වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ආශා බෝස්ලේ දියණිය දිවි නසා ගනී

ආශා බෝස්ලේ දියණිය දිවි නසා ගනී

වෙඩි තබා ගත්තේ නළලේ දකුණු පසට ආශා බෝස්ලේ සමඟ පෙදර් මාවතේ තට්ටු නිවාසයේ ජීවත් වූ වර්ෂා දියණිය සඳුදා හිසට වෙඩි තබාගෙන මිය යාම දැන් ඇවිලෙන ගින්නක් මෙන් පැතිර යන පුවතකි.

මියයන විට වර්ෂා පනස් හය හැවිදි වියේ පසුවූවාය. ඇය වෙඩි තබාගෙන තිබුණේ බාල සොයුරාගේ බලපත්‍ර සහිත පිස්තෝලයෙනි. නළලේ දකුණු පසට තබාගත් වෙඩිල්ලෙන් මොළයට දැඩි ලෙස හානි වී ඇත. වර්ෂා වැතිර සිටි සෝෆාව ලෙයින් තෙත් වී තිබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

තවමත් වර්ෂාගේ මරණය සිය දිවි නසා ගැනීමක් කියා ස්ථිරකර නැතත් මීට පෙර දෙවරක්ම ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහකර තිබේ.

දියණිය මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ ආශාත්, පවුලේ අනෙක් සාමාජිකයනුත් සිංගප්පූරුවේ සම්මාන වැඩ සටහනකට සහභාගි වීම සඳහා ගොස් සිටින විටදීය. පුවත දැනගත් වහාම ආශා මවුබිමට පැමිණ තිබේ.

වර්ෂාගේ මරණය ගැන අතිරේක පොලිස් කොමසාරිස් ක්‍රිෂ්ණ ප්‍රකාශ් මෙසේ පවසයි.

‘වර්ෂා ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවක්. ඇතැම් විට ඇය විෂාදයෙන් (ඩිප්‍රෙෂන්) පීඩා විඳින්නට ඇති.’

ඇයගේ සිරුර මුලින්ම දැක තිබෙන්නේ ආශාගේ රියැදුරාය. ‘වර්ෂා වෙඩි තියාගත් පිස්තෝලේ තවත් උණ්ඩ පහක් තිබුණා. ඇය රාත්‍රී ඇඳුමක් ඇඳ සිටියා.’ ප්‍රකාශ් වැඩිදුරටත් කියා සිටියේය. මේ ආරංචිය මුලින්ම ලැබෙන විට වේලාව පස්වරු 12.12 පමණ වූ බව කියවේ.

අසල්වැසියන් පවසන්නේ කිසිවකු වෙඩි තබා ගන්නා හඬක් නොඇසුණු බවය. හරියටම වර්ෂා මිය ගිය වේලාව දැනගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. සිද්ධිය වූ දින උදෑසන නිවෙසේ අත් උදව්වට සිටින සේවිකා දීපාලි දිලිප් මේනේ පෙ. ව. 9.15 ට පැමිණ තිබේ. දොරවල් කිහිපයක්ම වසා තිබුණු අතර සේවකයා තට්ටු කළත් වර්ෂාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. වර්ෂා නෝනා නිදි ඇති. ටික වෙලාවකින් එන්න’ මේනේට ආශාගේ රියැදුරා පැවසුවේය. මේනේ යළි 10.30 ට පැමිණියාය. එවිට ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. රියැදුරු ආශාගේ සංගීත කාමරයට ගොස් තිබේ. ලෙයින් නැහැවුණු වර්ෂාගේ සිරුර දැක ඇත්තේ එවිටයි.

ලතා මංගේෂ්කාර් ද පදිංචිව සිටින්නේ එයටම සම්බන්ධ තට්ටු නිවෙසකයි. දියණියගේ මරණය වාර්තා වූ සැනින් ලතා එතැනට පැමිණ තිබේ.

ප්‍රශ්න කිරීමෙන් සහ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව වර්ෂාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ජේ ජේ රෝහලට ප. ව. 4.00 ට ගෙන ගොස් ඇත. සිද්ධියෙන් පසු ඇයත් ආශාත් පදිංචි වී සිටි ගොඩනැගිල්ල අවට අතුරු සිදුරු නැතිව පිරී ගියහ.

වර්ෂා මවගේ අඩි පාරේ යමින් පසුබිම් ගායනයට පිවිසියාය. හින්දි හා මරාති සිනමාපටවලට ගී ගැයූ ඇය ආශාගේ සංගීත සන්දර්ශනවලට ද සහභාගි වූවාය. ඇය සිනමා පසුබිම් ගායිකාවක ලෙසින් ක්ෂේත්‍රයේ රැඳී සිටියේ කෙටි කලකි. ඉන් පසු ඇය දේශපාලන තීරු රචනයට පිවිසියාය.

ක්‍රීඩා මාධ්‍යවේදියකු වූ හේමන්ත් කෙන්කාරේ සමඟ විවාහ වී සිටි ඇයගේ විවාහ දිවිය ද මව, ආශාගේ විවාහ ජීවිතය මෙන්ම අසාර්ථක විය.

මව සමඟ ජීවත්වීමට වර්ෂා ප්‍රභූ කුන්ජ් තට්ටු නිවාසයට පැමිණ තිබෙන්නේ 1998 දීයි. 2008 දී වර්ෂා මුලින්ම සිය දිවි නසා ගැනීමට උත්සාහකර තිබේ. මවගේ හැත්තෑපස්වැනි උපන් දිනයට පසු දින ඇය නිදි පෙති පානයකර සිය දිවි නසා ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.. සංගීත අධ්‍යක්ෂ අනූ මලික් ඇයගේ හොඳම මිතුරකි. ඔහුට සිය මිතුරියගේ වේදනාකාරී මරණය විශ්වාස කළ නොහැකිය.

‘මගේ තනුවට ගීයක් ගයන ලෙස අනන්තවත් ඇයගෙන් ඉල්ලා සිටියා. ඒ සැම විටම මට මිහිරි හඬක් නැහැ කියා ඇය ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. වර්ෂා කා සමඟවත් පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න කැමැති නැති කෙනෙක්.’ අනූ මිතුරියගේ වියෝවෙන් පසු මාධ්‍යයට පැවසුවේය.