වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

දුර්වලම බොන්ඩ් සුරතලිය

මෝඩ් ඇඩම්ස් නමැති නිළිය මුලින් ප්‍රධාන නිළි චරිතය සඳහා නම් කෙරුණත් පසුව බ්‍රිට් එක්ලන්ඩ් නමැති සුරූපිය ප්‍රධාන නිළිය ලෙසත් මෝඩ් ඇඩම්ස් ස්කැරමංගාගේ සුරතලිය ලෙසත් චරිත නිරූපණයට එක්වුණා.

බ්‍රිට් විවාහ වී සිටියේ 1967 දී නිපැයුණු කැසිනෝ රෝයල් චිත්‍රපටයේ බොන්ඩ් චරිතය රඟපෑ පීටර් සෙලර්ස් නම් ලෝ පතළ විකට නළුවා සමඟයි. මෝඩ් ඇඩම්ස්ගේ ප්‍රථම බොන්ඩ් චිත්‍රපටය මෙය වන අතර ඉන් පසු තවත් බොන්ඩ් චිත්‍රපට තුනක ඇය රඟපෑවා. ‘ඔක්ටොපසි’ චිත්‍රපටයේ ඇය රඟපෑවේ ප්‍රධාන නිළි චරිතයයි. ස්කැරමන්ගාගේ සහායක අගුටුමිට්ටාගේ චරිතය රඟපෑවේ ‘ෆැන්ටසි අයිලන්ඩ්’ ටෙලි කතා මාලාවේ රඟපෑ හර්වි විලෙචයිස් විසින්.

‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයේ ෂෙරිෆ් පෙපර්ග් චරිතය රඟපෑ ක්ලිෆ්ටන් ජේම්ස් විසින් මෙම චිත්‍රපටයේද එම චරිතය නිරූපණය කළා. මැන්කිවික්ස් විසින් එම චරිතය යොදා ගත්තේ චිත්‍රපටයට හාස්‍ය රසය එක් කිරීම සඳහායි.

බර්නාඩ් ලී, ලොයිස් මැක්ස්වෙල් සහ ඩෙස්මන්ඩ් ලෙවලින් සිරිත් පරිදි ‘එම්’ මිස් මනිපෙනි සහ ‘කිව්’ ගේ චරිත රඟපෑවා. ඒ අතුරින් වැඩිම බොන්ඩ් චිත්‍රපට ප්‍රමාණයක රඟපෑ නළුවා වන්නේ ඩෙස්මන්ඩ් ලෙවලින් වන අතර බොන්ඩ් චිත්‍රපට 17 ක රඟපෑ ඔහුගේ 7 වැනි චිත්‍රපටය මෙය වෙයි.

බොන්ඩ් සිනමාවලියේ භාවිත වුණ ‘ගැජට්’ අතුරින් ස්කැරමංගාගේ රන් මුවා රිවෝල්වරය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. රන් ආලේපිත සිගරට් ලයිටරය කෆ් ලින්ක් ජෝඩුව සහ පෑන උපයෝගිකර ගනිමින් සැනෙකින් එකලස් කරගත හැකි අයුරින් සැලසුම් කර ඇති එය කැරට් 23 රත්තරනින් නිම කළ උණ්ඩයක් යොදා පාවිච්චි කළ හැකි ලෙස නිපදවා තිබුණා.

සුපුරුදු සංගීත අධ්‍යක්ෂ ජෝන් බැරී විසින් සංගීතය නිර්මාණය කළ අතර එවකට අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ ස්කොට් ජාතික ‘ලුලූ’ විසින් ගායනය කරන ලද තේමා ගීතය ඩොන් බ්ලැක්ගේ පද රචනයකි.

සංගීතය නිර්මාණය කිරීම සඳහා ජෝන් බැරී හට ගත වූයේ සති තුනක කාලයකි. විචාරකයින් පවසන පරිදි බොන්ඩ් සිනමාවලියේ දුර්වලතම සංගීතය රැගත් චිත්‍රපටය මෙය යැයි සඳහන්ය. ජෝන් බැරී ද එයට එකඟතාව පළ කළේය.

හොංකොං හි වික්ටෝරියා වරායේ අඩක් ගිලී ගොස් ඇති ක්වීන් එලිසබෙත් නෞකාවේදී 1973 නොවැම්බර් 6 දා ප්‍රථම රූගත කිරීම් ආරම්භ විය. එම ජවනිකා බොහොමයක මුවර් වෙනුවට රඟපෑවේ ආදේශක නළුවෙකි. 1974 අප්‍රේල් මස තායිලන්තයේදී ප්‍රධාන රූගත කිරීම් ඇරැඹුණු අතර බැංකොක්, තෝන් බූරි සහ ෆූකට් ඇතුළු ප්‍රදේශ කීපයක දර්ශන තල ඒ සඳහා යොදා ගන්නා ලදී.

