වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවනේ ‘හොර’ ඩී. වී. ඩී. පිටපත් වෙළඳපොළට

දරුවනේ ‘හොර’ ඩී. වී. ඩී. පිටපත් වෙළඳපොළට
 

පිටපත නිකුත් වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියට දුන් පිටපතින් - සුනිල්. ටී

පසුගිය දිනයක අප කර්තෘතුමන් ඇමතූ ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට අපූරු ප්‍රවෘත්තියක් අප හමුවේ තබා දුරකථන සංවාදයට නිමාව තැබුවේය.

‘සුනිල්ගෙ දරුවනේ හොර ඩී. වී. ඩී කොපි වගයක් අහු වෙලා’

ප්‍රවෘත්තියෙන් කියැවුණේ එබන්දකි. හොර ඩී. වී. ඩී. ජාවාරම පිළිබඳ කිහිප විටක්ම කතාබහ කළ අපට හොර ඩී. වී. ඩී. පටයක් නිකුත්වීම ආගන්තුක ප්‍රවෘත්තියක් නොවුණ ද රොහාන් ගෙනා ප්‍රවෘත්තියේ අතිශය උණුසුම් බවක් රැඳී තිබුණේ දරුවනේ තවමත් අති සාර්ථකව තිරගත වන හෙයිනි. එවැනි චිත්‍රපටයක අතිශය හොඳ තත්ත්වයේ එහෙමත් නැතිනම් කොලිටි ඩී. වී. ඩී. පටයක් රට පුරා අනවසරයෙන් ප්‍රචලිත වූයේ කෙසේද?

අප සියලු දෙනාගේ එදින මාතෘකාව බවට පත්වූයේ මේ කතාබහයි. මෙම ඩී. වී. ඩී. තැටිය එක් රැයකින් රට පුරා ව්‍යාප්තව තිබූ බවත් කිසිදු බියක් සැකයකින් තොරව ඩී. වී. ඩී. පටය අළෙවි කරන බවටත් අසන්නට ලැබුණි. මේ පිළිබඳ පැන නැගී ඇති ගැටළුව විසඳා ගැනීමට පසුගියදා අපි සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවෙමි.

‘දරුවනේ දින පනහ සපුරන දවසේ තමයි මේ ආරංචිය අපට දැනගන්නට ලැබුණේ. රට වටා කිහිප දෙනෙක් මේ ඔත්තුව ඉතාමත් වගකීමෙන් අපට ලබා දුන්නා. ඉන් පසුව අපි පුවත්පත්වල දැන්වීම් පළ කළා. දරුවනේ හොර ඩී. වී. ඩී. තැටිය පිළිබඳ දත්ත ලබා දෙන්නකුට ලක්ෂයක මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කිරීමට මා පෞද්ගලිකව තීරණය කොට තිබුණා. මෙම දැන්වීමට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව රට වටා නීති විරෝධී ලෙස ඩී. වී. ඩී. පිටපත් ලඟ තබා ගත් බොහෝ දෙනා අත්අඩංගුවට ගන්නට හැකි වුණා. මෙම ඩී. වී. ඩී. පිටපත් සියල්ලම ලබාගෙන තිබෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතියට දුන් පිටපතෙන්. ඒ පිටපතෙහි ‘අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශනයට පමණි STF’ ලෙස සඳහන්ව තිබුණා. ඒ පිටපතෙන් තමයි චිත්‍රපටය පිට ගියේ.

මේ වෙලාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු හැම දෙනාම ඉතාම මහන්සියෙන් මේ කටයුත්තට තම දායකත්වය ලබා දුන්නා. ඒ හැමෝටම ස්තුතියි. සුනිල් කතාව නිමා කළ ද මේ කතාව මෙතනින් නිමා නොවෙන බව නොරහසක්. ලක්ෂ ගණන් මුදල් වියදම් කොට නිපදවන ලද චිත්‍රපට රුපියල් සියයට අසූවට විකුණන ජාවාරම්කරුවන්ට මෙය නම් සුළු සිදුවීමක් පමණකි. එබැවින් චිත්‍රපටවලට ආදරය කරන ඔබ මේ මොහොතේ සීරුවෙන් සිටීම ඉතාම වැදගත්ය. හොර චිත්‍රපට මිලදී ගෙන ඒවාට අනුබල දීම අපේ සිනමාවට ආදරය කරන ඔබ නොකළ යුත්තකි.

දරුවනේ චිත්‍රපටයේ හොර පිටපත් සොයමින් පොලීසිය මේ දිනවල දැවැන්ත මෙහෙයුමකය. ඒ මෙහෙයුමට ඔබටත් දායක විය හැක්කේ නිවැරැදි තොරතුරු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙනි.