වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ නැතුව ඔබ එක්ක ලන්ඩන් යයි

ඔබ නැතුව ඔබ එක්ක ලන්ඩන් යයි

ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට විකිණී අවසන්ය.

ලෝකයේ ප්‍රධානතම චිත්‍රපට උළෙලක් ලෙස සැලකෙන ලන්ඩන් චිත්‍රපට උළෙලේ ප්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය තිරගත වෙමින් එහි යුරෝපීය මංගල දැක්ම පැවැත්වෙනු ඇත.

මේ මස 13, 15 සහ 17 දිනවල ලන්ඩන් නුවරදී චිත්‍රපටයේ දර්ශන පැවැත්වෙන අතර ඒවාහි ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට විකිණී අවසන්ය.

සති දෙකක් තුළ පැවැත්වෙන 56 වැනි ලන්ඩන් චිත්‍රපට උළෙලේදී මෙවර චිත්‍රපට 235 ක් තිරගතවීමට නියමිතය. ‘ඔබ නැතුව ඔබ එක්ක’ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරමින් එහිදී තිරගත වනු ඇත.

චාමි ප්‍රනාන්දු, ඉන්දීය නිළි අංජලී පාටීල්, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් ඔබ නැතුව ඔබ එක්ක රංගනයෙන් දායක වන පිරිසයි.


“දිය මත ලියමි” මුහුරත් උළෙල දා

රණවිරු රියල් ස්ටාර් අයෝමි ශානිකා ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට

ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්

ගඟ අද්දර සහ භාර්යාවෝ නිෂ්පාදනය කළ සුධර්මා නෙත්තිකුමාරගේ නවතම ටෙලි සිත්තම ‘දිය මත ලියමි’ හි මුහුරත් උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි.

ජාතික ආරක්‍ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ල, ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ගාමිණී නෙත්තිකුමාර සමස්ත ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන, නිළි රැජන මාලිනී ෆොන්සේකා, සිනමා නිළි සබීතා පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

කලා ලෝකයේ ඉහළ තලයකට ගමන් කිරීමේ අරමුණැතිව සුන්දර ගම්මානයක පී‍්‍රතිමත් දිවියක් ගත කරන සුලක්‍ෂණා නම් නර්තන ගුරුවරියක වටා දිය මත ලියමි කතා පුවත ලියැවී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා සහ නිළි රැජන
මාලිනී ෆොන්සේකා, සුබ මොහොතින් පහන්සිළු දල්වමින්

ශලනි තාරකා, රොජර් සෙනවිරත්න, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, චමිලා පීරිස්, පි‍්‍රයන්ත විජේකෝන්, පියුමි බොතේජු, සහන් රන්වල, හේමන්ත ඊරියගම, සෝමවීර ගමගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, රූපා ගෝමස්, නිල්මිණි කෝට්ටෙගොඩ, ජනක රණසිංහ, සමන් අල්මේදා, නදී චංචලා, ගිවන්ත අර්ථසාද්, සුදර්ශන බණ්ඩාර, තිරාශා ප්‍රනාන්දු, මල්ෂාණි ප්‍රනාන්දු, ඉෂාන් මෙන්ඩිස්, ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

චන්දන ධර්මප්‍රිය හා නාලක තලගලගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි තිර රචනය හේමන්ත ප්‍රසාද් විසිනි. චන්දන ඉරුගල් බණ්ඩාර සහාය අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන අතර සංස්කරණය සමන් සමරවික්‍රම විසිනි. කලා අධ්‍යක්‍ෂණය වජිර ප්‍රියශාන්ත සහ අංග රචනයෙන් පි‍්‍රයංක තිලක් සම්බන්ධ වේ.

රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරේ කිරුළ හිමි අයෝමි ශානිකා දිය මත ලියමි ටෙලි නට්‍යයෙන් ටෙලි නාට්‍ය තේමා ගී ගායනයට ද පිවිසේ.

මෙම ටෙලි නිර්මාණයේ සංගීතය සමන්ත පෙරේරා විසින් වන අතර තේමා ගීතය ගායනය සමන්ත පෙරේරා හා අයෝමි ශානිකා පෙරේරාගේ හඬින් ඔපවත් වේ. ‘දිය මත ලියමි’ හි රූගත කිරීම් පසුගිය 05 වැනිදා ආරම්භ කරන ලදී.


අද-සෙනසුරු මාරුව හෙට-කර්ම

අද සහ හෙට සිට එකිනෙකට වෙනස් මඟක් ගත් අලුත් චිත්‍රපට යුගළක් ප්‍රදර්ශනය ඇරැඹේ.

ඉන් එකක් උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුවයි.

එය අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ ප්‍රදර්ශනය වේ.

හෙට තිරගත වනුයේ ප්‍රසන්න ජයකොඩිගේ කර්මයි. එය සී. ඊ. එල්. මණ්ඩලයේ ප්‍රදර්ශනය වනු ඇත.


ආදී ආනන්දියන් රාජ සභාව 13 දා කොළඹ ගෙනේ

‘රාජ සභාව’ වේදිකා නාට්‍යය ලබන 13 වැනි සෙනසුරාදා පස්වරු 3.30 ට සහ 6.30 ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකා ගත කෙරේ. ඕල්කට් ශාලා ප්‍රතිසංස්කරණ අරමුදලට ආධාර පිණිස 70 – 75 ආදී ආනන්දියන් විසින් මෙය සංවිධානය කර ඇත.


’හද රැඳි ගී’ ගායන ශිල්පීන් සම්බන්ධීකරණය ගායක සමන් ද සිල්වා ට

ජාතික රූපවාහිනියේ විකාශය කෙරෙන ‘හද රැඳි ගී’ සංගීතමය වැඩසටහනේ ගායන ශිල්පීන් සම්බන්ධීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පත් කර තිබේ.

සිරිතුංග පෙරේරා විසින් අධ්‍යක්‍ෂණය කෙරෙන ‘හද රැඳී ගී’ වැඩසටහන සෑම ඉරිදාවකම පස්වරු 5.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. 90 දශකයේ දී ආරම්භ කළ මෙම සංගීත වැඩසටහන ඔස්සේ ගායක ගායිකාවන් රැසක් ක්‍ෂේත්‍රයට පැමිණි අතර වසර කිහිපයකට පසුව නැවත ආරම්භ කිරීමෙන් පසු එහි 17 වැනි වැඩසටහන පසුගිය දා විකාශය කෙරිණි.