වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අපි සිනමාව හඳුනා ගන්නේ සංස්කරණ මැදිරියේදී

අපි සිනමාව හඳුනා ගන්නේ සංස්කරණ මැදිරියේදී

හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් සමඟ සොඳුරු කතාබහක්

ඕ හෙළ සිනමාවේ කිවිඳියයි. ඒ ‘කිවි වරම’ ඈ ලබා ගත්තේ සිනමාව පිළිබඳ සප්‍රමාණික අධ්‍යයනයකින් මෙන්ම ඒ හා බැඳුණු නිසඟ ප්‍රතිභාවේ මහිමයෙනි.

සුමිත්‍රා පීරිස් වන ඈ ඒ අග්‍රගණ්‍ය, අග්‍රේෂ්වර අපේ රටේ මහා සිනමාවේදිනියයි. ඈ සිනමාවට අත්පොත් තැබුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘සංදේශය’ චිත්‍රපටයෙනි. 1960 වසරේ තිරගත වූ එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරිය වූවේ ඇයයි. ඉන්පසු 1963 වසරේ තිරගත වූ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය සංස්කරණය කරමින් ඈ අලුත් මානයකට පිවිසියාය. එකී අංශයන්ගෙන් අපේ සිනමාවට දායක වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වන්නේ සුමිත්‍රාය.

සිනමාවේ ඇගේ සොඳුරු සිහිනය සැබෑ වූවේ ඈ සිනමාවට පිවිස වසර දහ අටක් ඉක්ම ගිය පසුය. ඒ ඈ හා හා පුරා අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයෙනි. එතැන් පටන් ඈ සිය කවි ඇසෙන් කැමරා කාචය හරහා දුටු අපේම ලෝකය, වඩාත් සුසංවේදීව, වඩාත් හෘදයාංගමව යළිඳු සිනමා තිරය ඔස්සේ අපට ප්‍රක්ෂේපණය කළාය.

වසර පණස් දෙකක් ඈතට දිවෙන ඉතිහාසයේ කෙළවරට ගොස්, මල් පාවඩ මතින් යළිත් වර්තමානයට ඒ අසිරිමත් මතකය කැඳවා එන්නට කළ වෑයමකි මේ.

සිනමාවේ ඔබේ ප්‍රවේශය සනිටුහන් වන්නේ ‘සංදේශය’ හරහා. නමුත් සිනමාව සමඟ ඔබේ බැඳීම සහ හැදෑරීම එයට වඩා දිගුයි?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ අවිස්සාවේල්ලේ ශාන්ත මරියා විදුහලේ. එතනින් පස්සේ කොළඹ විශාඛා විදුහලේ නේවාසිකව අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ තමයි මට සිනමාව ගැන මුලින්ම ඇල්මක් උනන්දුවක් ඇති වුණේ. අපි හුඟක් දුරට බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට. සිංහල චිත්‍රපටත් ඔය ‘සුජාතා’ වගේ ඉඳලා හිටලා අවුරුද්දකට සැරයක් විතර බලනවා. කර්මාන්තයක් හැටියට සිංහල සිනමාව දියුණු මට්ටමක නෙවෙයි ආරම්භයේදී තිබුණේ. හැබැයි ඒ කාලේත් මගේ හිතේ සිංහල සිනමාව ගැන හැඟීමක් තිබුණා. සිංහල චිත්‍රපට නිතර නොබැලුවත් ඒ ගැන උනන්දුවක් තිබුණා.

මොකක්ද ඒකට හේතුව?

අපි තරුණ කාලේ වුණත් හිතුවේ හොඳ සිනමාවක් අපේ රටේත් බිහිවෙන්න ඕනෑ කියලයි. ඒ කියන්නේ විශේෂ සම්භාව්‍ය සිනමාවක්ම නෙවෙයි. ඔය ‘බිටරයිස්’, ‘වයිල්ඩ් ස්ට්‍රෝබෙරිස්’ වගේ චිත්‍රපට ඒ කාලේ අපි නැරඹුවේ ඔලිම්පියා සිනමාහලේ. ඒ දවස්වල හැටියට මම නරඹපු හොඳ චිත්‍රපට ඒවා. ඔය වගේ සංස්කෘතියක් තුළ තමයි මා හැදුණේ, වැඩුණේ.

