වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

පයින්වුඩ් චිත්‍රාගාරය තුළ නව දර්ශන තලයක්

පසුගිය සතියේ ඉතිරි කොටස

චිත්‍රපටයේ මූලික කතාව ගෙතී ඇත්තේ විකෘති මනසක් ඇති කාල් ස්ට්‍රොම්බර්ග් නම් පුද්ගලයකුගේ විනාශකාරී ක්‍රියාදාමයක් වටාය.

අමෙරිකාව සහ රුසියාවට අයත් බැලිස්ටික් මිසයිල් සබ්මැරීන 2 ක් සොරාගෙන එයින් විරසක වන දෙරට අතර තුන්වැනි ලෝක මහාසංග්‍රාමයක් අවුළුවා මනුෂ්‍ය ප්‍රජාව සමූලඝාතනය වූ පසු තමා විසින් ගොඩ නැගූ මුහුද යට ජනාවාසයන් හි තමාට අවනත මිනිස් පරපුරක් බිහි කොට එහි පාලකයා වීම ඔහුගේ තිරශ්චීන අරමුණ වෙයි. එම ව්‍යාපෘති කඩාකප්පල් කොට ස්ට්‍රොම්බර්ග්ගේ ඉරණම විසඳීම මෙවර බොන්ඩ් මුහුණ දෙන අභියෝගය වෙයි.

චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් ආරම්භ වුණේ 1976 අගෝස්තු මස සාර්ඩීනියාහි දී, බොන්ඩ් ලෝටස් එස්ප්‍රිට් රථය පදවන දර්ශන පෙළක් එයට ඇතුළත් වුණා.

සැප්තැම්බරයේ ඊජිප්තුවේ දර්ශන රූගත කිරීම් ඇරඹුන අතර ගීසා හි ස්පින්ක්ස් පිරමිඩ ආශ්‍රිත දර්ශන තල ඒ සඳහා උපයෝගි කර ගැණුනා. ආලෝකය පිළිබඳ යම් යම් ගැටලු පැන නැගුණ අතර ඒවා මග හරවා ගන්නට පිරමිඩ්වල කුඩා ආකෘති යොදා ගන්නට සිදු වුණා. ඊජිප්තුවේ ඉතිරි දර්ශන තල වූයේ ඉබන් ටූ ලුන් මුස්ලිම් පල්ලිය, අබු සිම්බල් සහ ගේයර් ඇන්ඩර්සන් කෞතුකාගාරයයි.

මෝල්ටාව, ස්කොට්ලන්තය, ස්විට්සර්ලන්තය, බෆින් දූපතේ අස්ගාඩ් කඳුවැටිය සහ ඉතාලියේ ද එලිමහන් දර්ශන රූගත කෙරුණා. ස්ට්‍රොම්බර්ගේ මෝර තටාකය සහ වැඩිමනත් දිය යට දර්ශන රූගත කෙරුණේ බහමාස්හි දී.

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහාම වෙන් වූ ‘007 වේදිකාව‘ නමින් නව දර්ශන තලයක් කෙන් ඇඩම් ගේ සැලසුම අනුව පයින්වුඩ් චිත්‍රාගාරය තුළ ඉදිකෙරුණේ මේ චිත්‍රපටය සඳහායි.

ස්ට්‍රොම්බර්ග් ගේ දිය යට ජනාවාස දර්ශන රූගත කෙරුණේ මෙය තුළයි. 1976 මාර්තුවේ දී ඉදිකිරීම් ඇරඹුන මෙහි ජල තටාකය පමණක් වතුර ගැලුම් 1,200000 ක ධාරිතාවකින් යුක්ත විය.

මෙම දර්ශන තලය විවෘත කරන ලද්දේ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය හැරල්ඩ් විල්සන් විසිනි. පෘතුගාලයේ සහ බිස්කෝ කලපුවේ එළිමහන් දර්ශනවලින් අනතුරුව 1976 දෙසැම්බර් 5 දා සියලු රූගත කිරීම් හමාර විය.

