වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රෝස මලක් අතැති රසිකාවගෙන් කළ නොහැකි ඉල්ලීමක්

රෝස මලක් අතැති රසිකාවගෙන් කළ නොහැකි ඉල්ලීමක්

සරසවිය අලුත් පරපුරට අයත් දර්ශන ගුණරත්න

මගේ මුල්ම රැකියාව පත්තර මහ ගෙදරය. එය ද සරසවියටය. එදා පටන් වසර දහතුනක් පුරා සරසවිය මට සරසවියක්ම විය. වසර දහතුනක් පුරා සරසවිය නිසා මගේ ජීවිතයට එක් වූ දෑ බොහෝය. පුවත්පත් කලාවේදියකු ලෙස යම් අභිමානයක් මා ගොඩ නඟා ගනු ලැබුවේ ද සරසවියට පින් සිදු වන්නටය. පුවත්පත් කලාවේ අයනු, ආයනු පවා මා කියවනු ලැබුවේ සරසවියට පැමිණීමත් සමඟය. මගේ ජීවිතය හා බැඳී පැවති සරසවිය මට මෙන්ම අන් අයට ද මිණි පහනක් වූ කතාව ද හරිම අපූරුය. පාසල් අධ්‍යාපනය හමාරවීමත් සමඟ මුල් වරට 1995 ලේක්හවුස් ආයතනයේ පිය ගැට පෙළ නැග මා පැමිණියේ මගේ පියා මෙන්ම මාද කිසියම් හෝ දිනෙක දක්ෂ මාධ්‍යවේදියකු වනවාය යන යහපත් සිතුවිල්ලෙනි.

එවක ලේක්හවුස් සභාපතිතුමන් වූයේ ලක්ෂ්මන් ජයවර්ධන මහතාය. එතුමාණන්ගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු ජනමාධ්‍ය පුහුණු අංශයේ මුල්ම කණ්ඩායම සඳහා එක්වීමේ භාග්‍යය ද මා හට උදා වූයේ ඒ වන විට මාගේ පියාණන් වූ ඩබ්ලිව්. ජී. ගුණරත්න ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වීම නිසාය. ඩී. එෆ්. කාරියකරවන මහතාගේ අධීක්ෂණය යටතේ ඇරැඹි මෙම පුහුණු පාසලේ බොහෝ දෙනෙක් වූයේ ඒ වන විටත් මාධ්‍ය ක්ෂේත්‍රය් නියැළෙමින් සිටි හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාම ගොස් සිටි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දූ දරුවන්ය.

ඉතා කෙටි කලක් තුළ සියලු දෙනා සිය දක්ෂතා පෙන්වනු ලැබුවේ එකිනෙකාට නොදැවෙනි පරිද්දෙනි. සියලු දෙනා තුළම තිබූ සහජ දක්ෂතා නිසාම ඉතා කෙටි කලක් තුළ පුහුණුව අතරතුරදීම එකිනෙකාව තමන් කැමැති පුවත්පතක් සඳහා අනුයුක්ත කරනු ලැබුවේ ඒ තුළ සිට ප්‍රයෝගික පුහුණුවක් ලැබීම සඳහාය. ඒ අනුව මා තෝරා ගනු ලැබුවේ සරසවිය පුවත්පතය. කුඩා කල පටන් කලා කටයුතු සඳහා මා තුළ දැඩි උනන්දුවක් තිබූ නිසාම මා වඩාත් ආශා කළේ සරසවිය වැනි පුවත්පතකටය. ඒ වන විට සරසවියේ ප්‍රධාන කර්තෘවරයා වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය.

පුවත්පත් කලාවේ ද ලේඛන කාලවේ ද ප්‍රවීණයකු වූ ඒ මහතා යටතේ මගේ පුවත්පත් කලාවේ ඇරැඹුම පටන් ගන්නට හැකි වීම පිළිබඳව ද මා සිතින් සතුටු වූ වාර අප්‍රමාණය.