මම හිතන්නේ ඔබ සිනමාව කෙරෙහි ආසක්තවීමට බලපෑ තවත් විශේෂ කරුණක් තියෙනවා?

මගේ අයියා කෙනෙක් හිටියා. ඔහු බොහොම පළල් අදහස්වලින් හෙබි, කලා රසිකත්වයක් තිබුණ කෙනෙක්. මම ඔහුට ණයගැතියි ඔක්කොටම වඩා. මට වයස අවුරුදු දහතුනක් විතර වෙනකොට අම්මා නැති වුණා. ඊට පස්සේ අයියත් කලකිරීමෙන් රට, ගම අතෑරලා දාලා යන්න ගියා. විශාඛා විදුහලේ අධ්‍යාපනයෙන් පසු මම ඇක්වයිනස් විදුහලෙන් තවදුරටත් අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේම තමයි මම සිනමාකරණය හදාරන්න ප්‍රංශයට යන්න සූදානම් වුණෙත්. මගේ බාප්පා මුදල් දීලා ඒ ගමන පිළියෙල කරපු හැටි ගැන පළ වූ පැරණි විශේෂාංග ලිපියක් අජිත් ගලප්පත්ති මා ගැන ලියූ පොතේ ඇතුළත් වෙනවා.

ප්‍රංශයේදී තමයි ඔබේ ජීවිතයට වඩාත්ම සුවිශේෂී වූ පුද්ගලයා මුණ ගැහෙන්නේ?

ඔව්. මම ප්‍රංශයේ ඉන්න කොට ලෙස්ටර් ‘රේඛාව’ අරගෙන ‘කාන්’ ෆෙස්ටිවල් එකට ආවා. එතනදි ඔහු මට කීවා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න සල්ලි වියදම් කරනවට වඩා නරකද එංගලන්තයට යන එක කියලා. ඒ තීරණය ගන්න මම හිතන්නේ ඔහු මට ටිකක් උදව් කෙරුවා. ඒ වෙන කොට මම ඔහු දැනගෙන සිටියේ උපදෙසක් ගන්න මට්ටමකට විතරයි.

ඉන් පසු ඔබ එංගලන්තයට ගියා?

එහෙ ගිහින් මම උපාධිය කළා. ටික කාලෙකට පස්සේ අයියා මට ලියලා එවලා තිබුණා ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් සංදේශය කියලා චිත්‍රපටයක් හදන්න යනවා, උඹ කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්’ කියා.

එතකොට මම එංගලන්තයට ගිහින් අවුරුදු තුනක්. මටත් ආශාව තිබුණා මේ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න. මගේ දැනුම වැඩි කරගන්න පිටරට යන්න තීරණය කළත් එහි නතර වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ. ඉතින් මම ලංකාවට ඇවිත් ‘සංදේශයේ’ වැඩ කරන්න පටන් ගත්තා.

ඒ කාලේ විචාරකයන් ‘සංදේශය’ හැඳින්වූයේ දුෂ්කරතා මැදින් ජයගත් සිනමා අභියෝගය කියා. ඒ අත්දැකීම් බිඳක් විස්තර කළොත්?

අද තියෙන පහසුකම් කොහෙත්ම නෑ ඒ කාලේ. පොල් අතු ගෙවල් හදලා, ඒවායේ ඉඳලා තමයි චිත්‍රපටය රූගත කළේ. සෙට් එක තිබුණු තැන කඳු ගැටයක් උඩ අප්පුහාමිගේ ගෙදර තමයි මම නවාතැන් ගත්තේ. ඔවුන් හොඳ ගැමියෝ. ගොම පොලව, වරිච්චි බිත්ති මැද ගෙවුණ ඒ කාලය අද හීනයක් වගේ. මුහුණ, කට සෝදා ගන්න වුණත් ඇලට යන්න ඕනෑ.

ඔබට එතකොට වයස කීයක් විතරද?

