වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘රෝද තුනේ ගමන හවසට අපි ගෙදර’

‘රෝද තුනේ ගමන හවසට අපි ගෙදර’

නවක ගායන පරපුරකට මං පෙත් විවර කරමින් S. L. B. C  ත්‍රීවිල් ස්ටාර් නගර, ගම් දනව් පුරා

මේ City F. M. . ශ්‍රාවකයන්ගේ දෙසවනෙහි මේ දිනවල නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන ගී ඛණ්ඩයකි. ‘රත්තරං හදවතක් ඇති, රත්තරං මිනිස්සුන්ගේ, රත්තරං හෝරාව’ ගැනයි ඒ ගීතමය ආමන්ත්‍රණය. තවත් විදිහකට කිවහොත් ඒ S. L. B. C .ත්‍රීවිල් ස්ටාර්’ තරගය වෙත කෙරෙන ළබැඳි ආරාධනාවය.

ත්‍රී රෝද රථ කර්මාන්තය ඔස්සේ ජීවනෝපාය සලසා ගන්නා පිරිස අප රටේ විසිපන් ලක්ෂයක් පමණ වෙතැයි සැලකේ. ත්‍රී රෝද රථ රියදුරන්, හිමිකරුවන්, අලුත්වැඩියා කරන්නන් මෙන්ම ඔවුනගේ පවුල්වල සාමාජික, සාමාජිකාවන් ද මේ පිරිසට අයත්වේ. S. L. B. C. ත්‍රීවිල් ස්ටාර්’ ඔවුන්ගේ ගායන හැකියාව විදහා දැක්වෙන සොඳුරු තෝතැන්නයි.

S. L. B. C. ත්‍රීවිල් ස්ටාර් බිහි වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයන්ගේ නිිර්මාණ සංකල්පයකට අනුවය. කොටින්ම කියතොත් එහි ගී ඛණ්ඩය රචනා කොට ඇත්තේ ද, ප්‍රචාරක පටයේ පිටපත ලියා ඊට හඬ මුසුකර ඇත්තේ ද ඔහු විසිනි. මේ තරගාවලිය පිළිබඳ ඔහු පළ කළේ මෙවන් අදහසකි.

ත්‍රී රෝද රථ රියදුරන්, හිමිකරුවන්, ඔවුන්ගේ ඥාතීන්, හිතවතුන් වගේම ත්‍රී රෝද රථ මගීන්ට වුණත් තමන්ගේ ගායන හැකියාවන් එළිදක්වන්න පුළුවන් මේ ‘S. L. B. C .ත්‍රීවිල් ස්ටාර් තරගය හරහා. අද පාරේ, තොටේ අපට හදිසියට යන්න තියෙන එකම වාහනේ ත්‍රී රෝද රථයනේ. මම දන්න, කියන බෙන්ස් කාර් තියෙන අය පවා අද ත්‍රීවිලර් එකේ යන්නේ. මොකද තමන්ගේ කාර්ය ඉක්මනට කරගන්න පුළුවන් නිසා.

ත්‍රී රෝද රථ රැකියාව කියන්නේ අභිමානවත් වෘත්තියක්. මේ අය කාටවත් අත නොපා හම්බ කරගෙන කන කට්ටියක්. ඒ වගේම ඔවුන් අවංක පිරිසක්. විවිධ දක්ෂතා, හැකියාවන් තිබෙන අය මේ අතර ඉන්නවා. ඇත්තෙන්ම ජෝතිපාලලා, මිල්ටන් මල්ලවාරච්චිලා, මිල්ටන් පෙරේරලා වගේ ගායන හැකියාවන් තිබෙන අය ඉන්නවා. අපිට තේරෙනවා. දැන් මේ අයගෙන් අපට ජාතික මට්ටමේ ගායකයන් දෙතුන් දෙනකුවත් බිහිකර ගන්නට පුළුවන් වුණොත් ඒක අපි ලබන ලොකුª ජයග්‍රහණයක්. ගමට ගිහින් අපි ඒ දේවල් කරන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම ජාතික ගුවන් විදුලිය හැටියට ඒක අපේ යුතුකම සහ වගකීමනේ.

අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් දිවා රෑ නොබලා ඇතැම් විට විවිධ අවදානම් ගමන් යමින් ඔවුන් කරන සේවයට අපි ගරු කරන්න ඕනෑ. අපි මේ කරන්නේ ඔවුන්ගේ දහදිය සුවඳට වටිනාකමක් එක් කිරීමක්.

ගුවන් විදුලියට ලොකු ඉතිහාසයක් තියෙනනවා ජාතියට වටිනා කලාකරුවන් විශේෂයෙන්ම ගායක, ගායිකාවන් බිහි කිරීම සම්බන්ධයෙන්. දැන් ජෝතිපාල පටන් ගත්තේ මෙතනින්. නිහාල් නෙල්සන් පටන් ගත්තේ මෙතනින්. මිල්ටන් මල්ලවාරච්චි පටන් ගත්තේ මෙතනින්. මෙතැනින් පටන් ගත්ත මිනිස්සුනේ ඔක්කොමලා. අනෙක් එක කවුරුත් කැමැතියි මෙතනින් උඩට එන්න. මොකද ගුවන් විදුලිය තමයි මහ ගෙදර. පෞද්ගලික නාළිකා අද එක්කෙනෙක් ගාව. හෙට තව කෙනෙක් ගාව. සමහරක් පුද්ගලික නාළිකා අද ඒ අයටම බරක් වෙලා.

මට ඕනෑ ‘අමාවතුර’, ‘බුත්සරණ’ වගේ නිර්මාණ. එතනට තමයි අපි මේ යන්නේ. නිවෙන්න ළං වෙලා තිබුණ සුභාවිත ගීතය නැවත දල්වලා, එය රැක ගැනීම උදෙසා අපමණ වෙහෙසක් දරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය. ගුවන් විදුලි ඉතිහාසය ගත්තම අපට තියෙනවා මහා විශාල භාණ්ඩාගාරයක්. අපට පුළුවන් එයින් ජාතිය පෝෂණය කරන්න.

S. L. B. C ත්‍රීවිල් ස්ටාර්’ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සැබෑ දක්ෂයා උඩට ගැනීම. මේකෙදි අපි බූරු ගැහීමකට හෝ ඕමි ගැහීමකට යන්නේ නෑ. අවසන් තීරණය තිබෙන්නේ පරික්ෂක මණ්ඩලය අතේ. එස්. එම්. එස්. ගහලා පුළුවන් එකාව කපලා බැරි එකාවනේ අද උඩට ගේන්නේ. අපි මේ රියැලිටි ප්‍රසංගවල ඕක දැකලා තියෙනවානේ. එස්. එම්. එස්.මනාප මතම අපි මේ තරගය පවත්වන්නේ නෑ. ජයග්‍රාහකයා වෙන්නේ අනිවාර්යයෙන්ම වඩාත්ම සුදුස්සායි.

City F. M. ප්‍රධානී අරුණ එදරිසිංහ මෙම S. L. B. C .ත්‍රීවිල් ස්ටාර් තරගාවලිය සැලසුම්සහගතව ඉදිරියට ගෙන යන පුරෝගාමී චරිතයකි. අප ඔහුගෙන් ද මේ පිළිබඳ අදහස් විමසීමක් කළෙමු.

ඇත්තටම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තමයි ඉතිහාසය පුරවටම ජනප්‍රිය ගායක, ගායිකාවන්, විශිෂ්ට ගායක, ගායිකාවන් ඒ විතරක් නෙවෙයි විශිෂ්ට ගීත රචකයන් හා සංගීතඥයන් බිහි කරපු ආයතනය. ගුවන් විදුලිය එදා මෙන්ම අදත් ඒ වගේම හෙටත් මේ කටයුත්ත නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනවා.