එඩ්වින් ආරියදාස, නන්දන කරුණානායක, ධර්මසිරි ගමගේ ආදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් පුහුණුව ලබන අවධියේ ලැබූ න්‍යායාත්මක දැනුම සරසවියේදී ප්‍රයෝගිකව අධ්‍යයනය කරන්නට මට අත්වැලක් වූයේ කුරුවිට බණ්ඩාරයන්ගේ මාර්ගෝපදේශකත්වයයි.

පුවත්පත් කලාවේ ප්‍රායෝගික පුහුණුවක් ලැබීම සඳහා සරසවියට ගොඩ වූ මා හට මුල් වරට කුරුවිට බණ්ඩාරයන් මා වෙත පවරනු ලැබුවේ පාඨක අදහස් පිටුවය. සරසවිය වටා ඒක් රොක් වී සිටින සරසවිය පාඨකයන් එවන අදහස් ගොනු කොට පාඨක අදහස් පිටුව සැකසීම මා හට මුලින් භාර කෙරිණි. සුසිල් ගුණරත්න, දීප්ති ෆොන්සේකා, අරුණ ගුණරත්න, සුසිල් ජිනප්‍රිය, විවේකා සමරසිංහ, අජන්තා හපුආරච්චි, ගීෂා මුණසිංහ, ආරියරත්න පෙරේරා සරසවියේ සෙසු සාමාජිකයන් වූහ. අක්ෂර වින්‍යාසය, ලිපියකට හෙඩිමක් දමන ආකාරය, ලිපියක් පුවත්පතට අවශ්‍ය ලෙස සකසන අයුරු ආදී බොහෝ දෑ ඉගෙන ගනු ලැබුවේ කුරුවිට බණ්ඩාරයන්ගෙනි.

සුසිල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම සමඟින් මට සරසවියේ රූපවාහිනී පුවත් සැකසීමට ලැබීමත් සමඟ පාඨක අදහස් තුළ කොටු වී සිටි මට එයින් එහාට යාමට හැකි විය. එවක සරසවියේ ප්‍රධාන පිටු සැකසුම් ශිල්පියා වූයේ ගීෂා මුණසිංහය. ඔහු අතින් හැඩ වැඩ වෙන සරසවියේ පිටු සඳහා අවශ්‍ය දෑ සපයා දෙමින් මා පිටු සැකසුම පිළිබඳ අවබෝධයක් ලබා ගනු ලැබුවේ ඒ පිළිබඳ ස්වයං අධ්‍යයනයකින් පසුවය. සරසවිය පත්තරයේ අන්තර්ගතයට වෙනස් මුහුණුවරක් එක් කිරීමට එදා කුරුවිට බණ්ඩාරයන් යෝජනා කළ අතර ඒ වෙනස්කම යටතේ පිටු අටක අතිරේක පෙළක් සතිපතා පළ කෙරිණි. නාට්‍ය, ගුවන් විදුලි, සිනමා, සංගීත, රූපවාහිනී ආදී අතිරේක පෙළක් මේ යටතේ සරසවියේ පළ විය. අරුණ ගුණරත්නටත් (වත්මන් සරසවිය ප්‍රධාන කර්තෘ) මටත් එදා පැවරුණේ පිටු අටක රූපවාහිනි අතිරේකය සැකසීමටය. පුවත්පත් කලාවට ආධුනිකයකු වූ මා ඉතා කෙටි කලක් තුළ පුවත්පත් කලාවේ සියලු දෑ මනාව වටහා ගත්තේ එයට තිබූ දැඩි ආශාවත් කැපවීමත් නිසාමය.