අවුරුදු විසි හතරක් විතර. ජීවිතයේ යොවුන් අවධිය. ‘මොනවද කරන්න ඕනෑ. කොහොටද යන්නේ’ කියලා ඒ කාලේ මගේ ස්ථිර අරමුණක් තිබුණේ නෑ. එදිනෙදා කළ වැඩවලින් මට යම් දැනුමක් ලැබුවානම්, තෘප්තියක් දැනුණා නම් එයින් සෑහීමට පත් වෙන්න පුළුවන්කම තිබුණා. එදා අදට වඩා බොහොම වෙනස්. තරගකාරිත්වයත් අඩුයි. පුංචි පැල්පතක නැවතිලා චිත්‍රපටයේ වැඩ කරලා, සංස්කරණ කටයුතුවලදීත් ලෙස්ටර්ට සහයෝගය දුන්නා. සංස්කරණය තමයි මම හිතන්නේ අධ්‍යක්ෂණයට ඉතාම කිට්ටුම දේ. මොකද අපි සිනමාව හඳුනා ගන්නේ සංස්කරණ මැදිරියේදී තමයි.

‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙන් ඔබ සෘජුවම සංස්කරණ ක්‍රියාදාමයට එක් වෙනවා. අපේ සිනමාවේ පළමු සංස්කරණ ශිල්පිනියත් ඔබ?

‘ගම්පෙරළිය’ කරන කාලේ මම විවාහ වෙලා නෑ. මම ඩොක්ටර් පීරිස් හඳුනා ගත්තේ අවුරුදු විසි හතරේදී. 1964 දී ඔහුත් සමඟ විවාහ වෙන කොට මට වයස අවුරුදු විසි නවයත් පහු වෙලා. ‘ගම්පෙරළිය’ කළේ මගේ මුදලුත් දාලා. ඒ නිසාම මම ‘සිනෙලංකා’ සමාගමේ අධ්‍යක්ෂවරියක් වුණා. එතකොට ‘රේඛාව’ සංස්කරණය කර තිබුණේ ටයිටස් තොටවත්ත.

මම ‘ගම්පෙරළියේ’ නිෂ්පාදනයට හවුල් නොවුණා නම් එහි සංස්කරණයත් ටයිටස්ටම යන්න තිබුණා. මට ශක්තියක්, ආත්ම විශ්වාසයක් තිබුණා මේක කරන්න පුළුවන් කියලා. ඒ කාලේ ගැහැනු කෙනෙකුට මේ වගේ කටයුත්තක් කරන එක අභියෝගයක් වුණා ඒ තිබුණ පරිසරයත් එක්ක. කොහොම හරි ‘ගම්පෙරළියේ’ මගේ සංස්කරණය වෙනුවෙන් ‘සරසවිය’ සම්මානයත් හිමි වුණා. ඒ තමයි මගේ පළමුවැනි සම්මානය. එතනින් පස්සේ මම ‘දෙලොවක් අතර’, ‘රන්සළු’, ‘අක්කර පහ’, ‘ද ගෝඩ් කිං’, ‘මඩොල් දූව’, ‘අහසින් පොළොවට’ ඇතුළු චිත්‍රපට දහයක් පහළොවක් සංස්කරණය කළා.

නමුත් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි ඔබේ ප්‍රියතම ප්‍රකාශන මාධ්‍යය ලෙස පසුකාලිනව ඔබ තෝරා ගන්නේ?

ෆ්ලෝරිඩා ජයලත්, රෝහිණී ජයකොඩි සහ රූබී ද මෙල් මට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියත් වෘත්තීමය වශයෙන් ටෙක්නිකල් කොලිපිකේෂණ් එකක් ඇතුව වැඩ කරපු කෙනා මම. 1978 දී තමයි මම ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය නිර්මාණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ.

ඒ චිත්‍රපටය කළේ ඩොක්ටර් පීරිස්ගේ ගම්පහ ද කොහෙද තිබුණ අක්කර තිහක ඉඩම විකුණූ මුදලින්. ඒකත් මදි වෙලා පස්සේ බැංකුවලිනුත් ණය ගන්න වුණා. මොකද ඒ කාලේ ඉඩම්වලට අද වාගේ සල්ලි හම්බ වෙන්නේ නෑනේ. මේ චිත්‍රපටය 1978 දී තිරගත වුණාට අපි එය රූගත කළේ 1976 දී විතර. මුලින්ම මේ කටයුත්තට ලෑස්ති වෙන කොට තමයි ‘ගෝඩ් කිං’ පටන් ගත්තේ. ඉතින් ඒකට ආයෙත් එංගලන්තයට යන්න වුණා. නැත්නම් ඊට කලින් මම අධ්‍යක්ෂවරියක් වෙලා.