එහි විවිධ පැතිතඩ තිබෙනවා. එක්තරා අවස්ථාවක ‘පිබිදෙන ගායක පරපුර’ නමින් අපි ආධුනික ගායක, ගායිකාවන්ගේ කුසලතා එළි දැක්වීමට වැඩ සටහනක් ඉදිරිපත් කළා. මුළු ලංකාවේම ගායන කුසලතා ඇති පිරිස් මෙයට එක් වුණා. තව ‘නැවුම් මිහිර’ කියා ආධුනිකයන්ට අවස්ථාව ලබා දෙන වැඩ සටහනක් කළා. මේවා අදටත් තියෙනවා. මෑත භාගයේදී අපි කළා ‘තරු අතරට තරුවක්’ කියලා විවිධ වෘත්තිකයන්ගේ ගායන හැකියාවන් උරගා බැලෙන ගායන තරගාවලියක්. ගුවන් විදුලියට සෑම පාර්ශවයකම ශ්‍රාවකයන් ඉන්නවා. ලොකු, කුඩා, දුප්පත්, පොහොසත් එහෙම බේදයක් නෑ. ඔවුන් හැමෝටම ගැළපෙන විදිහෙ වැඩ සටහන් නිර්මාණය කිරීම ගුවන් විදුලියේ වගකීමක්. මොකද මේක ජනතාවගේ ගුවන් විදුලිය නිසා.

ඉතින් අපි අලුතෙන්ම හඳුන්වා දෙන වැඩ සටහන තමයි මේ ‘S. L. B. C .ත්‍රීවිල් ස්ටාර්’. මෙහි අරමුණ වන්නේ ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියැළි ත්‍රීරෝද රථ හිමිකරුවන්, රියැදුරන් ඒ පවුල්වල නෑදෑ හිතවතුන්ට ගායන ලෝකයේ ඉදිරියට යන්න අතහිත දීම. වැඩිපුර ගීත රස විඳීන්නේ, ගීතවලට පෙම් බඳින්නේ, කොටින්ම ගීතත් එක්ක ජීවත්වෙන්නේ ඇත්තම කිව්වොත් ත්‍රීවිල් හා සම්බන්ධ ජනතාව. ඒ අය හැම වෙලාවෙම හොඳ රේඩියෝ චැනල් එකක් දාගෙන සතුටෙන්, විනෝදෙන් තමයි තමන්ගේ රජකාරි කටයුතු කරන්නේ.

ත්‍රීරෝද රථ රියදුරන් ගැන සමාජයේ ඇතැම් කොටස් අතර වැරැදි මතයක් තියෙනවා. මේ කර්මාන්තයේ නියැළෙන සුළු පිරිසක් අතින් වෙන අකටයුතුකම් සමස්ත කර්මාන්තයටම බද්ධ කරනවා. ඇත්තම කිව්වොත් එහෙම කරන එක අසාධාරණයි. අපේ අරමුණත්, අභිප්‍රායත් මේ වැඩසටහන අවසන් වෙනවාත් එක්කම ‘ත්‍රීවිල්කාරයා’ කියන සමාජ සම්මත මතයට ගෞරවනීය නාමයක් එක් කිරීම සහ ඒ කර්මාන්තය මීටත් වඩා ජනතාවට සමීප සේවාවක් බවට පත් කිරීමයි. ගායකයා බිහි කරනවා හා සමානවම රටේ ජනතාවට පණිවිඩයක් යවනවා මේ කර්මාන්තයේ නියැළෙන පිරිස බොහොම සංවේදී, ජනතාවට ආදරය කරන සංගීතයට පෙම් බඳින, හොඳ රසවතුන් පිරිසක්ය කියන එක. සමාජයේ වෙනම පිරිසක් හැටියට හඳුන්වන්නට අප පෙළඹිලා ඉන්නේ මෙවැනි අහිංසක පිරිසක් කියන පණිවිඩය අපි ජාතියට ගෙන යාම ගායකයා බිහි කරනවා වගේම තවත් සුවිශේෂ අරමුණක්.

මේ තරගාවලිය අපි පියවර කිහිපයකට පවත්වනවා. එහි පළමු පියවර 19 වනිදා කොළඹින් ආරම්භ වුණා. මේ කර්මාන්තයේ නියැළි විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හැමෝටම කොළඹට එන්න බැහැ. ඒ නිසා ප්‍රාදේශීය මට්ටමෙන් මේ තරගාවලිය දියත් කරන්න කියලා සභාපතිතුමා අපට උපදෙස් දුන්නා. අපි 19 වැනිදායින් ආරම්භ කරපු මේ වැඩසටහන අපේ ප්‍රාදේශීය සේවාවන් පාදක කර ගනිමින් රජරට, මහනුවර, රුහුණු සේවය, ගිරාඳුරුකෝට්ටේ, අම්පාර, යාපනය සේවය ඔය ආදී වශයෙන් දියත් කරනවා.