ස්කැරමංගාගේ රහස් තිප්පොළ පිහිටි කෝ ටාපු දූපත ස්වදේශිකයන් සහ සංචාරකයන් අතර අද හැඳින්වෙන්නේ ජේම්ස් බොන්ඩ් දූපත යනුවෙනි. එය සංචාරකයින්ගේ සිත්ගත් ස්ථානයක් ලෙස අදටත් සැලකෙයි.

එම වකාවානුවේ බෲස් ලී රඟපෑ ‘එන්ටර් ද ඩ්‍රැගන්’ සහ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ තිරගත වීමෙන් ‘කරාටේ’ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ නිසා මැන්කිවික්ස් විසින් කරාටේ සටන් කීපයක් ද චිත්‍රපටය තුළ රිංගවීමට අසාර්ථක උත්සාහයක් දරා තිබිණි.

එහෙත් චිත්‍රපටයේ වඩාත්ම අවදානම් මෙන්ම සිත් ඇදගන්නා සුළු ජවනිකාව වූයේ දිරාගිය පාළමක් හරහා බොන්ඩ් මෝටර් රථයක් පදවන ආකාරයයි.

උඩු ගුවනේ අංශක 360 ක කෝණයකට කරකැවෙමින් ගමන් ගත් මෝටර් රථය පදමින් ජේම්ස් බොන්ඩ් වෙනුවට රඟපෑවේ බම්ප්ස් විලාඩ් නමැති වෘත්තීය ක්‍රියාදාම ශිල්පි රියැදුරායි. කෙතරම් අවදානම් වුවත් ප්‍රථම පිම්මෙන්ම රූගත කිරීම සාර්ථක කර ගැනීමට ඔහු සමත් වීම ආශ්චර්යමත් සිදුවීමකි.

පසුව නැවත වතාවක් එම පිම්ම පැනීමට ඔහු උත්සාහ කළත් එය අසාර්ථක විය. මැකාවු හිදී කැසිනෝ දර්ශන රූගත කෙරද්දී කැමරා ශිල්පී ටෙඩ් මුවර් හදිසියේ රෝගාතුර වූ හෙයින් ඉදිරි රූගත කිරීම් සම්පූර්ණ කළේ ඇකඩමි සම්මානලාභී ඔස්මන්ඩ් මොරිස් විසිනි. 1974 අගෝස්තු මස ලන්ඩන් පයින්වුඩ් චිත්‍රාගාරයේදී රූ ගත කිරීම් සියල්ල හමාර කෙරිණි.

1974 දෙසැම්බර් 19 දා ලන්ඩන් ලිසෙස්ටර් චතුරස්‍රයේ ඕඩියන් ශාලාවේදී ප්‍රථම මහජන ප්‍රදර්ශනය ඇරැඹුණු අතර ඩොලර් මිලියන 7 ක පිරිවැයකින් ලද බොක්ස් ඔෆිස් ආදායම වන්නේ ඩොලර් මිලියන 97 හමාරකි. අමෙරිකාවේ පමණක් එය ඩොලර් මිලියන 21 ඉක්ම වීය. බොන්ඩ් සිනමාවලියේ අඩු ආදායම් ලැබූ චිත්‍රපට අතර හතරවැනි ස්ථානයට පත්වුණේ මෙම චිත්‍රපටයයි.

ප්‍රදර්ශනයෙන් පසු චිත්‍රපටය සඳහා කෙරුණු විචාරයන් එතරම් සුබදායක නොවීය. ක්‍රිස්ටෝපර් ලී සහ ඔහුගේ අඟුටුමිටි සහායක විලෙචයිස් ගේ රංගනය අගය කළ අතැම් විචාරකයින් බොන්ඩ් සුරතලිය වූ බ්‍රිට් එක්ලන්ඩ් ගේ දුර්වල රඟපෑම් දැඩි විවේචනයට ලක් කළා.

සමස්ත විචාරක මතය වුයේ ෂෝන් කොනරි විසින් ගොඩ නැං වූ බොන්ඩ් ප්‍රතිරූපය අභිභවා යෑමේ රඟපෑමක් මුවර් වෙතින් පළ නොවූ වගයි. බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර අනුව එම මතය තහවුරු වූ දෙයක් දක්නට ලැබුණි.