වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන ඉන්දීය උළෙලේ ජූරි සභාවට

නිළි රැජන ඉන්දීය උළෙලේ ජූරි සභාවට

හතළිස් තුන්වැනි ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලෙහි ලෝක අංශය යටතේ ජූරි සභාවේ සාමාජිකයකු ලෙස නිළි රැජන මාලිනී ෆොන්සේකා සහභාගි වනු ඇත.

එළඹෙන නොවැම්බර් 20 සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ඉන්දියාවේ ගෝව නගරයේ මෙම උළෙල පැවැත්වෙනු ඇත. මෙය මෙරට අයකු එම ජූරි සභාව නියෝජනය කරනු ලබන දෙවැනි අවස්ථාවය. මීට ප්‍රථම එලෙස සහභාගී වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ය.

ඒ 1979 වසරේදීය. මාලිනී ෆොන්සේකා ආකාස කුසුම් චිත්‍රපටය උදෙසා හොඳම නිළිය ලෙස ද, සිරිපාල හා රන් මැණිකා චිත්‍රපටය උදෙසා විශේෂ කුසලතා සහතිකයක් ද දිනා ගත්තේ නවදිල්ලි උළෙලෙනි.

ලොව මුල් පෙළේ සිනමා උළෙලක් ලෙස ගැනෙන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල ගම්පෙරළිය චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර වූ අතර අනෝජා වීරසිංහ හොඳම නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වූවාය.

සත්‍යජිත් රායි, ෆෙඩිකෝ හෙලනි, අබ්බාස් කියොරොස්තාමි වැනි ලොව සිනමාවේ මහා පුරුෂයන් ඉන්දීය උළෙලේ ජූරි සභාවේ මුල් තැන උසුලා ඇත. මේ අවස්ථාව ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස විචාරකයන් සලකති.


මාලිනී මොකක්ද ඇත්ත

නිළි රැජන මාලිනී ෆොන්සේකා සරසවියට කරන විශේෂ අනාවරණය

‘පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදේ’

මේ පසුගිය සඳු දින දහවල වන විට මුළු රට පුරා අත්තටු ලැබ පැතිර ගිය පුවතකි. සරසවියේ අපෙන් ද බොහෝ පාඨක පිරිස් එහි සත්‍යතාවය විමසමින් දුරකතන ඇමැතුම් ලබා දුනි.

මෙම ආරංචිය අපට ද කිසියම් විමතියක් සේම ප්‍රශ්නාර්ථයක් ද මතුකර වූයේ මාලිනිය ‘සරසවිය’ හා නිබඳ ළෙන්ගතු සෙනෙහෙවන්තියක නිසාය.

‘අසංක . . . මාලිනී අක්කට ඛ්චතත කරලා බලන්න’

ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න එසේ පවසනවාත් සමගින් මගේ ඇඟිලි තුඩු වහා දිව ගියේ ජංගම දුරකතනයේ සටහන්ව තිබෙන මාලිනී අක්කාගේ අංකය වෙතය. ඇගේ ජංගම දුරකතනය කාර්යබහුල වී තිබිණ. කිහිප වරක් උත්සාහ කිරීමෙන් පසු ඈ සම්බන්ධ කර ගැනීමට මට හැකි විය.

‘මාලිනී අක්කා ඇත්තද මේ ආරංචිය . . .? මම ඇගෙන් තතු විචාළෙමි.

‘ඔව් . . . අසංක . . . ඒත් ජනාධිපතිතුමා මගේ ඉල්ලා අස්වීම බාරගෙන නැතිලු. මම දැන් මේ වාහනේ යන ගමන්. විවේකයක් ලැබුණම ඔයාට ඛ්චතත කරන්නම්’

එතනින් අප කතාව නිම විය.

එදින ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා සියල්ලකම පාහේ මේ පුවතට ලබා දුන්නේ ප්‍රමුඛ සිරසකි.

සැඳෑ කළුවර කුර ගගා විත් රාත්‍රිය උදා වූයේ වෙනදා පරිදිමය. ඒ රැය පහන් වූයේ තවත් දිනයක ඇරැඹුම සනිටුහන් කරමිනි.

කාර්යාලයට එන්නට සූදානමින් සුපුරුදු පරිදි ‘ස්වර්ණවාහිනියේ’ ‘මුල පිටුව’ට ඇස, කන යොමා සිටින මොහොතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන සිරස මෙසේ රටට හෙළි කළේය. එහි සඳහන්ව තිබුණේ ‘මාලිනීගේ ඉල්ලා අස්වීම ආන්දෝලනයක්’ යනුවෙනි. ‘මාලිනී යයි, යළි එයි’ ‘දිවයින’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලය යොදා තිබුණේ එසේය.

සියලු තතු විත්ති මාලිනියගෙන්ම දැන ගැනීමේ කුහුල යළිත් මසිත බුර බුරා නැගුණේ එතැන් පටන්ය. කාර්යාලයට ගිය සැනින් ඇය දුරකතනයට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබිණ.

‘ඇයි ඔබ මේ වගේ තීරණයක් ගත්තේ?’

පක්ෂය අභ්‍යන්තරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා. ඉතින් ඒ මොහොතේ පක්ෂයට වගේම, රටට ආදරය කරන කෙනෙක් හැටියට ඒ වගේ තීරණයක් ගන්න මම පෙළඹුණා.