අපත් සමඟ ලේක්හවුස් ආයතනයේ පුහුණුවට එක් වූ අනෙකුත් සියලු පුහුණු මාධ්‍යවේදීන් තමන් අනුයුක්ත වූ පුවත්පත්වල සිදු කළ කැපී පෙනෙන දක්ෂතා නිසාම එවක පාලන අධිකාරිය එම සියලු දෙනා ආයතනයේ ස්ථිර පුවත්පත් කලාවේදීන් ලෙස බඳවා ගනු ලැබිණ. ඒ අනුව පුහුණුව ලැබූ සරසවියේම ස්ථිර පත්වීමක් ලැබුණේ මාද නොසිතූ පරිදිය. එය මට මෙන්ම සරසවියේ අන් අයට ද සතුටට කරුණක් වූයේ සරසවියේම පුහුණුව ලබා සරසවියේම ස්ථිර සේවයට එක්වීම නිසාය. විවිධ වූ පුද්ගලයන්ගේ විශේෂයෙන් නළු නිළියන්ගේ, සංගීත ශිල්පීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකයන්ගේ ආදී බොහෝ පිරිස් පිළිබඳ සරසවියට ලිපි ලියන්නට මට ඉන් පසුව අවස්ථාව උදා විය. නිත්‍ය වශයෙන් මා හට සරසවියට විශේෂාංගයක් කරන්නට ලැබුණේ නව පරපුර පිළිබඳවය. කලා ක්ෂේත්‍රයට ඒ්මට අදහස් කර ඇති නවක පිරිස් සේම, කලාවට මුල් වරට එක් වූ නවක පිරිස් පිළිබඳව ද කුළුඳුල් ලිපි ලීවෙමි. මුල්ම ලිපි මඟින් හඳුන්වා දුන් බොහෝ දෙනා අද ප්‍රවීණයන්ය. රොහාන් ශාන්ත බුලේගොඩ, බුද්ධික ජයරත්න, රොෂාන් පිලපිටිය, චන්දික නානායක්කාර ආදී බොහෝ පිරිසක් ඒ අතර වූහ.

එලෙස නව පරපුර හරහා කලාවට එක් වූ බොහෝ ශිල්පි ශිල්පිනියන්ගේ ඡායාරූප එකතුවක් ද එදා මා සතුව තිබුණි.

වැඩි වශයෙන් කතාබහට ලක්වනුයේ තිරයේ දකින පුද්ගලයන්ය. එහෙත් තිරය පිිටුපස සිට විශාල කාර්යයක් කරන පුද්ගලයන් ගැන සඳහන් වන කරුණු අල්පය. මේ නිසාම මා සරසවියට විශේෂාංගයක් ලියනු ලැබුවේ තිරය පිටුපස සිටින පුද්ගලයන් ගැනය. ටෙලි නාට්‍ය, චිත්‍රපට රූපගත කෙරෙන දර්ශන තලවලට (ලොකේෂන්) ගොස් එහි සිදුවන දෑ පිළිබඳ මට විශේෂාංග කරන්නට ද අවකාශ උදා වුූයේ සරසවියේ තවත් එක් කටයුත්තක් ලෙසටය.

සරසවියේ සිටින සාමාජිකයන්ට සරසවිය පත්තරය එළි දක්වනවාට අමතරව තවත් රාජකාරියක් ලෙස පැවරෙනුයේ සරසවිය සම්මාන උළෙල සංවිධානයයි. මෙවැනි සරසවිය සම්මාන උළෙල අටකට දායකවීමේ භාග්‍යය මා සරසවියේ ගත කළ කාලය තුළ උදා විය. රීගල් සිනමා ශාලාවේ හා ලිබර්ටි සිනමා ශාලාවේ පැවති චිත්‍රපට සතිය වුවත් සංවිධානය කිරිමට ද මට අවස්ථාව ලැබුණේ විශේෂ වරප්‍රසාදයක් ලෙසිනි.

සරසවිය සම්මාන උළෙල සඳහාම විශේෂයෙන් නිර්මාණය කරනු ලබන සලරූ සරණිය සඟරාවේ විශේෂ කලාප දෙකක් සහාය සංස්කරණය කිරීමට ද මට අවකාශ ලැබුණේ සරසවියේ මා ගත කළ කාලය තුළය.

සරසවියේ ගත කළ වසර දහතුනක සේවා කාලය තුළ කර්තෘවරුන් හය දෙනෙක් යටතේ කටයුතු කළෙමි. තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ ඒ අය අතර වූහ.

