වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය සිරි පැරකුම් වැඩ ඇරැඹේ

සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය සිරි පැරකුම් වැඩ ඇරැඹේ

හෙළ සිනමා සම්ප්‍රදායට අලුත් අර්ථකථනයක් එක්කළ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුව පළමුවරට තනන ඓතිහාසික කතා පුවතක් රැගත් චිත්‍රපටයක පළමු වැඩ කටයුතු කොළඹ ලයිට් හවුස් හෝටලයේ පැවති චාම් උත්සවයකදී ඇරැඹිණ.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සෝමෙ – රේණු යුවළ මෙසේ නිර්මාණය කිරීමට සැරැසෙන ඒ අපූරු චිත්‍රපටය වනුයේ සිරි පැරකුම්ය.

දඹදෙණි රාජධානියේ රජ කළ දෙවැනි පැරකුම් රජුගේ ජීවන ගමන් මගෙහි ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා ජන ප්‍රවාදයන් ඇසුරෙන් සෝමෙ විසින් සැකසූ තිර පිටපතකට අනුව ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි නිෂ්පාදන බරපැන රේණුකා බාලසූරියගෙන්ය.

සිරිමල් එතනා නිරූපණය කරන නිළි රැජනගේ පරම්පරාවෙන් සෙනාලි ෆොන්සේකා වම්පසින් සිටියි. දකුණේ කළු එතනාට රඟන සිනේති අකිලා

එම රජු ජීවත් වූ ප්‍රදේශයේ එනම් දඹදෙණියේ අවට ප්‍රදේශයන් හී රූගත කිරීම් සිදු කෙරන සිරි පැරකුම්බා ඔස්සේ සෝමේ – රේණු පෙර නිර්මාණයන්හි සේම නවක නළු නිළියන් කැලක් හඳුන්වා දීමට නියමිතය. ඒ අතර අප නිළි රැජනගේ පරපුරෙහි ඇත්තියකු ද සිටියි. ඒ සිරිමල් එතනා හෙවත් පැරකුම් කුමාරයාගේ බිසව ලෙස රඟන සෙනාලි ෆොන්සේකාය. ඇය මාලිනියගේ සහෝදරයකු වූ උපාලි ෆොන්සේකාගේ දියණිය වන්නීය.

එපමණක් ද නොව සිරි පැරකුම් කුමරුගේ චරිතය නිරූපණය කිරීමට භාර දී ඇත්තේ රංගනවේදී ජැක්සන් ඇන්තනීගේ දෙවන පුතණුවන් වන අකිල ධනුද්ධරටය. සිනේති අකිලා නම් වූ තවත් තරුණියක් කළු එතනාගේ භූමිකාවට පණ දෙමින් රිදී තිරයට එක් වෙයි. මේ තුන් කට්ටුවට අමතරව තවත් ළමා නළු නිළියන් සය දෙනෙකු සිරි පැරකුම් සමඟින් හෙළ සිනමාවට එක් වෙයි.

මෙම සිනමා සිතුවමෙහි තවත් විශේෂතා කිහිපයකි. ඒ සචිනි අයේන්ද්‍රා සෝමෙගේ අධ්‍යක්ෂණයට මුල්වරට නතු වීමය. මෙය රූපගත කිරීම් සිදු කෙරෙන දඹදෙණිය ප්‍රදේශය සෝමේ ගේ ගම් පියස ය. රේණුකා නිෂ්පාදනයට අමතරව මෙහි නිෂ්පාදන කළමනාකාරීත්වයෙහි වගකීම ද කරටගෙන කටයුතු කරන්නීය.

සිරි පැරකුම්හි සෙසු ප්‍රධාන නළු නිළි පිරිස වශයෙන් බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා, ජයන්ත මුතුතන්ත්‍රි, ලලිත් ජනකාන්ත, රිටිගල සුමේධ, අශාන් ඩයස් සිටින්නේය.

පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් ද, රිටිගල සුමේධ සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වන මෙහි සත්සර රටා රෝහණ වීරසිංහගෙන්ය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චිගෙන්ය. අශෝක ආතාවුදහෙට්ටිගේ අංග රචනයකි.

චිත්‍රපටයට සබැඳෙන දෙවන පැරකුම් රජුගේ සම්පූර්ණ නාමය සටහන් වනුයේ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු ලෙසටය. කවි සිළුමිණ රචනා කරන ලද්දේ ඔහු විසිනි.

ජැක්සන් ඇන්තනීගේ රජ තුන් කට්ටුව

ජැක්සන් කුස පබා චිත්‍රපටයේ කුස රජ්ජුවෝ වුණා. ඔහුගේ බාල පුත් සජිත අනුත්තර ජැකාම නිර්මාණය කළඅබා චිත්‍රපටයෙහි පණ්ඩුකාභය කුමාරයා ලෙස අභිසෙස් ලැබීය.

