිත දැහැමි, ඉසිවරුණ ඉන් කිහිපයක්.

ඔබ මේ වන විට ඔබේ හීනවලට ළඟවෙමින්ද සිටින්නේ?

මට මහ ලොකු හීන නැහැ. මෙච්චර පොඩි වයසට මෙච්චර දුරක් ක්ෂේත්‍රය තුළ ආවට පුදුමයි.

නිපුණි කළ ලොකුම මෝඩකම මොකක්ද?

ඒක මෝඩකමක් කියලා කියන්න බැහැ. මෙහෙමයි. ඇතැම් විට වෙනත් ක්ෂේත්‍රයක් තෝරා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන් නීතිය ඉගෙන ගන්න ප්‍රියතාවයක් තිබුණා. ඒත් ඒ පැත්තට යොමු වූයේ නැහැ.

ඒ කියන්නේ කලාව තෝර ගත්ත එකට ඔබ කලකිරිලද ඉන්නේ?

අපෝ නැහැ. මං ඒකෙන් අදහස් කළේ මෙහෙම දෙයක්. වෙනත් ක්ෂේත්‍රයක හිටියා නම් මෙතරම් මං ගැන මිනිස්සු හොයන්නේ නැහැනේ ඒකයි.

කලාව ඇතුළේ කැපිලි කෙටිලි කාරයෝ බහුලයි නේද?

ඒක නම් ඇත්ත. සමහර විට ඔවැනි අය අපි නොකරපු දෙයක් වුණත් මවාපාලා කියනවා. හරිම පරිස්සසමින් තමයි ඉන්නේ.

ඒකද ක්ෂේත‍්‍රයේ අයව අඩුවෙන් ආශ්‍රය කරන්නේ?

සත්තකින්ම.

එහෙම ඉද්දි ඔබ ආඩම්බරකාරියක් කියලා ඇතැමෙකුට හිතෙන්න පුළුවන්?

ඔව්. ඒත් මගෙත් එක්ක වචනයක් දෙකක් කතා කරලම බලන්නකෝ. එතකොට තේරේවි මං කවුද කියලා.

නිපුණිකාට පෙම්වතකු ඉන්නවා කියලා ප්‍රචලිතයි?

ඔව්. එයා තවම ඉගෙන ගන්නවා. ඔහු ගැන වැඩි විස්තර පසුව කියන්නම්.

නිපුණිට ආදරය කරන හැටි ගැන ද ඉගෙන ගන්නේ?

නැහැ, නැහැ. එයා එයාගේ අංශයෙන් ඉදිරියට යන්න ඉගෙන ගන්නෙ.

කොයි කාලෙ වගේද විවාහය සිද්ධ වෙන්නේ?

තව අවුරුදු පහකින්.

නිපුණිකා මේ දවස්වල දිව්‍යා වෙලා ඉන්නවා?

දිව්‍යා ඉන්නෙ ඉසිවරුණ නාට්‍යයේ. ඒක මේ දවස්වල විකාශය වනවා. දිව්‍යගේ තාත්තා ටිකක් වංචාකාරි දේශපාලඥයෙක්. ඒත් දිව්‍යා එහෙම නැහැ.

මෙතෙක් කළ චරිත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන චරිතය මොකක්ද?

පබසරා නාට්‍යයේ පබසරාට මං ආසයි. ඒත් තවම ඒක විකාශය වුණේ නැහැ.

රංගනයටද නිවේදනයට ද වැඩිපුර ආස?

ඇත්තම කිව්වොත් නිවේදනයට.