වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා පීරිස් චිත්‍රපට ගී ගොනුව

සුමිත්‍රා පීරිස් චිත්‍රපට ගී ගොනුව

ගැහැනු ළමයිනේ
කොහෙද බලා ඉන්නේ
ඉගිළී යන්නද හිතා බලන්නේ
ගැහැනු ළමයිනේ
අවට අලංකාරයිනේ
සිහිනෙන් දුටු දේ විසිරී යයි

ගැහැනු ළමයි මවු අත්හැරදා
ගමෙන් පිටත් වී යන්න හිතා
බබළන විසිතුරු නගරේ හිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවන කරදර මතු වී
නිවස සොයා නැවතත් අඬ අඬ එයි

ගැහැනු ළමයිගෙන් හිරිහැර විඳලා
ආදර දරුවන් සැවෝම රවටා

රචනය - ජේ. ඒ. කැමිලස්

සංගීතය – නිමල් මෙන්ඩිස්

ගායනය – වික්ටර් රත්නායක

චිත්‍රපටය – ගැහැනු ළමයි

ගඟ අද්දර මා සිසිල් සෙවණෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළුවූවා

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුන ආශා හිම සළු සේමා
මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සන්සුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන
හදින් දුටුවා

ගඟ අද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මනු පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ

මාහද රහසේ බැඳුණා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා
සැඟවේ පායා

රචනය – ඔගස්ටස් විනයාගරත්නම්

ගායනය – විජය කුමාරතුංග

සංගීතය – නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය – ගඟ අද්දර

ඉරහඳ පාමුල ගංගා ඇළ දොළ
නෙළුම් මලට පෙම් බඳිනා
නෙළුම් මලේ රොන් සුවඳ
උරාගෙන
සිඳු දිය රැලි නඟනා

සතර දිගන්තේ අත්වැල් බැඳගෙන
මහ සමුදුර වෙත ඇදෙනා
එකම ජල කඳක් ලෙසිනා
රැල්ල බිඳෙයි පෙණ කැටි විසිරෙයි
සුදු පුලිනතලා මත වැතිරෙයි
එකම මුහුද මිස ගංගා ඇළ දොළ
කිසිවක් වෙන් වී නොපෙනේ
(දෙමළ අනුවාදය ගැයේ)

හැම දිය බිඳුවම එකතු වෙලා
මහා සාගරය මැවුණා
(දෙමළ අනුවාදය ගැයේ)

රචනය - රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය – නවරත්න ගමගේ

ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

චිත්‍රපටය – යහළුවෝ

වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවි
අනාත වූ මා දෑසේ කතා නිමාවේවි
මගේ කඳුළු හංගා මා සිනාසිසි ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී මා සුසුම් හෙළන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

රචනය - සුනිල් ආරියරත්න

ගායනය – නීලා වික්‍රමසිංහ

සංගීතය – නිමල් මෙන්ඩිස්

සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත

චිත්‍රපටය – ගැහැනු ළමයි

පුලුන් වලා රොදක් වගේ මගේ ආදරේ
දුහුල් වෙවී සැහැල්ලුවෙන් පාවෙලා
අනන්තය සොයා තැනක
සිතක ලැගුම් නොගෙන
ඔහේ ඇදෙන්නේ
දුහුල් වෙවී පුලුන් වලා වගේ ආදරේ

විල් තලයේ සිඟිති මලේ
රොන් සිඹිනා මුතු පින්නේ
රෑ අහසේ තරු එළියේ
තුරුලු වෙනා නිමේෂයේ

හදිස්සියේ ඔය ලේන්සුවෙන්
මගෙ හිත දවටා ගෙන කියාවී නැහැ කියලා
නෑ නෑ පුලුන් වලා රොදක් වගේ මගේ ආදරේ
පුලුන් වලා නිසංසලේ ලැගුම් ගනී කඳු ඉවුරේ
සඳපානේ පිනි වැස්සේ හද උතුරා සිහින බිඳේ

හදිස්සියේ ඇස තෙත් වෙලා
බොඳ වුණාම හැංඟිලා යාවී නේද
හොර රහසේ හැංඟිලා යාවී නේද?
නෑ නෑ පුලුන් වලා රොදක් වගේ මගේ ආදරේ

රචනය – නිලාර් එන්. කාසිම්

සංගීතය – නවරත්න ගමගේ

ගායනය – කසුන් කල්හාර

ඉන්දිකා උපමාලි

චිත්‍රපටය – යහළුවෝ

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන
ඇස් දැල් වූවා

දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉණිමං බැඳලා
ලස්සන සොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා . . .

බාලේ ගෙවලා
කාලේ දුරලා
නොපෙනී යනවද සුදු නංගී
ළංකර සිටලා
ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා . . .
 

රචනය – ඔගස්ටස් විනයාගරත්නම්

ගායනය – වික්ටර් සිල්වා,

නිරෝෂා පෙරේරා

සංගීතය – නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය – ගඟ අද්දර

එක මවකගේ දියණියක් නොවී
එක පවුලක සොයුරියක් නොවී
එකම අහස් වියනක් යට
මිහිකතගේ දියණියක්ව
ලොවේ සැමට සොයුරියක් වෙලා

ගලා බසිමි නදියක් සේ ගලා
ගලා යනෙන මං සරුකර ගලා
විලක් ලෙසින් එක පියසක
කොටු වී නොරැඳිය යුතුවේ
ගලා බසිමි නදියක් සේ ගලා

මේ ගමනේ මේ සිහිනේ
සැමට ලොවම එකම බිමක් වේවා
මේ ගමනේ මේ සිහිනේ
සැවොම ලොවේ එකම දැයක් වේවා

මලක් ලෙසින් පිබිදී හිනැහීලා
ලොවට සුවඳ දී මිස පෙති සලා
උපන් අකුලෙහිම සැඟ වී
මිය යා යුතු නැත ගොළු වී
මලක් ලෙසින් ලොවට සුවඳ සලා

රචනය – කුලරත්න ආරියවංශ

ගායනය – නන්දා මාලිනී

සංගීතය – නිමල් මෙන්ඩිස්

චිත්‍රපටය - යහළු යෙහෙළි

අහිම කුමාරි
බිංදු බිංදු හිම වැටුණාම
හැංගි හැංගි ඇස් නටවන
පුංචි පුංචි පුංචි හිම කුමාරි නිදා ඉන්නවා
අඟුටුමිට්ටෝ හත් දෙනයි
කුමාරියන් ලස්සනයි
හිම කුමාරි ඇහැරවන්න ඇවිත් ඉන්නවා

ඔන්න එදා කුඩම්මා නපුරුකම් කළා
පුංචිකමට කුමාරයත් ආවේ හැංඟිලා
කන්ද පාමුලේ පාට ගේ පැලේ
අප වාගේ කුමාරියන් රැඳී ඉන්නතුරු
කුමාරි නැඟිටිනවාලු

වෙළෙන්දියක් වගේ ආ
කුඩම්මා ගෙනා
විෂ දමාපු ඇපල් කා කුමාරි මත් වුණා
අසු පිටේ නැඟී කුමරු ඒවිලු
මලින් මලට හිම පිපෙන්න
අන්න එදා හිම කුමාරි නැඟිටිනවාලු

රචනය – අජන්තා රණසිංහ

ගායනය – නිරාශා පෙරේරා

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

චිත්‍රපටය – මායා