වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අභිෂේකා උසස් අධ්‍යාපනයේ

අභිෂේකා උසස් අධ්‍යාපනයේ

සුනිල් විමලවීර ගේ දියණිය අභිෂේකා මේ දිනවල රූපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක්.

ඇය තමන් ලත් සාහිත්‍ය ඥානයෙන් මෑතකදී කවි පොතක් ද එළි දැක්වූවා. ඇය ගැන අලුත්ම ආරංචිය තමයි කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබපු එක . මීට පෙර ඇය භාත්කණ්ඩ සංගීත විශ්ව විද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ද දිනා ගත්තියක්.

ඇයගේ ඊළඟ අධ්‍යාපන ගමන වන්නේ ශාස්ත්‍රපති උපාධියලු. ඒ සඳහා ද අභිෂේකා දැන්ම සිට මහන්සිවෙන බවත් ආරංචියි.

ලාල් පුටු සොයයි

ලාල් හරීන්ද්‍රනාත් කොටුව පැත්තේ පැරැණි සැලූන් එකකට හදිසියේ ගොඩ වැදුණා. සාමාන්‍යයෙන් කෙනෙක් සැලුන් එකකට යන්නේ කොණ්ඩය කපන්න.

නමුත් ලාල් කලබලයෙන් සැලුන් එකට ගියේ කොණ්ඩය කපන්න නම් නෙමේ. ඔහුගේ අලුත්ම කලා අධ්‍යක්‍ෂණය ඇතුළත් චිත්‍රපටයට අවශ්‍ය පැරැණි පුටුවක් සොයා ගන්නටයි.

කොහොම හරි ලාල් අරන්ගිය මේ සලුන් එකේ පැරැණි පුටුව ආයෙත් ගෙනත් දීලා. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක කලා අධ්‍යක්‍ෂණයට යම් භණ්ඩයක් රැගෙන ගිය විට ආපසු ලැබෙන්නේ නැති තරම්.

නමුත් ලාල් නැවත එම පුටුව ගෙනත් දීමට තරම් කෘතඥ වූවා.

මහේන්ද්‍ර ගොවියන් සමඟ

රංගනයට දක්‍ෂ මහේන්ද්‍ර පෙරේරා මේ දිනවල ගොවිකම්වලට සැරසෙනවා කියලා ක්‍ෂේත්‍රයේ හාවක් හූවක් තියෙනවා.

ඒ මේ දිනවල රටපුරා සූර ගොවියා තෝරණ තරගයේ දී බස්නාහිර පළාතේ සූර ගොවීන්ගේ නායකයා වීම.

ඒ නිසාම මහේන්ද්‍ර මේ දිනවල වැඩි වශයෙන්ම බස්නාහිර පළාතේ කීර කොටුවල, එළවළු කොටුවල ඇවිදිනවලු.

’මම පොඩි කාලේ ඉඳළාම ගොවිතැනට ආසයි. බස්නාහිර පළාතේ සූර ගොවියන්ට නායකත්වය දෙන්න ලැබීම මට හරිම සන්තෝෂයි. හැබැයි උඩරට, රජරට වගේ ගොවිතැනට උපන් සූර ගොවීන් ඉන්න පළාත් සමඟ බටහිර අපිට තරගයක් දෙන්න උපරිම කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ එළවළු කොරටුවල වැඩි කාලයක් ගතකරන්න මට සිද්ධවෙලා තියෙනවා. කොහොම හරි අපේ බටහිර ගොවියෝ මොඩර්න් සූර ගොවියා කරන්න මම උපරිම උත්සාහ කරනවා’. යැයි මහේන්ද්‍ර පවසන්නේ ගොවිකම ගැන උපන් සිතේ සතුටත් සමඟ.

අපොන්සුගේ සකෝ දේවා කොළඹ එයි

ජයසේකර අපොන්සු කියන අපේ නාට්‍යකරුවා ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වුණු ‘සකෝ දේවා’ ත් සමඟ පසුගිය දවස්වල රට වටේම යන බව අපට ආරංචි වුණා. ඔහු මේ සූදානම් වෙන්නේ කොළඹ ප්‍රදේශයෙන් ඈත රඟහලවල වේදිකා ගත කළ ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යය පළමුවරට කොළඹ වේදිකාවක රඟ දක්වන්නයි. ඒ මෙම මස 14 වැනිදා ඉරිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයි.

වර්තමාන සමාජ විෂමතාවය සහ එවැනි වාතාවරණ සිදුවීමට – අතීතයේ සිට මිනිසුන් පොට වරද්දා ගත් තැන් පිළිබඳ කෙරෙන විමසුමක් ‘සකෝ දේවා’ නාට්‍ය ඔස්සේ ජයසේකර අපොන්සු කතාබහ කිරීමට ලක් කරනවා.

බන්දුල විජේවීර, හසිත ශ්‍රී ගුණවර්ධන, තුසිත වීරසිංහ, සූරිය බණ්ඩාර, ගාමිණී කුලරත්න, ගාමිණී කුලසේකර, නදීකා හෙට්ටිආරච්චි, පුබුදු වල්පිට, සුමිත් සුභසිංහ, ඉරේෂා නාමලී වෙත්තසිංහ, ප්‍රභාෂිනී දන්තනාරායන, ප්‍රභා දුෂාන්ති යන ශිල්පීන් ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සහාය වෙනවා. එහි සංගීතය ජගත් වික්‍රමසිංහගෙන්. ගීත රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. ‘සකෝ දේවා’ නාට්‍යය නිෂ්පාදනය හා රචනය සිදු කරන්නේ ජයසේකර අපොන්සු විසින්මයි.
 

මනීෂා අලුත් වැඩක

මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකට

ඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.

මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.