මෙන්න දැන් ජැකාගේ දෙවැනි පුත්‍රරත්නය අකිල ධනුද්ධරටත් රජ වෙන්නට ඇරැයුමක් ලැබිලා. ඒ සෝමරත්න දිසානායකගෙන්. ඔහුගේ නවතම චිත්‍රපටය වූ සිරි පැරකුම්හි දෙවැනි පැරකුම් රජතුමා තමයි අකිල.

බලාගෙන ගියාම දැන් ජැක්සන් ඇන්තනී පවුලේ රජවරු තුන්දෙනෙක්. සැබවින්ම මීට පෙර කිසිම කලා පවුලකින් මෙහෙම රජවරු බිහිවෙලා නැතුව ඇති.

ඉරානයේ ළමා චිත්‍රපට උළෙලට ලංකාවෙන් සාරණ්‍යා සහ ස්ටෙෆන්

ඉරානයේ පැවැත්වෙන ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල සඳහා ජූරි සභිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ළමා නිළි සාරණ්‍යා ජයකොඩි සහ ස්ටෙෆන් ෆර්ඩිනන්ස් හට හිමි වී ඇත.

සෝමරත්න දිසානායකගේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළි චරිතයට පණ දුන් සාරණ්‍යා එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී යුවළගේ දියණිය යි.

උදයකාන්ත වර්ණසූරියගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ සහ නාලන් මෙන්ඩිස්ගේ ‘සූරිය දරුවෝ’ සහ ‘ඉසුරු සංග්‍රාමය’ ටෙලි නාට්‍යවලට ද සාරණ්‍යා රංගනයෙන් දායක වූවාය.

සෑම වසරකම ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන මෙම ලෝක ළමා චිත්‍රපට උළෙල සඳහා මීට පෙර ශ්‍රී ලංකාව නියොජනය කරමින් නිත්‍යවානී කන්දසාමී, ප්‍රමුදි කරුණාරත්න, සරලා කාරියවසම්, තාරක හෙට්ටිආරච්චි සහ සඳලි වැලිකන්න සහභාගී වී තිබේ.

මෙවර ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල ඔක්තෝබර් 04 වැනි දා සිට 15 වැනි දා දක්වා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වේ.

සෙනසුරු මාරුව ඊ. ඒ. පී. මණ්ඩලයේ

දරුවනේ සිනමා සිතුවම තිරගතවීමෙන් අනතුරුව ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්ට ඔක්. 11සිට සෙනසුරු මාරුව පැමිණෙයි. එය උදයකාන්ත වර්ණසූරියගේ නිර්මාණයකි.

සෙනසුරු මාරුව නෞකාවක සේවය කළ මිතුරන් දෙදෙනෙකු වටා ගෙතී ඇති කතා පුවතක් රැගත් චිත්‍රපටයකි. ලකී ඩයස්, චන්න පෙරේරා, ශේෂාද්‍රි, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, කාන්ති ලංකා, ඉන්දික ගිනිගේ, තරික් රහීම්, ධනවර්ධන ගුරුගේ, නිමල් ඇන්තනී, අජිත් වීරසිංහ, ටිරෝන් මයිකල්, සේනක විජේසිංහ, සම්පත් ජයවීර, පණ්ඩුක ශ්‍රී දයාන්, සුදේශ් වසන්ත පීරිස්, ගාමිණී විජේසිංහ, විශාඛා ජයවීර, නන්ද වික්‍රමගේ, රයන් වැන්රොවන්, ජයතිස්ස අතුලසිරි, ජිහාඩ් අල් සජන්, මොහොමඩ් අලි රජාබ්, තුෂාර ප්‍රගීත් සහ නතාෂා අමේන්දා සෙනසුරු මාරුව රංගනයෙන් හැඩකරන නළු නිළි පිරිසයි.

මෙය ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ කතාවකි.

කේ. ඩී. දයානන්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. ප්‍රවීන් ජයරත්න සංස්කරණ ශිල්පියාය. විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන් ද, වෙලේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද දායක වන සෙනසුරු මාරුවහි සංගීතය ඩිලන් ලෑම්බ්ගෙනි. ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය නිර්මාණය කොට තිබේ. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරියගෙනි. ටෙඩී විද්‍යාලංකාරගේ සටන් අධ්‍යක්ෂණයකි.

ගීත රචනා සුනිල් විමලවීර විසින් සිදුකර ඇති අතර ගැයුම් රූකාන්ත ගුණතිලකගෙන්ය. උපුල් ගුණසේකර නිෂ්චල ඡායාරූප ශිල්පියාය.

නියුබියන් ෆිල්ම්ස් වෙනුවෙන් අජිත් ප්‍රියන්ත, ප්‍රවීන් ජයරත්න, රංජිත් ජයසූරිය (නැසීගිය) සමඟ උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව නිෂ්පාදනය කොට තිබේ.