වසර දහතුනක් පුරා මා සරසවියට ලියනු ලැබූ ලිපි අතරින් අදත් මා වඩාත් ආශා කරනු ලබන ලිපි තුනක් ඇත. ඒ මිල්ටන් මල්ලවාරච්චි මියගිය පසු ඔහුගේ රසිකයන් අලළා ලියනු ලැබූ ලිපියත්, ක්ලැරන්ස් විජේවර්ධන මියගිය පසු මා ඔහු පිළිබඳ ලියනු ලැබූ ලිපියත්, අජිත් බණ්ඩාර සිරස සුපර් ස්ටාර් වීමෙන් පසු මා සරසවියට ලියනු ලැබූ ලිපියත්ය.

ක්ලැරන්ස් විජේවර්ධනට මා පුද්ගලිකව වඩාත් ආශා කළ නිසාම ඔහු මියගිය පසු මා ඔහු පිළිබඳ ලිපියක් ලියනු ලැබුවේ එවක ප්‍රධාන කර්තෘවරයා වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ද උපදෙසක් නැතිවය. කෙසේ හෝ මාගේ තනි කැමැත්තට ඒ ලියනු ලැබූ ලිපිය කිය වූ කුරුවිට බණ්ඩාරයන් එය සරසවියේ මැද පිටුවේ පළ කළේ මටද බොහෝ සේ ප්‍රශංසා කරමිනි.

මිල්ටන් මල්ලවාරච්චි මියගිය පසු ඔහුගේ රසිකයන් අලළා ලිපියක් ලිවීමට මට භාර විය. මා ඡායාරූප ශිල්පි තිලක් පෙරේරා සමඟ කලා භවනට ගියේ මිල්ටන්ගේ දේහය එහි තැන්පත් කර ඇති විටය. මහා ජන ගඟක් මිල්ටන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ වැල නොකැඩීය. මහා ජන ගංගාව එදා ඡායාරූප ශිල්පී තිලක් රූපගත කළේ සමහර අවස්ථා මගේ කරමත නැගය. ඔය අතරේ සිදු වූ එක්තරා සිසුවීමක් අදත් මගේ මතකයේ ඇත. ඒ වන විට මා සිටියේ මිල්ටන් මල්ලවාරච්චිගේ දේහය අසලය. සුදුවතින් සැරසුණු කාන්තාවක් කුඩා දරුවකු අතින් අල්ලාගෙන අනෙක් අතින් රතු රෝස මලක් රැගෙන අවසන් බුහුමන් දැක්වීමේ පෝලිමේ පැමිණෙමින් සිටි මොහොතක් විය. ඇය කීප විටක් මා දෙස ඕනෑකමින් බලා ටික වේලාවකින් මට කතා කළාය. අනතුරුව ඇය මගෙන් ඉල්ලීමක් කළාය. ඇගේ ඉල්ලීම වූයේ මිල්ටන්ගේ දේහයේ හිසෙන් කෙස් ගසක් ගලවා දෙන ලෙසය. ඇයගේ ඉල්ලීම බැගෑපත් එකකි. එහෙත් මට එය කෙසේවත් කළ නොහැකියි. එවැන්නක් කිරීම කිසිවකු හෝ දුටුවහොත් මට ද ප්‍රශ්නයක් වන බව මම ඇයට පැවසීමි. එවර ඇය යෝජනා කළේ මේ රෝස මල මහත්තයාගේ දේහය අසළින් තියන ගමන් එක කෙස් ගසක් මට ගලවා දෙන ලෙසය. ඒත් එය ද මම ප්‍රතික්ෂේප කළේ එවැන්නකට මගේ සිත ඉඩ නොදුන් නිසාය. අවසානයේ ඈ මගෙන් කළ ඉල්ලීම ඉටු නොවූ තැන හඬමින් විත් මිල්ටන්ගේ දේහයට රෝස මල තබා ආචාර කොට ගියේ මහත් වූ වේදනාවකිනි. මා ලිපිය ලිව්වේ මේ සිද්ධිය එක්කර ගෙනය. මෙම ඉල්ලීම මට එදා ඉටු කිරීමට බැරි වුව ද මම ඒ කාන්තාවගේ සානුකම්පිත ඉල්ලීම ඉටුකර දීමට නොහැකි වීම ගැන පසුව දුක් වුණෙමි. මිල්ටන්ගේ රසිකයන් එදා දේහය බදාගෙන හැඬූ හැටි අදත් මට හොඳ හැටි මතකය.