සංස්කරණ ශිල්පිනියක් ලෙස දිගටම කටයුතු කරන්නට ඔබේ එතරම් කැමැත්තක් නොතිබුණ බවක් මා අසා තිබෙනවා. ඇයි ඒ?

නෑ, ඉතින් සංස්කරණය සිදු වන්නේ තව කෙනෙක් යටතේනේ. තමන්ගේ සැමියාට වුණත් අවනත වෙන්න සිදු වෙනවා නිර්මාණකරු ඔහු නම්. ඉතින් ඒ නිසා මමම නිර්මාණකරු වෙලා ඒ කටයුත්තට මැදිහත් වෙන්න තීරණය කළා.

ඔබ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට තෝරා ගත්තේ එවකට අපේ සිනමාවේ සිටි ‘සුපිරි තරු’ නෙවෙයි. නවකයන්. ඇතැම් විට ආධුනිකයන්. හොඳම උදාහරණය වසන්ති චතුරාණි. ඇයි එදා මේ වගේ තීරණයකට එළඹුණේ?

ඇත්තටම මට ලොකුª ආසාවක් තිබුණා අලුත් අය දාලා මේ චිත්‍රපටය හදන්න. කරුණාසේන ජයලත් ගේ ‘ගැහැනු ළමයි’ පොත කියවලා මගේ ඔළුවේ ඇඳිලා තිබුණා ‘කුසුම්, මේ වගේ කෙනෙක් විය යුතුයි’ කියන අදහස. කුසුම් කෙනෙක් හොයන්න තමයි සෑහෙන්න කල් ගියේ. වසන්තිව අහම්බෙන් වගේ ගම්පහ හෝලික්‍රෝස් එකේදි මුණ ගැසුණේ. මම හොයාගෙන ගිය කෙනා නෙවෙයි අන්තිමට හමුවුණේ. මේ ළමයා ස්කෝලේ කනුවක් බදාගෙන ඉන්න කොට මම ගිහින් ඇහුවා මේ චරිතයට කැමතිද කියලා.

වසන්තිට එතකොට අවුරුදු පහළොවද කොහෙද . එයාට මම කවුද, කින්ද, මන්ද, කියලා ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මමත් චිත්‍රපටයක් කරලා තිබුණේ නෑනේ. ‘ආච්චි අම්මගෙන් අහන්න’ කිව්වා. ඉතින් අපි ආච්චි අම්මගෙන් අහලා කැමැති කරවා ගත්තා. එතන තමයි වසන්තිගේ ආරම්භය. එයා හොඳ නිළියක් වීම ගැන තාම මට ආඩම්බරයි. මම හිතන්නේ ඒක එයාගෙත් වාසනාව. මගෙත් වාසනාව.

ජනප්‍රිය තරු නොසිටියත් චිත්‍රපටය සාර්ථක වුණා ?

ඔව්, ඒ කාලේ හැටියට චිත්‍රපටය හොඳට දිව්වා. ජෙනිටා සමරවීර, ශ්‍යාමා ආනන්ද ටිකක් ජනප්‍රියයි. අජිත් ජිනදාස ‘මඩොල් දූවේ’ රඟපාලා තිබුණා. ජෝ අබේවික්‍රම මගෙත් එක්ක වැඩ කරන්න කැමැතියි කිව්වාම මම එයා වෙද මහත්තයාගේ චරිතෙට ගත්තා. ඉතින් විකුණන්න නළුවෙක්, නිළියක් හිටියේම නෑ මේ චිත්‍රපටයේ.

ඔබ වැඩිපුරම චිත්‍රපට නිර්මාණය කළේ ජනප්‍රිය නවකතා පාදක කරගෙන. විශේෂ හේතුවක් තිබුණද ඒකට?

