වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මතක ඉතිරි කර ගිය මතඟවීර

මතක ඉතිරි කර ගිය මතඟවීර

මෙරට මුල්ම ටෙලි වෘත්තාන්තය වූ දිමුතු මුතු වෙස් ගැන් වූ සම්මානනීය වේශ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීර ගැන මතක සටහනකි.

එක්තරා සිනමා සම්මාන උළෙලක දී වේශ නිරූපණය සඳහා හොඳම චිත්‍රපට දෙකක් නිර්දේශ විය. මේ චිත්‍රපට දෙස ගාමිණී ෆොන්සේකා විස්මයෙන් යුතුව බලා සිටියේය. ඒ නිර්දේශ නම් දෙකක්ම එක තරුණයකුගේ බැවිනි. ඒ නිර්මාණ කරු රංජිත් මතඟවීරය. පසුගිය ජුනි 02 වන ඉරිදා වේශ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීර ගේ සුව දුක් බැලීම සඳහා මාලිගාවත්ත රෝහලට මා ගියේ ඔහු මීට දෙවසරකට පමණ කාලයකට ඉහත වකුගඩු බද්ධ කිරීම සිදු කිරීමෙන් පසු යළි හදිසියේ රෝගාතුර වීම හේතු කොට ගෙනය. ඔහු රෝහලේ සයනය මත වැතිර සිටිය දී රෝගී තත්ත්වය ගැන ගණනකටවත් නොගෙන සිනමාව ගැන බොහෝ දේ කතා කරන්නට විය.

තවත් දින කිහිපයකින් සුවය ලබා නිවෙසට යන්නට හැකිවනු ඇතැයි ඔහු පැවසීය. ඒ නිමේශයෙන් ජීවිතයෙන් නික්මයාමක් ගැන රංජිත් තුළ කිසිදු අදහසක් හෝ සැකයක් නොවීය. මම ඔහුගෙන් සමුගෙන අවේ නිරෝගී සුවය ඉක්මනින් අත්වේවායි පතමිණි. එහෙත් ඊට දින තුනක් ඉක්ම යාමටත් පෙර ජුනි මස 05 වෙනි දින දහවල් ඔහු මියගිය පුවත දැනගත් මම බලවත් කම්පනයට පත් වූයෙමි.

ඉදිරියේ දී මා නිර්මාණය කරන්නට සූදානමින් සිටි සිනමා කෘතියෙහි වේශ නිරූපණ ශිල්පියා මෙන්ම නිෂ්පාදන අධිකාරීවරයා ලෙස ද කටයුතු කරන්නට සිටියේ ඔහුය. වසර 40 කටත් අධික කාලයක සිට ඔහු මගේ ආසන්න මිතුරෙක් විය. 1955 පෙබරවාරි මස 08 වෙනි දින උපත ලද රංජිත් ගේ මවුපියන් වූයේ ධනපාල මතඟවීර සහ කාමන් විජේසූරිය දෙපළය. හත් දෙනකුගෙන් යුතු පවුලේ තුන්වැන්නා රංජිත්ය. මූලික අධ්‍යාපනය මහරගම ලංකා සංඝ සභා විද්‍යාලයෙන් ලැබූ ඔහු අම්බලන්තොට සාරිපුත්ත විද්‍යාලයෙන් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් ද පසුව අධ්‍යාපනය ලැබීය.

මෙම වසරේ ජනවාරි මාසයේ අපෙන් වියෝ වූ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ ඔහුගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා වූ අතර වයස අවුරුදු 15 දී පමණ සිට ඊබට් ගේ සහාය වේශ නිරූපණ ශිල්පියා ලෙස රංජිත් සිනමාවට සම්බන්ධ විය. 1971 වසරේ ‘සැණකෙළිය’ චිත්‍රපටයෙන් ඇරඹි මෙම ගමන “හරි පුදුමයි, දෑස නිසා, හිඟන කොල්ලා, සත්වෙනි දවස, රණ බිමේ වීරයා, රණ දෙරණ, යස ඉසුරු, පරිත්‍යාගය, අහසින් පොළොවට, රත්තරන් අම්මා” ඇතුළු චිත්‍රපට 75 ක් දක්වා දීර්ඝ විය. එය වසර දහයකටත් අධිකය. මේ අතර ඊබට් විජේසිංහගේ විශේෂ උපදේශකත්වයෙන් ‘සරුංගලය, රක්තා’ වැනි චිත්‍රපටවල ද ඔහු කටයුතු කළේය.

