වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




“80 දශකයේ අපි සුහද හමුව“ ඔබේ තොරතුරු සරසවියට කියන්න

“80 දශකයේ අපි සුහද හමුව“ ඔබේ තොරතුරු සරසවියට කියන්න

80 දශකයේ සිනමාවේ රංගනයට සම්බන්ධ කලාකරුවන් අතර “80 දශකයේ අපි” නමින් සුහද හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රංගන ශිල්පිනි සනෝජා බිබිලේ, සහන් විජේසිංහ සහ සරත් දික්කුඹුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුහද හමුවේදී අසරණ තත්ත්වයේ සිටින කලාකරුවන් පස් දෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබේ.

නුදුරේදීම සිදු කිරීමට නියමිත මෙම සුහද හමුව සඳහා 1980 වසරේ සිට 1989 වසර දක්වා කාලය තුළ චිත්‍රපට තුනකට වඩා සම්බන්ධ වූ රංගන ශිල්පීන් ලබන 15 වැනිදාට පෙර දුරකථන අංකය සහ ලිපිනය සරසවියට දන්වා සිටින ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.

වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුවන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම මෙන්ම මේ තුළින් යම් සේවයක් ඉටු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එසේම ඉදිරියේදී ටෙලි නාට්‍ය නළු නිළියන් මෙන්ම අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලු දෙනා එක්රැස් කිරීමට නියමිත බවත් එම කමිටුව සඳහන් කළේය.

සනත් අබේසේකර මහරජ අජාසත්ත ගෙන එයි අජාසත්තට, බිසවට කෙනකු සොයයි

ඓතිහාසික කතා තම සිනමා කෘතීන් සඳහා පාදක කර ගත් සනත් අබේසේකර තවත් එවැනිම වූ සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටියි. මෙවර ඔහු රිදී තිරයට ගෙන ඒමට සූදානම් වන්නේ අජාසත්ත කුමරුගේ කතා පුවතයි. මහ රජ අජාසත්ත ලෙසට නම් කොට ඇති එය වින්සන්ස් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කේ. පෙරේරා නිෂ්පාදනය කරයි.

එහි බිම්බිසාර රජුගේ චරිතය ජීවන් කුමාරණතුංග රංගනයේ යෙදෙයි. ඛේමා දේවිය වනුයේ සබීතා පෙරේරායි. අජාසත්ත කුමරු ගේ චරිතයට මේ වන විට අයකු තවමත් තෝරා නැත. එමෙන්ම අජාසත්ත කුමරුගේ දේවිය එනම් උදායි භද්‍රා කුමරියගේ චරිතය භාර දී අලුත්ම රංගන ශිල්පිනියක්ව රිදී තිරයට හඳුන්වා දීමට සනත් අපේක්ෂා කරයි.

මහරජ අජාසත්ත සනත්ගේ තෙවැනි සිනමාපටය වන අතර ඔහු මහින්දාගමනය සහ සිරි දළදාගමනය මීට ප්‍රථම අධ්‍යක්ෂණය කර ඇත.

මාලක නන්දනගේ පියා මිය යයි

ටෙලි නාට්‍ය සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන මාලක නන්දනගේ දයාබර පියාණන් වූ සාලියදාස පෙරේරා අභාවප්‍රාප්ත විය. මිය යන විට හැට තුන් වියැති ඒ මහතා දෙදරු පියකි.

ඔහුගේ අවසන් කටයුතු පසුගියදා පොකුණුවිට බණ්ඩාරවත්ත පොදු සුසාන භූ®මියේදී සිදු විණ.

අලුත් පබා, පබළු, අමා ඔබද?

පබා, පබළු සහ අමා වැනි ජනාකර්ශන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසාගේ අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළු, නිළි චරිත දෙක සඳහා නවකයන්ට අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.

මේ සඳහා රංගනයට කැමැත්තක් සහ හැකියාවක් ඇති වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණ තරුණියන් ළඟදී ගත් උඩුකය ඡායාරූපයක් සමඟ නම, ලිපිනය ඇතුළු තොරතුරු ශාන්ත සොයිසා, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන ලෙස ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා දන්වා සිටියි.

ඇන්කොන්ඩා හලාවත

අශෝක සෙනරත් මුදලිගේ ඇන්කොන්ඩා මෙම මස 14 වැනිදා හලාවත සුදසුන ශාලාවේදී.