මම ගමේ ඉපදුණාට හැදුණේ වැඩුණේ ගමෙන් පිට. ඒ ගැමි ජීවන සුවඳ ආපහු මට ලබා ගන්න පුළුවන් වුණේ පොත්පත් කියවීමෙන්. ඒක හින්දා තමයි මම හිතන්නේ මට හිත ගිය චරිත තියෙන, පරිසරයක් තියෙන, ගැමි සුවඳක් තියෙන, ආත්මයක් තියෙන පොතක් කියෙව්වාම ඒ අනුසාරයෙන් චිත්‍රපටයක් හදන්න ඕනෑයි කියලා මට හිතෙන්න ඇත්තේ. එහෙම පොත් කීපයක් කියවලා තමයි ‘ගැහැනු ළමයි’ තෝරා ගත්තේ. ඉතින් නවකථාව කියන්නේ පෞද්ගලිකව මගේ පැත්තෙන් සිනමාවට මා පොළඹවපු මාධ්‍යයක්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගොලු හදවත’ හා ඔබේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටවලට පාදක වුණේ එනමින් යුත් නවකථා. ඇතැමුන් එදා ඒවා හැඳින්වූවේ බොළඳ නවකතා හැටියට. ‘ගැහැනු ළමයි’ වගේ නවකතාවකින් ඔබේ මුල්ම චිත්‍රපටය නිර්මාණය කිරීම ගැන අද මොකද හිතෙන්නේ?

‘ගොළු හදවත’ තිර පිටපත ලිව්වේ රෙජී සිරිවර්ධන නේ. ඔහු විද්වතෙක් වගේම බුද්ධිමතෙක්. ‘ගැහැනු ළමයි’ තිර පිටපත මගේමයි. නවකතාව කියවලා, කියවලා ස්ක්‍රිප්ට් එක ලියාගෙන යනකොට මට හිතුණා මේ නවකතාවට බොළඳයි කියන එක අසාධාරණයි කියලා.

මොකද තරුණ අයගේ සිතුම්, පැතුම්, ජීවන රටාවන් තමයි ඒ චරිත වටා දිව යන්නේ. ඉතිං පෙළක් වෙලාවට ඒ හැඟීම්, දෙබස්, එක්කෝ ඒ පරිසරය පසුබිම් කරගෙන නවකතාව ලියවෙද්දී ඒක බොළඳ වෙන්න පුළුවන්. නමුත් චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අපි ඒ භාෂාව යොදා ගන්නේ නෑනේ. අපි ගන්නේ චරිත විතරයි. චිත්‍රපටයක හොඳ තේමාවක් අවශ්‍යයි. ඒ වගේම චරිත. ඒවා අපි පුරවන්නේ අපේ හැඟීම්වලින් නේ. ඉතින් ඒ නිසා වෙනම ශක්තියක් එනවයි කියන හැඟීම මට තියෙනවා.

බොළඳ නවකතාවකින් හොඳ චිත්‍රපටයක් කළා කියලද ඔබ කියන්නේ?

නෑ, එහෙම නෙවෙයි. කරුණාසේන ජයලත් මා ඉතා ප්‍රිය කළ ලේඛකයෙක්. ඔහුව ගෞරවනීය ලෙස මේ වෙලාවේ සිහිපත් කරනවා. දැන් මාර්ටින් වික්‍රසිංහගේ පොතක් ගත්තත් එහෙමයි. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ තිර නාටකය ලිව්වෙත් රෙජී සිරිවර්ධන.

එතනදිත් එයා තෝරා බේරා ගත්තේ අර පුද්ගලික කතාව. නන්දාගේත්, පියල්ගෙත් කතාවනේ ගෙනිච්චේ හුඟක් දුරට. ඒ ඔස්සේ යම් සමාජ විවරණයකුත් කෙරුණා තමයි. සමහරු ඒ කාලේ වුණත් කියන්න ඇති වික්‍රමසිංහ ගේ ‘ගම්පෙරළියේ’ නියම ගම තිබුණේ නෑ කියලා. ඕවා ඉතින් සිනමා විචාරකයන් කියපුවානේ.

