වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනසට 100 යි

වෙනසට 100 යි

වැඩ සටහන් සියයක අත්දැකීම් සමඟ වෙනස ගැන අහමු

බොහෝ දෙනා අද ලෝකයේ විවිධ දේවල් දැනගන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ අතර අලුත් සොයා ගැනීම්, සුන්දර ස්ථාන, විවිධ දක්ෂතා ඇති පුද්ගලයන් වගේ විශේෂ දේවල් ගැන අලුත්ම තොරතුරු දැනගන්නට ගොඩක් අය විශේෂත්වයක් දක්වනවා.

ඒ අඩුව පුරවාලමින් තමයි මීට බොහෝ කාලයකට පෙර ස්වාධීන රූපවාහිනි සේවය විසින් ‘වෙනස’ වැඩසටහන ආරම්භ කළේ. දවසින් දවස අලුත් දේ සමඟින් වෙනස හැඩ වුණා. අනෙකුත් වැඩසටහන් අතර වූ වෙනසේ වෙනස නිසාම ගොඩක් ප්‍රේක්ෂකයන් වෙනස වටා රොක්වුණා. සෑම බදාදාවකම රාත්‍රී 10.00 ට විකාශය කෙරෙන වෙනස වැඩසටහන ප්‍රේක්ෂක උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ වැඩසටහන් සියයක් දක්වා විකාශය කරන්නට වෙනස කණ්ඩායම සමත් වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ මේ වෙනස වැඩසටහන පිළිබඳවයි. එහි නිෂ්පාදකවරයෙකු වන මංජුල ඇතුගල තමයි සරසවිය සමඟ වෙනස ගැන කතා කළේ.

වෙනස වැනි වැඩසටහනක් ආරම්භ කිරීමට මූලික වූ හේතුවක් තියෙනවාද?

මුලින්ම මෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්න හේතුව වුණේ ඒකාකාරී බව නැති කිරීමයි. මුලින්ම මෙම කාල සීමාව තුළ තිබුණේ දේශපාලන වැඩසටහන්. ඒ තුළ පැවති ඒකාකාරී බව නැති කිරීමේ බලාපොරොත්තුව ඇතුව තමයි අපි වෙනස ආරම්භ කළේ.

වෙනස මොන වගේ අදහසක්ද?

සාමාන්‍ය මිනිසුන්ට දකින්න නොලැබෙන දේ, ඔවුන්ට සමීප වෙන්න නොහැකි අපූරු දේවල් තමයි මේ තුළ අඩංගු වෙන්නේ. එයට සොබා දහම වගේම මිනිස් නිර්මාණ හා ක්‍රියාකාරකම් ඇතුළත් තේමා කීපයක් හරහා තමයි වෙනස ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මෙය සජීවි සඟරාමය වැඩසටහනක්. ඒක තමයි මෙහි තියෙන වෙනස.

ඔබට හැඟෙන පරිදි ප්‍රේක්ෂකයන් වෙනස තුළින්දකින්නට කැමැත්තක් දක්වන්නේ?

අදෘශ්‍යමාන දේවලට බොහෝ අය කැමැත්තක් දක්වන බව පේනවා. ඒ වගේ කුතුහලය ගෙන එන දේට වැඩි රුචිකත්වයක් ඇති බව ප්‍රේ්ක්ෂක ප්‍රතිචාර සඳහන් කරනවා. නමුත් අපි වැඩසටහන එවැනි දේට පමණක් සීමා කරන්න අදහස් කළේ නැහැ. ස්වභාවධර්මය, විවිධ නිර්මාණ, විශේෂ හැකියා වැනි දේ ඇතුළත් කුඩා ළමයාගේ සිට වැඩිහිටි ප්‍රේක්ෂකයා දක්වා ඉලක්ක වන වැඩසටහන් වෙනස හරහා ගෙන එන්නට කටයුතු කරනවා. එහිදී විවිධත්වයක් ඇති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැනුම, අවබෝධය, රසාස්වාදය වැනි සෑම දෙයක්ම එයට ඇතුළත්.

වෙනස රූගත කිරීම්වලදී රසබර සිදුවීම් එහෙමත් සිදුවන්නට ඇති නේද?

ඔව්. නිතරම විවිධ සුන්දර සිදුවීම් සිදු වෙනවා. එක දවසක් අතුරේ යන වැඩ සටහනක් කරන්න තිබුණා. ඒක ටිකක් අමාරුයි. කොහොම හරි මම මුලින්ම ගහට නැග්ගා. පස්සෙ කැමරා ශිල්පියාව ගහට නග්ගා ගත්තා. නිවේදනය කරන්න සම්පත්ට කතා කළාම ඔහු බෑ කියනවා. කොහොම හරි බැනල බැනල පස්සේ ඔහුව ගහට නග්ගගෙන වැඩසටහන කළා. ඒ වගේම බල්ලන් රැක බලා ගන්නා ඒ වගේම සම්පත්ට අදෘශ්‍යමාන දේ සම්බන්ධ වැඩසටහන් කරන්න දෙන්නේ නැහැ. තව දවසක් සර්පයන් ගැන වැඩසටහනකදී දිල්ශාන් පිඹුරෙක් අතට අරගෙන සම්පත් අතට දුන්නා.

සජීවි වැඩසටහන අතරදීම ඔහු දුවන්න හැදුවා. ඒ වගේමයි තව දවසක් බල්ලන් රැක බලා ගන්න ගෙදරක් ගැන කළ වැඩසටහනේදී හැම දේම ලෑස්ති කරල සියල්ල නිශ්ශබ්ද කරගෙන වැඩසටහන කරන්න හදන කොටම බල්ලො ටික බුරන්න පටන් ගත්තා. එතන බල්ලෝ 100 ක් විතර හිටියා. නැවත නැවතත් ඒකම සිදු වුණා. කොහොම හරි බල්ලො ටික ෂේප් කර ගන්න අපට සෑහෙන්න වෙලා ගියා. තවත් සංවේදී සිදුවීමක් වුණා වැලිකඩ බන්ධනාගාරයේ කළ වැඩසටහනේදී.

එහි එල්ලුම් ගහ තියෙන තැනට යන අවස්ථාවේදී තමයි මෙය සිදු වුනේ. එතන කළුවර තැනක්. යන්න තියෙන කොරිඩෝවේ දෙපැත්තේම තියෙන්නේ එල්ලුම් ගහට නියම වූ අයගේ සිර මැදිරි. ඔවුන් අත් එළියට දමාගෙන යකඩ කූරුවලට ඔලුව තියාගෙන ඉන්නේ. මැදින් තියෙන්නේ කානුවක්. යන්න තියෙන්නේ ඒක දෙපැත්තෙන් කකුල් තියලා තමයි. ඒ කළුවරේම. අපි ඒක රූගත කරන්න යන අවස්ථාවේ රැඳවියන් ‘අනේ මහත්තයෝ කොහෙද යන්නේ? ඕක අපට අයිති දෙයක්. ඕක පෙන්වන්න එපා කියලා’ කෑ ගැහුවා. ඒ ගමන අපි අවධානමෙන් ගියේ. කළුවරේ යන්න තිබුණ පුංචි ඉඩත් සමඟ ඒ රැඳවියන්ගෙන් කරදර වෙයි කියලා.

වැඩසටහන් අතර වෙනස් වූ වෙනස තුළින් ඔබ බලපාරොත්තු වන්නේ?

අපි සමහර දේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නේ එය නරඹා විමෝදාස්වාදයක් ලබා ගන්න. ඒ වගේම සමහර දේ මිනිසුන්ට කතා කරන්න දෙයක් ඉතිරි කරනවා. මේ තුළින් ඉදිරිපත් කරන සමහර දේවල් අප තහවුරු කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් එවැනි දේ ගැන බුද්ධිමත්ව හිතා බැලිය යුතු වෙනවා. සමහර වැඩසටහන්වලදී අපි දේශීය වෛද්‍යවරු සහභාගි කරගෙන තියෙනවා.

එවැනි වැඩසටහන්වලින් අනතුරුව ජනතාව ඒ පිළිබඳ විමසීම් කර අපට දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඒ අනුව යම් යම් අවස්ථාවලදී වෙනස සමාජ සත්කාරයක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේමයි අපේ වැඩසටහනට ඇතුළත්වන ඇතැම් අත්භූත දේවල් වැනි දේ අපි තහවුරු කරන්නේ නැහැ. ඊට අමතරව සැඟවුණු විශේෂ දක්ෂතා පෙන්වන්නත් කටයුතු යොදනවා. එහි අරමුණ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීමයි.