“කිඳුරු කුමාරි” චිත්‍රපටයෙන් ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු ආරම්භ කළ රංජිත් පසුව ‘නිවන් දක්නා ජාති දක්වා, මුහුදු ලිහිණි, මල්දෙණියේ සිමියොන්, සුද්දිලාගේ කතාව, ස්ත්‍රී, ජනේලය, පාලම යට, අවරගිර, සෙයිලම, විසි දැල, ඔබටයි පි‍්‍රයේ ආදරේ, රජ වැඩකාරයෝ, අනුරාගයේ අනන්තය, පූජා, ආදර හසුන, මී හරකා, ගිනි අවි සහ ගිනි කෙළි, සඳ මඬල, පොඩි මල්ලී, මැණික් මාළිගා, සාරංගා, නිළියකට පෙම් කළෙමි, කුරුලු පිහාටු, දෙවැනි ගමන, සහරාවේ සිහිනය, තුන්වෙනි යාමය, කැඩපතක ඡායා, නැවත හමුවෙමු, මාරුතය, තීර්ථ යාත්‍රා, කුලගෙය, ධවල පුෂ්පය, හිතේ දුකක් නැති මිනිසා, ඇතුළු චිත්‍රපට 150 කට අධික ප්‍රමාණයකට වේශ නිරූපණයෙන් දායක විය.

රංජිත් එංගලන්තයේ රැකියාවක නියුතු කාලයේ එහිදී රූගත කළ ‘ජූලියා’ චිත්‍රපටයේ ද වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හිද ‘පිටගම්කාරයෝ, කඩුල්ල, දුර්ගාන්තය,ආදී සම්මානනීය ටෙලි වෘත්තාන්තයන් හිද ‘දොළොස් මහේ ගංගාව, වරංගා, පිනි බිඳු, සතුටු කඳුළු, ඇන්ගෝරා’ ආදී ටෙලි නිර්මාණයන් හිද රංජිත් වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළේය. අද සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රධාන වේශ නිරූපණ ශිල්පීන් ලෙස කටයුතු කරන ඉමල් ශානක පීරිස් සහ සංජය නිපුණආරච්චි රංජිත් මතඟවීරගෙන් වේශ නිරූපණය පුහුණු වූ ශිල්පීන් ය.

රංජිත්ගේ බිරිඳ අනුලා එරින් මතඟවීරය. රමේෂ් මතඟවීර සහ දුමිඳු මතඟවීර රංජිත්ගේ පුතුන් දෙදෙනාය. රංජිත්ගේ දෙටු පුත් රමේශ් මතඟවීර ද මෑත කාලයේ වේශ නිරූපණ ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රයට පිවිස සිටී. ඊබට් සහ රංජිත් යන දෙදෙනා ගේ මෙහෙය වීමෙන් රමේෂ් මතඟවීර ක්‍ෂේත්‍රයට දායක කොට ඇත. රංජිත් ගේ කනිටු පුත් දුමිඳු මතඟවීර එංගලන්තයේ අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් සිටී.

රංජිත් වසර 40 ක පමණ සිට පන්නිපිටිය මගේ ඡායාරූප ශාලාවට පැමිණ සතියකට දින දෙක තුනක්වත් මුණගැසී සිනමාව, ටෙලි නාට්‍ය ඇතුළු කලාව පිළිබඳ බොහෝ දේ කතා කළේය. ඔහු මගේ ඡායාරූප ශාලාවේ දොර ඇරගෙන එනු දකිනු අදත් මට මැවී පෙනේ.

ප්‍රවීණ කැමරා ශිල්පී එම්. වී. හේමපාල (තලේ) රෝගාතුර වීම හේතුවෙන් ‘සිනෙස්ටාර් පදනම’ පිරිනැමූ මුදල් චෙක්පත රංජිත් රෝගාතුර වූ දින කිහිපයකට පෙර ඔහුට ලබා දීමට හෙතෙම උනන්දු විය. අවසන් වරට රෝගාතුර වී රෝහල් ගතවීමට යන දවසේ එම චෙක්පත හේමපාලට භාර දෙන ලෙස මා අත තබා යන්නට තරම් රංජිත් කාරුණික විය. එය ඔහු මගේ ඡායාරූප ශාලාවට පැමිණි අවසන් දිනය විය.