‘ගැහැනු ළමයි’ – කුසුම්, ‘ගඟ අද්දර’ – නිර්මලා, ‘යහළු - යෙහෙළි’ – මුදිතලතා, ‘සාගර ජලය’ – හීන් කෙල්ල වැනි චරිත හරහා ස්ත්‍රිය පිළිබඳ කිසියම් සමාජ විද්‍යාත්මක ගවේෂණයක ඔබ යෙදුණා කියා මට හිතෙනවා. ඇත්තටම මේ චරිත ඔබට දැනුණේ කොහොමද?

ඇතැම් වෙලාවට ඒ චරිතවල ඇතැම් ලක්ෂණ මා තුළ තිබෙන්නට ඇති. නොතිබුණත් හිත ඇතුළෙන් ඒවා මතු වෙනවා. ඒත් මහජනයාට කියන්න බෑ සුමිත්‍රා පීරිස් මෙහෙමයි කියලා. දැන් මුදිතලතා වගේ චරිතයක් සමාජ අසාධාරණයට එරෙහිව, සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන චරිතයක්. මම ඒ චරිතයට ගරු කරන කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ මගේ සිතට එකඟ නැති එකම චරිතයක්වත් මගේ මුළු සිනමා ජීවිතයේම ගොඩ නඟලා නෑ.

ඒ චරිත අතරින් ඔබ වඩාත්ම කැමැති?

මම හිතන්නේ මුදිතලතාගේ චරිතය. හීන්කෙල්ලගේ චරිතයටත් මම ඉතාමත් කැමැතියි. නමුත් ඒ කර්කෂ ජීවිතය, අපි ඇගෙන් දැක්කත් ඒක විඳීන්න තරම් ශක්තියක් මම හිතන්නේ නෑ මට තියෙනවා කියලා. ඒ වුණත් ‘හීන් කෙල්ල’ මම ඉහළ ස්ථානයක තියලා අගය කරන චරිතයක්. නමුත් මුදිතලතාගේ චරිතය තුළ මගේ සිතුම්, පැතුම් තියෙනවා. ඒ නිසා මට ඒ චරිතයට අරට වඩා සමීප වෙන්න පුළුවන්. එක වෙලාවකට කුසුම් ගේ චරිතයට මට කිට්ටු වෙන්න පුළුවන් වුණාට මට හිතෙනවා ඇයි නැන්දම්මට ඕනෑ දෙයක් වෙන්න කියලා ගෙදරින් පැනලා ගියේ නැත්තේ කියලා.

ඔබට ඒ අත්දැකීමට මුහුණ පාන්න වුණා නම් ඔබ කරන්නේ ඒ දේ?

ඔව්. අනිවාර්යයෙන්ම ඒ දේ තමයි. ඉතින් මට වඩා වෙනස් චරිතයක් වුණත් ඒ චරිතයටත් මගේ කැමැත්තක් තියෙනවා. කුසුම් වගේ කෙනෙක් එක පැත්තකින් බලන කොට හොඳ චරිතයක්. සෝමා, සමාජයේ ඇසෙන් බලද්දී ටිකක් දඩබ්බර චරිතයක්. ඒ දෙන්නටම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න බැරි වෙන්නේ සමාජයේ වරදින්. ඒක තමයි මම ඉස්මතු කරන්නට උත්සාහ කළේ. නමුත් හැම ගැහැනු ළමයකුම ‘කුසුම්’ වගේ විය යුතුයි කියලා මම කිව්වේ නෑ.

සිනමාවේදිනියක් විදිහට ඔබ, මහා නළු ගාමිණී ෆොන්සේකා ගේ රංගන හැකියාව උරගා බලන්නේ එකම එක අවස්ථාවක පමණයි. ඒ ‘ලොකු දුව’ චිත්‍රපටයේ. එතකොට නිළි රැජන මාලිනී ෆොන්සේකා ඔබේ සිනමා පටයක මේ වන තුරුත් රඟපා නෑ. නමුත් ගාමිණී – මාලිනී යුවළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමා කෘතිවල විශිෂ්ටතම රඟපෑම් ඉදිරිපත් කළ නළු, නිළියන්?