මීට අමතරව අපි සමහර ආයතන සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ එක්ව ඔවුන්ගේ වැඩමුළු පවත්වන විට අප යාල වැනි ස්ථානවලදී අපගේ විශේෂ වැඩසටහන් විකාශය කළා. ඊට අමතරව වෙනස කුවේට් ශ්‍රීී ලංකා සංස්කෘතික සංසදය හරහා ලංකාවේ දුෂ්කර පළාත්වලට පුස්තකාල පොත් ලබා දෙන්නට කටයුතු යොදලා තියෙනවා. ඒ යටතේ දැනට පාසල් 50 කට පමණ ලක්ෂ දෙක බැගින් පොත් ලබා දීලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනස සමඟ ඉදිරියටත් ක්‍රියාත්මකයි.

මෙවැනි වැඩසටහනක් කරගෙන යාමේදී දුෂ්කරතා එහෙමත්ඇති වෙනවා ඇති නේද?

ඇත්තෙන්ම ඔව්. මේක මැදිරියක හෝ සාමාන්‍ය පරිසරයක සිට කරන වැඩසටහනක් වගේ නෙවෙයි. සමහර ස්ථාන අපට හමු වෙනවා එම ස්ථානවලට ළඟා වෙන්නට හරියට මාර්ගයක්වත් නැති. එවැනි අවස්ථාවලදී විවිධ දුෂ්කරතා මතුª වෙනවා. සමහර වැඩසටහන් රූගත කිරීමට විශාල කාලයක් වැය කරන්න සිදු වෙන අවස්ථා තියෙනවා.

මළ ගිය ආත්මයක් ඉවත් කරන සිදුවීම් ඇතුළත් වැඩසටහන රූගත කිරීමට අපට බොහෝ කාලයක් ගත වුණා.

නමුත් අපි ඉදිරිපත් කරන දේ විවිධාකාරයි. ඒ නිසා වැඩසටහන් පවා ඒකාකාරිත්වයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. සාමාන්‍ය වැඩසටහනක් ලෙස මෙය දක්වන්න අමාරුයි. අභියෝග පැමිණියත් වෙනසක් කිරීම තමයි වෙනසේ අරමුණ. එහි යම් සුන්දරත්වයක් තියෙනවා. ඇත්තටම වැඩසටහනේ රසට වඩා රහ තමයි වැදගත් වෙන්නේ. එය උපරිමයෙන් කිරීමට තමයි අප කණ්ඩායම හැමදාම උත්සාහ කරන්නේ.

මේ වෙනසට මුල් වෙලා ඉන්න පිරිස ගැනත් කියමු?

මේ වන විට මම ඇතුළු අංජන ජයතුංග, රසික වින්දන, චතුරංග ධනසේකර ඇතුළු අපි කණ්ඩායම විසින් තමයි මෙම වැඩසටහන නිෂ්පාදනය කරන්නේ. ආරම්යේදී තිමිල සහ රුවන්ත අප කණ්ඩායමේ හිටියා. වෙනස වැඩසටහන කළමනාකරණ කටයුතු සිදු කරන්නේ සහන් කුමාර පෙරේරා විසින්. මෙහිදී අපේ ආදරණීය ප්‍රෙක්ෂකයන් අපට නිරතුරුවම අලුත් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කරනවා.

ඔවුන්ගේ ඒ තොරතුරු අපට ඉතා වැදගත්. ඔවුන් දකින දුලභ දේ සියලු දෙනා සමඟම බෙදා ගැනීම තමයි එහි අරමුණ. එහිදී අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ලැබෙන සහාය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙනවා. ඔබ දකින විශේෂ සිදුවීම් ගැන 0112774424 දුරකථන අංකයට ඇමතීමෙන් ඒ පිළිබඳ අප දැනුවත් කළ හැකි බවත් දන්වන්න කැමැතියි. වෙනස තුළ මේ සියලු කටයුතු සඳහා සභාපතිතුමා ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවයේ සියලු අංශයකින්ම අපට හොඳ සහායක් ලැබෙනවා.

වෙනසේ ඉදිරිය ගැනත් කියමුද?

විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ වෙනස වැඩසටහන් අනූනවයක් මේ වනවිට විකාශය වෙලා තියෙනවා. දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් තුළ වෙනස පිළිබඳ තියෙන්නේ ඉතාම හොඳ ප්‍රතිචාර. 26 වැනිදා විකාශය කෙරෙන 100 වැනි වෙනස වැඩසටහන සමඟ මේ දක්වා පැමිණි වෙනස වැඩසටහනේ වෙනසක් ඇති කරන්නට බලාපොරොත්තුª වෙනවා.