බොන්ඩ් චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂක ජෝන් බැරී, ආදායම් බදු ප්‍රශ්නයක් නිසා බ්‍රිතාන්‍යය හැර ගියෙන් චිත්‍රපටයේ සංගීතය සැපයුවේ මර්වින් හැම්ලිෂ් විසිනි. ‘නෝ බොඩි ඩස් ඉට් බෙටර්’ නම් තේමා ගීතය ගායනා කළේ කාලි සිමොන් වන අතර එය කැරොල් බේකර්ගේ රචනයකි.

ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර චිත්‍රපටයේ නම සඳහන් නොවන ප්‍රථම බොන්ඩ් තේමා ගීතය වන්නේ ද එය යි. 2004 දී ද එජ් ඔෆ් ද රීසන් සහ 2005 දී මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් යන චිත්‍රපට සඳහා එම ගීතය යොදා ගන්නා ලද්දේ එහි ඇති ජනප්‍රියතාව හේතුකොට ගෙනයි.

අමෙරිකාවේ විශිෂ්ටතම චිත්‍රපට ගීත දර්ශකයේ 67 වන ස්ථානය දිනා ගැනීමට ද එම ගීතය සමත් වුණා. සුපුරුදු බොන්ඩ් තේමා වාදනය හැම්ලිෂ් විසින් ඩිස්කෝ ආකෘතියට අනුව නවීකරණය කොට සංගීතවත් කළ අතර එය බොන්ඩ් 77 යනුවෙන් ප්‍රසිද්ධ විය.

1977 ජූලි 7 දා ලන්ඩන් ලිසිස්ටර් චතුරශ්‍රයේ ඕඩියන් ශාලාවේ දී ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම දර්ශනය පැවැත්විණ. චිත්‍රපටය ලෝ පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් මිලියන 185.4 ක් වූ අතර අමෙරිකාවේ පමණක් එය ඩොලර් මිලියන 46 ක් විය.

එහි ප්‍රථම ඩිජිටල් සිනමා ප්‍රදර්ශනය 2008 අප්‍රේල් 20 දා අධ්‍යක්‍ෂක ලුවිස් ගිල්බට් ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ එම්පයර් ලිසිස්ටර් චතුරශ්‍රයේ දී පැවැත්විණ.

විචාරකයන්ට අනුව රොජර් මුවර්ගේ හොඳම බොන්ඩ් චිත්‍රපටය ලෙස මෙය සඳහන් වේ. බාබරා බැච් සිත් ගන්නා සුළු, දක්‍ෂ, භයානක මෙන්ම සරාගී බොන්ඩ් කෙල්ල ලෙස ඇතැමෙක් අර්ථකථනය කළා.

හැම්ලිෂ් ගේ සංගීතය අගැයීමට ලක් වූ අතර ලෝටස් එස්ප්‍රිට් රථය දෙවැනි වන්නේ ඇස්ටන් මාටින් රථයට පමණක් බව විචාරක මතය වුණා. ස්ට්‍රොම්බර්ග් සහ ජෝස් ගේ චරිත බොන්ඩ් ප්‍රතිවාදීන් අතර හයවෙනි සහ හත්වෙනි තැන් ගන්නා බව ඇතැම් විචාරකයන් පෙන්වා දුන්නා.

මර්වින් හැම්ලිෂ් ගේ නම හොඳම ගීත නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මානය සඳහා යෝජනා වූ අතර හොඳම පසුබිම් සංගීතය වෙනුවෙන් පිදෙන ගෝල්ඩන් ග්ලෝබ් සහ ග්‍රැමී සම්මාන සඳහා ද යෝජනා වුණා.

වසරේ හොඳම කලා අධ්‍යක්‍ෂණය සඳහා කෙන් ඇඩම්ස්, පීටර් ලැමොන්ට් සහ හියු ස්කයිෆ් යන ශිල්පීන් ඇකඩමි සහ බැෆ්ටා සම්මාන සඳහා යෝජිත නම් අතරට එක්වුණා.

චිත්‍රපටයේ අවසන් නාමාවලියේ අග ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ චිත්‍රපටයත් සමඟ බොන්ඩ් ආපසු එයි යනුවෙන් සඳහන් වුවත් ඊළඟට නිෂ්පාදනය වුණේ, ‘මුන්රේකර්’ චිත්‍රපටය යි. ලබන සතියේ බොන්ඩ් ගේ සඳ ගමන හෙවත් ‘මුන්රේකර්’ බලාපොරොත්තු වන්න.