හරිම කනගාටුයි ඒ ගැන. ගාමිණී ගැන කතා කළොත් ඔහුට හරියන චරිතයක් තිබුණේ ‘ලොකු දුව’ චිත්‍රපටයේ පමණයි. මාලිනී එක්ක මම වැඩ කරලා නෑ. දැන් එයාට චරිතයක් එනකොට ඊට වඩා වසන්තිට ඒ චරිතය ගැළපෙනවා කියා සිතුණා. ටිකක් සැර පරුෂ චරිතයක් නම් ස්වර්ණා මතක් වෙනවා. ඉතින් මාලිනීට හරි යන, ගැළපෙන චරිතයක් මගේ චිත්‍රපටවල තිබුණේ නැහැ කියලයි මට හිතෙන්නේ. දැන් ‘ලොකු දුව’ චිත්‍රපටයේ පුන්නාගේ චරිතය මාලිනීට වුණත් කරන්න තිබුණා.

ඒත් චිත්‍රපටයේ නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ මැදිහත් වෙලා ඒ චරිතය කළා. ඈ ඒ වෙනුවෙන් ගොඩක් කැප වුණ. දැන් මාලිනී ඩොක්ටර් පීරිස් ගේ චිත්‍රපට හතක ද කොහෙද රඟපෑවා. මම වැඩියෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙත් මාලිනී. අපේ තරුණ කාලේ පටන්. මොකද ලෙස්ටර් ගේ චිත්‍රපටවලදී මට ඈ මුණ ගැසෙනවනේ. ඒ ඔක්කොම තිබුණට එයත් එක්කලා චිත්‍රපටයක් කරන්න අවස්ථාවක් ලැබිලා නෑ.

එතකොට ගාමිණී?

මිස්ටර් ෆොන්සේකා නම් එච්චර මෙහෙය වන්න ලේසි කෙනෙක් නෙවෙයි.

ඒ නිසාමද ඔහු යොදා නොගත්තේ?

නෑ . . නෑ . . . අවස්ථාවක් තිබුණේ නෑ. දැන් අපි ආපහු හැරිලා බැලුවත් නිකං තාත්තා කෙනෙකුගේ චරිතයට ගාමිණී වගේ කෙනෙක් යොදා ගෙන තේරුමක් නැහැනේ. ඔහු මාත් එක්කත් හොඳ මිත්‍රත්වයක් තිබුණා. මොකද ‘සංදේශය’ පටන් ගන්න කොට ඔහුත් කොල්ලා. මමත් ඒ වයසෙම වගේ. මම පිටරට යන්න ඉස්සර වෙලා ‘උසාවි සාවිය’ කියලා චිත්‍රපටයක් කරන්න හිටියා. එකේ ප්‍රධාන චරිතයට තෝරාගෙන හිටියේ ගාමිණී. හොඳ චරිතයක් ඒකේ ඔහුට තිබුණා. නමුත් අවාසනාවකට ඒ චිත්‍රපටය කෙරුණේ නෑ.

කවදාවත්ම ඔබට රඟපාන්න සිතුණේ නැද්ද?

ඇයි එහෙම ඇහුවේ?

ඔබේ පැරණි ඡායාරූප කිහිපයක් දකිද්දී මට හිතුණා ඒ කාලේ ඔබ කෙතරම් රූමත්ද කියලා.

ඒක ෆොටෝගැෆර් ගේ දක්ෂතාවය.

ඒ විතරක්ම නොවේ?

මට නිළියක් වෙන්න ඕනෑ කියලා හැඟීමක් කවදාවත් තිබුණේ නැහැ. මොකද මම රූමත් කියලා මම හිතපු නැති නිසා. පරණ ඡායාරූප දැක්කම මටත් පුදුමයි මම මෙහෙම හිටියදෝ කියලත්. හැබැයි ඒ කාලේ මම දැන් වගේ ලිෆ්ස්ටික් එකක්වත් දැම්මේ නෑ. මම බොහොම සරලව ජීවත්වුණු කෙනෙක්.