ඒ සේවාවන් මුල් කරගෙන අපි ප්‍රධාන නගරවල ප්‍රධාන ශාලාවක මේ කටයුත්ත කරන්නේ. අපි ‘වයඹ හඬ’ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවයත් එක්ක සම්බන්ධ වුණාම ඊට තෝරා ගන්නේ කුරුණෑගල ප්‍රධාන නගරය. ඒ උදාහරණයක්. එතකොට ඒ දිස්ත්‍රික්කයේ අයට පහසුවෙන් ඊට සහභාගි විය හැකියි. හැබැයි අපි මූලික කර ගන්නේ ප්‍රාදේශීය සේවාවන්. ඒ වගේම යාපනය සේවයත් එක්ක සම්බන්ධ වුණාම අපි එය පවත්වන්නේ යාපනය නගරයේ. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ නිසා දෙමළ අය පවා මේ වැඩ සටහනේ ගී ගයනවා. ඕනෑම මාධ්‍යයකින් ගී ගයන්න පුළුවන්. ඒ ඕනෑම ගීතයකට වාදනය සපයන්න පුළුවන් දක්ෂ වාදක මණ්ඩලයක් අපට ඉන්නවා. ඒ වාදක මණ්ඩලය ඔබේ නගරයට, ගමට ඇවිත් ඔබගේ හැකියාවන් ජාතියට මුහුකරන්න අත්වැල් සපයනවා.

ප්‍රාදේශීය මට්ටමෙන් තරග පවත්වලා එයින් ජයග්‍රහණය කරන අය අපි කොළඹට කැඳවනවා දෙවැනි වටයක් සඳහා. ඒ විතරක් නෙවෙයි ගුවන් විදුලිියේ ප්‍රමිතිගත ශිලපීන් ලවා අපි ඒ අයට හොඳ පුහුණුවක් ලබා දෙනවා. දෙවැනි වටයෙන් තේරෙන අයට ඊට වඩා ටිකක් ඉහළ මට්ටමේ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේ පියවරෙන් පියවරට ගිහින් අර්ධ අවසාන මහා තරගයත් පවත්වලා අවසන් මහා තරගය දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර පවත්වන්නට අපි අදහස් කරනවා.

ප්‍රධාන අනුග්‍රාහකත්වය අපට දක්වන්නේ සීමාසහිත ඩේවිඩ් පීරිස් සමාගම. ඔවුන් ප්‍රථම ත්‍යාගයට බජාජ් ත්‍රීරෝද රථයක් ලබා දෙනවා. දෙවැනි ස්ථානයට බජාජ් පල්සර් මෝටර් සයිකලයක් ලබා දෙනවා. තුන්වැනි ත්‍යාගයට මුදලින් රුපියල් ලක්ෂයයි. නිල්වලා ආයතනය මඟින් පිරිනමන ටැක්සි මීටර් තුන්සීයක් කුසපත් ඇදීමෙන් අපි එක ස්ථානයකදී විස්ස බැගින් ප්‍රධානය කරනවා. රු: 14,500 ක මුදලක් වෙනවා ඒ ටැක්සි මීටරය. අපට මුද්‍රිත අනුග්‍රහය ලබා දෙන්නේ සිළුමිණ සහ දිනමිණ පුවත්පත්.

නමුත් මේ තරගාවලියේ වටිනාම ත්‍යාගය තමයි ගුවන් විදුලියෙන් නිකුත් කරන සරල ගී සහතිකය. එය විශ්වයේ සංගීතය තිබෙන තාක් කල් වලංගු සහතිකයක්. මොකද මේ රටේ ඉහළම හිනිිපෙත්තට ගිය ගායක, ගායිකාවන් ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ප්‍රමිතිගත වුණ අය. ඒ නිසා වෙනත් මෙබඳු කිසිම තරගාවලියකින් නොලැබෙන වරප්‍රසාදයක් තරගකරුවන්ට හිමි වෙනවා.