රංජිත් මතඟවීර රැඩිකල් මත ධාරියකු විය. ඔහු සිනමාවේ හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නොයෙකුත් සංවිධානවල සාමාජිකත්වය දැරීය. කලා ක්‍ෂේත්‍රයේ මෙන්ම ගමේ මිතුරන්ගේ ද කාට හෝ යම් ආපදාවක් සිදු වූ විට ඒ සෑම දෙනා ගැනම සොයා බලා කටයුතු කරන්නට රංජිත් බලවත් වෙහෙසක් දැරීය. වේශ නිරූපණ ශිල්පීන් ගේ සුභ සාධනය වෙනුවෙන් සංවිධානයක් පිහිටුවන්නටත් ඔහු පුරෝගාමී විය.

ක්‍ෂේත්‍රයේ දී කිසිවකුට හෝ සිදුවන අසාධාරණය ඉදිරියේ ඔහු නැගී සිටියේය. චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය දර්ශන තලයේදී රංජිත් අන් අය සමඟ සිටියේ ද ඉතා විනෝදයෙනි. කාට හෝ ලණුවක් දී අන් අයද විනෝදයට පත් කරන ඔහු ඒ ලණුව දීම තුළින් කිසිවකුට රිදවන්නට තැත් නොකළේය. එයින් ලණුව කෑ කෙනා ඔහු සමඟ තව තවත් හිතවත් වන්නට විය. වෘත්තීය ගරුත්වය රැකගෙන කලාවෙහි නිරත වූ ඔහු එය කිසිවකුගෙන් අවතක්සේරුවන්නට ඉඩ නොතැබීය.

රංජිත්ට ඇති වූ වකුගඩු ආබාධය ගැන ඇසූ මා ඒ ගැන බලවත් ලෙස කම්පා වුවද ඔහු එයට අභීතව මුහුණ දුන්නේය. වකුගඩු බද්ධ කිරීමෙන් පසුව සුවය ලැබූ ඔහු සිනමා, ටෙලි නාට්‍ය හා වෙළෙඳ ප්‍රචාරක කටයුතුවල නිරත වූයේ ඉතා කඩිසර ලෙසය. නියමිත කාර්යය හැකි උපරිමයෙන් කිරීම ඔහුගේ සිරිතකි. දරුවන්ට, බිරිඳට ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටුකළ ඔහු පවුලේ සහෝදරයින් හා සහොදරියන් අතර ආදරයට කරුණාවට පාත්‍ර විය. ඉතා සරල, චාම් ගති පැවතුම් ඇතිව ජීවත් වූ ඔහු මිතුරන් අතර සොඳුරු සහෘදයකු විය.

රංජිත් මතඟවීර ජනාධිපති සම්මාන (1984 – 1987) 4 කින් ද සරසවිය සම්මාන (1989 – 1992) 6 කින් ද ර්‍ණ.ඛ්.ධ්.ඛ් සම්මාන 3 කින් ද ස්වර්ණ සංඛ (1984 – 1992) සම්මාන 4 කින් ද සුමති සම්මාන (97 – 98) 2 කින් ද පිදුම් ලැබීය. මිය යන්නට ආසන්නයේ ඊබට් විජේසිංහයන්ගේ පුත් උදාර විජේසිංහ සමඟ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කරණයේද, වේශ නිරූපණයේ මෙන්ම නිෂ්පාදන කළමනාකරණයේද යෙදුන රංජිත් අවසාන වශයෙන් වේශ නිරූපණයෙන් සහභාගි වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ ‘ස්වදේශ’ සිනමා කෘතියටය.

ඉතින් රංජිත් මතඟවීර සහෘදයාණෙනි, මේ සසර ගමනේ අප තවත් බොහෝ දුර යා යුතුය. අපි එතෙක් මතු භවයන් හි යළි යළිත් ළෙන්ගතුව මුණගැසෙමු.