සරසවියේ ගත කළ කාලය මට හරිම සුන්දරය. ඒ අතර වාරයේ සිත් රිදවීම් ද නැතිවා නොවේ. මා දායක වු සරසවි සම්මාන උළෙල අතරින් ගාම්භීර මෙන්ම ආකර්ෂණීය විචිත්‍රවත් සරසවිය සම්මාන උළෙලක් මා අත්වින්දේ ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි නලින් ලද්දුවහෙට්ටි මහතාගේ කාලයේය.

එවකට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක බන්දුල පද්මකුමාර මහතා ද උළෙල සංවිධාන කටයුතුªවලට අමතරව අනෙකුත් පරිබාහිර කටයුතු පිළිබඳ පුද්ගලිකව සොයා බැලුවේ යම් අවස්ථාවල අප තුළ ද චකිතයක් ඇති කරමිනි. සරසවිය සම්මාන උළෙල අවසානයේ ප්‍රශංසා ගලා එමින් සරසවිය අප සිත් තුළ ද ප්‍රබෝධවත් බවක් ඇති කළ ඒ අසිරිමත් සරසවිය සම්මාන උළෙල මගේ ජීවිතයෙන් කිසිදා අමතක නොවනු ඇත.

සරසවිය සම්මාන උළෙලවලදී නළු නිළියන්ට ආරාධනා පත්‍ර යැවීමේදී සිදු වූ සිද්ධීන් ද සරසවිය ජීවිතයේ අමතක නොවනු ඇත. ඒ දිනවලට අපේ සැබෑ නම වෙනස් වී ආරූඪ නම් පවා අප යොදා ගන්නේ උළෙල සඳහා ඉල්ලන ආරාධනා පත්‍ර ගැටලුවෙන් බේරීම සඳහාය. එක් සම්මාන උළෙලක් පවතින දාක සවස දෙකට පමණ එක් නිළියකගේ ආරාධනා පත්තරය රැගෙන ඇය වෙත යන අතරේ මා රැගත් වෑන් රථය රාජගිරියේදී පොලිස් නිලධාරියෙක් නතර කොට රියදුරු නොකළ වරදකට දඬුවම් කිරීමට යාමේදී පොලිස් නිලධාරියා හා මා අතර ඇති වුූ දැඩි වචන හුවමාරුව අවසානයේ ගැටුමක් දක්වා වර්ධනය නොවී නතර වූයේ එදින සවස පවත්වන සරසවිය සම්මාන උළෙල නිසාමය.

මගේ රැකියාව මා කළේ බොහොම කැමැත්තෙනි. යම් වැඩක් කිරීමේදී මට එය හැකි ඉක්මනින් කර නිම කිරීමේ අවශ්‍යතාවයක් පැවතුණි. මේ ඉස්පාසුවක් නැති මගේ පුරුද්ද නිසාම කර්තෘ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ මට නමක් ද පටබැන්දාහ. වත්මන් සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මේ ආරූඪ නමේ නිර්මාණකරුවා විය. පසු කලෙක බොහෝ දෙනා මට කතා කළේ එනමිනි.

එවකට මා පදිංචිව සිටියේ මාලිගාවත්තේය. මේ නිසාම අන් අයට වඩා මම ලේක්හවුස් ආයතනයට සමීපව පදිංචිව සිටියෙමි. සරසවිය පත්තරය මුද්‍රණය වනදාට උදෙන්ම පැමිණ මුද්‍රණ කටයුත්ත අනුමත කිරීමේ වගකීම ද ප්‍රධාන කර්තෘවරයාගේ අනුදැනුම මත මට පැවරිණි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මියගිය දවසේ ඔහු වෙනුවෙන් විශේෂ සරසවිය කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය විය. ඒ වන විට සරසවිය කර්තෘවරිය වූයේ දීප්ති ෆොන්සේකාය. ඇය ද ඒ දවස නිවාඩු ලබා දින කීපයක් පුද්ගලික විනෝද චාරිකාවක් ගොස් තිබුණි.