මම එංගලන්තයේ ඉඳලා ඇවිත් ‘සංදේශය’ කරන කොටත් මගේ ගැහැනුකම සම්පූර්ණයෙන්ම යටපත්කර ගත්තා. මොකද පිරිමි ගොඩක් එක්ක වැඩ කරනවා නම් එහෙම ඉන්න ඕනෑ කියලා හිතුණා. මම කොණ්ඩෙ ගොඩක් කොටට කපලා හිටියේ. එක, එක යුගවල කොණ්ඩෙත් එක, එක මෝස්තරවලට හැදුණා. හැබැයි මම හිතන්නේ අර ගැහැනිය කියන එක ඉදිරියට දාගෙන ආවා නම් මට ඒ වගේ පරිසරයක ඉන්න පුළුවන්කම තිබුණා ද කියලා හිතා ගන්නත් අමාරුයි.

නමුත් අහම්බෙන් වගේ රඟපාන්න ඔබට ලැබුණු අවස්ථාවත් මඟ හැරියා?

මට මතකයි. ඔය ‘ගම්පෙරළියේ’ නන්දයි, පියලුයි පංච දාන දර්ශනයට තමයි ඒ ඇරයුම ලැබුණේ. පියල්ගේ චරිතය රඟපෑ හෙන්රි ජයසේනගේ බිරිය මානෙලුත් ඒ ජවනිකාවේ හිටියා. වෙන එකක් තියා මිසිස් මාර්ටින් වික්‍රමසිංහත් රඟපෑවා. වචන දෙක, තුනක් කතාත් කළා.

ඉතින් ඇයි ඔබ නොගියේ?

එකක් තියෙනවා, මම මෙහෙම හිටියට සෑහෙන්න ලජ්ජා සහගත කෙනෙක්. නිළියක් වෙන්න පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑ, අපට වඩා. මට මතකයි ඒ වෙලාවේ මම මේකප් එකත් දැම්මා. කොස්ටියුම් එකක් ඇන්දට පස්සේ මට බෑ කියලා හිතුණා. එදා ඒ ගත්තු තීරණය එහෙමමයි. නිකං ආසාවටවත් රඟපෑවේ නෑ චිත්‍රපටයක. දැන් මගේ අක්කා පවා ඉන්නවා චිත්‍රපටවල.

‘වෛෂ්ණාවී’ ඔබේ නවතම චිත්‍රපටය. මේ කතාබහ නිමාවට මත්තෙන් ඒ ගැනත් මතක් කරමු?

‘වෛෂ්ණාවී’ මට වැදගත් චිත්‍රපටයක් වෙන්නේ ඒකත් මම හිතන්නේ අර දකින රූපෙන් එහා යමක් කියන්න දරපු උත්සාහයක්. මැජිකල් රියලිසම් කියන දේ තමයි මේ චිත්‍රපටයේ තිබෙන්නේ. නමුත් ඒක බහුබූත පෙන්වන මැජික් එකක් නෙවෙයි. ඒ කතාවට අදාලව, ඒ ඒ අවස්ථාවලදී අපි තාත්වික බවින් එහා දෙයක් මේකට ඇතුළත් කළා. ඒකෙන් මම උත්සාහ කළේ චිත්‍රපටයට වෙනම ගැඹුරක් දෙන්න. සාමාන්‍යයෙන් මම, මගේ චිත්‍රපටවලට ලොකුවට කල්පනා කරලා යමක් ඇතුළත් කරන්නේ නෑ.

මොකද යමක් ඉබේටම එළි දැකලා ඒ පණිවිඩය ඉබේම රූප රාමු තුළින් ප්‍රේක්ෂකයාට යනවා නම් මම හිතන්නේ ඒකයි සාර්ථක. මේ චිත්‍රපටය ෂූට් කළේ ‘රෙඩි එපික්’ කැමරාවෙන්. මේ අවුරුදු පනහක් ගත වෙලත් මගේ සිනමා ජීවිතයේ අලුත් තාක්ෂණය සමඟ වැඩ කරන්න ලැබීම ගැන ඉතා සතුටුයි. මේ චිත්‍රපටය මගේ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස්ම නිර්මාණයක් වේවි.

ඒ කියන්නේ ඔබේ හොඳම චිත්‍රපටය?

ඩොක්ටර් පීරිස් නම් කියන්නේ ‘සුමිත්‍රා මේක ඔයාගේ හොඳම චිත්‍රපටය’ කියලයි. ලබන වසරේ ‘වෛෂ්ණාවී’ තිරගත වුණාට පසුව එහි සත්‍ය, අසත්‍ය බව ඔබට වැටහේවි.