‘එහෙම නැතිව කාගෙවත් බලපෑමකට නෙවෙයි?’

‘අනේ නැහැ. මගේ තීරණය අහලා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ඒක හරියට අගය කළා. ‘කවුරුත් නොකරන වැඩක් ඔබ කළේ’ කියා එතුමා මට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

එතකොට ඔබ ගත් තීරණය යළි වෙනස් කළා?

එහෙම කරන්න වෙනවනේ අසංක. මොකද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් මට මේ මන්ත්‍රී ධූරය පිරිනැමුවේ අතිගරු ජනාධිපතිතුමා. ඉතින් එතුමන්ගේ තීරණයට මට එකඟ නොවී ඉන්න බෑනේ.

වසර දෙක හමාරක් තිස්සේ මන්ත්‍රීවරියක විදිහට විශේෂ යමක් රට වෙනුවෙන් ඔබට කරන්නට නොහැකි වූ බව එක්තරා ජාතික පුවත්පතක කතු වැකියේ සටහන් කර තිබුණා?

මමත් ඒක දැක්කා. මට මාධ්‍ය අමුතු දෙයක් නෙවේ. ලබන අවුරුද්දේ මගේ කලා දිවියට වසර පනහක් පිරෙනවා. මේ කාලය පුරාම බහුතර මාධ්‍යය මා සමඟ සුහදව කටයුතු කළා. ඒත් දේශපාලනඥයන්ගෙන් යැපෙන මාධ්‍යය ආයතනත් තියෙනවනේ. එවැනි පුවත්පතකින් තමයි ඔය චෝදනාව මට එල්ල වුණේ.

ඒ චෝදනාව ඔබ පිළිගන්නේ නෑ?

පැහැදිලිවම නෑ. මොකද පහුගිය කාලේ මගේ සීමාව ඇතුලේ ඉඳගෙන මම රට වෙනුවෙන් යම්, යම් දේවල් කළා. ඒවා මාධ්‍ය මගින් අනාවරණය නොවුණට දන්න අය දන්නවා. ඉදිරියේදීත් ඒ ජනතා මෙහෙවර වෙනුවෙන් මම කැප වෙනවා.

මාලිනිය එසේ පැවසුවේ දැඩි ස්ථිරසාර හඬකිනි.

මාලිනී අක්කා මට තව චූටි වෙලාවක් දෙන්න?

කියන්න අසංක.

ඒ හඬ වෙනදා මෙන්ම ළෙන්ගතුය. දයාබරය.

මෙවර ගෝවේ නගරයේ පැවැත්වෙන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙල විනිශ්චය මණ්ඩලයට ඔබට ආරාධනාවක් ලැබී තිබෙනවා?

ඔව් ඒක ඇත්ත. ඒ අවස්ථාව මට වගේම අපේ සිනමාවටත්, රටටත් ලැබුණ ගෞරවයක් විදිහටයි මම සලකන්නේ.

ඉන්දියානු සිනමා සම්මාන උළෙල නියෝජනය කරමින් අපේ චිත්‍රපට කිහිපයක් හා නිළියන් දෙපළක් මීට පෙර සම්මානනීය වී තිබේ. ඉන් 39 වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේ සුවිශේෂ දායකත්වය වෙනුවෙන් ‘රජත මයුර’ සම්මානය හිමි වූයේ මාලිනියටය. ඒ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ ඇගේ රංග ප්‍රතිභාව වෙනුවෙනි. ඉන් පෙර එනම් 1987 වසරේ එම සම්මාන උළෙලේ හොඳම නිළිය සේ සම්මානයට පාත්‍ර වූයේ අනෝජා වීරසිංහය. ඒ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ රඟපෑම උදෙසාය.

මම දන්නා තරමින් ඉන්දියානු සිනමා උළෙලේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්න අපේ සිනමා ශිල්පියකුට මේ ලැබුණ දෙවැනි අවස්ථාව?

ඔව්, මීට පෙර මම හිතන්නේ 1979 වසරේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ලෙස්ටර් මහත්මයාට තමයි මේ සම්මාන උළෙලේ ලංකාව වෙනුවෙන් ප්‍රථම අන්තර් ජාතික සම්මානය හිමි වුණේ. ඒ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට ලැබුණ රණ මයුර සම්මානය.

කවදද සම්මාන උළෙල තියෙන්නේ?

නොවැම්බර් 20 වැනිදා ඉඳන් දෙසැම්බර් 01 වැනිදා වෙනකල්. තව තොරතුරු අපි ෆෙස්ටිවල් එක ළං වෙලා කතා කරමු.

එහෙනම් මාලිනී අක්කේ ගොඩක් ස්තුතියි.

දවස තවම ඇරඹුණා පමණි. ඇගේ අතිශය කාර්යබහුල දිවියෙන් තවත් තත්පරයක් හෝ සොරා නොගත යුතු යැයි මට සිතේ. ඇරත් මට ද දැන්ම මේ හදිසි දුරකතන සාකච්ඡාව අකුරු කළ යුතුව ඇත.

හොඳයි අසංක . . . තෑන්ක්ස් . . .

ඇගේ හඬ එහා කෙළවරින් සවනත වැකෙද්දී ‘සුබ අනාගතයක්’ යැයි මට කියැවුණේ ඉබේටමය.