සිනමා සක්විතිගේ වියෝව වහාම ඇයට පැවසීමෙන් පසු කෙසේ හෝ පාලන අධිකාරියෙන් අවසර ගෙන ඒ වෙනුවෙන් සරසවිය විශේෂ කලාපයක් මුද්‍රණය කිරීමට කටයුතු කරන මෙන් සරසවියේ සෙස්සන්ට භාර කරණු ලැබිණි. එහෙත් යම් යම් ප්‍රමාදවීම් මධ්‍යයේ ඒ සඳහා පාලන අධිකාරිය අවසරය ලබා දුන් හෙයින් පුවත්පතේ විශේෂ කලාපය මුද්‍රණය කිරීම සිදු කරනු ලැබුවේ මධ්‍යම රාත්‍රියේය. මේ වන විට මගේ බිරියගේ කුලුඳුල් දරු පුසූතිය ද ළංව තිබූ හෙයින් එදින ඇයව වෛද්‍යවරයා වෙත පෙන්වීමට ද සිදු වී තිබිණි. මා තුළ සරසවියට තිබූ ආදරය නිසාම මෙවැනි මොහොතක කර ඇර යාමට මගේ සිත ඉඩ දුන්නේම නැත. මා බිරිය එදින හැකි ඉක්මනින් වෛද්‍යවරයා වෙත පෙන්වා නිවස අසල ත්‍රී රෝද රථයක නංවා පිටත් කර හනික දුව ආවේ ලේක්හවුස් ආයතනය වෙතය. ඒ වන විටත් මුද්‍රණයට සූදානම් වෙමින් තිබූ සරසවියේ අවශ්‍ය කටයුතු සිදු කොට පත්තරයේ මුල් මුද්‍රණය පිරික්සා අනුමත කොට මා නිවසට ගියේ පාන්දර යාමයේය.

මගේ පුවත්පත් කලා ජීවිතයම ගෙවුණේ සරසවියේය. බොහෝ විට මා විනෝදබර ජීවිතයක් ගත කළ ද මගේ පුවත්පත් ජීවිතයේ අවසන් කාලය දැඩි අසහනයකට පත් කළ කාලයක් විය. මාධ්‍ය ජීවිතයේ හැදී වැඩුණු සරසවිය මවු තුරුලෙන් අකැමැත්තෙන් හෝ වෙන්ව යාමට මා අදහස් කළේ තවදුරටත් මවු තුරුලේ රැඳී සිටිය නොහැකි වූ නිසාය. මාධ්‍ය ජීවිතයේ මා හැදී වැඩුණු සරසවිය හැරයාම මගේ හිතට වාවාගත නොහැකි දුකක් ඇති කළේ මා ජිවිතයේ යම් දෙයක් උපයා ගත්තා නම් ඒ සියල්ලත්, මා සමාජයෙන් කීර්තියක් ලබා ගත්තා නම් ඒ සියල්්ලත් මට උරුමකර දෙනු ලැබුවේ සරසවියත්, ලේක්හවුස් ආයතනයත් වීම නිසාය. මට දෙවන මවක පියෙකු වූ සරසවිය පනස් වසරට එළඹෙන මොහොත වන විට සරසවිය සෙවණේ සිටින්නට නොහැකි වීම ගැන මට එක්තරා අන්දමක වාවා ගත නොහැකි දුකක් ගෙන දුන්න ද, සිනමා අඹර දිදුලමින් සමස්ත කලා පරපුරටත්, මටත් සරසවියක් වූ සරසවිය පුවත්පත පනස් වසරක් පුරා නොසැලී තේජාන්විතව අදත් මාධ්‍ය මෙහෙවරේ යෙදෙනවා දකින විට හිතට දැනෙන සතුට කියා නිම කළ නොහැක. සරසවිය පුවත්පත චිරාත් කාලයක් මේ මිහිමඬලේ සරසවියක්ම වේවායි මම හිස නමා ප්‍රාර්ථනය කරමි.