වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ලතාට 83 යි

ලතාට 83 යි

ලතාගේ හඬ මුල් වරට ඉවත් කරයි

තිරයේ ජීවත්වන ආදරවන්තියන් ප්‍රේමයේ මිහිරෙන්, විරහවේ වේදනාවෙන් මුසපත් කළ ඒ කෝකිල හඬ තවමත් තරුණය. එහෙත් ඒ හඬෙහි හිමිකාරිය සැප්තැම්බර් 28 වෙනි දිනට පා තබන්නේ අසූ තුන් වැනි වියටයි.

‘මට මහලු වයසේ - ගැයිය හැකි බව කියමි සතොසේ’ කියා උදම් වැකි නොපැවසුව ද ඇය එය ලොවට ඔප්පු කරන්නේ තවමත් ගී ගැයීමෙනි. ලතා මංගේෂ්කාර්, භාරත රත්නයට, ලබන වසරටත් සංගීත ප්‍රසංගවලට ඇරැයුම් ලැබී තිබේ. ළඟදී ඇය අට හැවිරිදි ළමා නිළියකට ගී ගැයුවාය. ‘සත්‍රන්ජි පැරැෂුට්’ (ඉචබපචදඨඥඥ ර්‍ථචපචජඩභබඥ) නම් සිනමාපටයේ ළමා නිළිය වෙනුවෙන් ලතා මංගේෂ්කාර් ගැයූ ගී ඇසෙන විට එය ළමයකුගේ නොවන බව කෙසේවත් පැවැසිය නොහැකි බව කියන්නේ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වන විසි හතර හැවිරිදි විනීත් කේත්‍රපාල්ය.

ගැයු ගී ගණන මෙපමණකැයි කියා ගණන් බලා නැති නිසා ලතාගේ ගී සංඛ්‍යාව තවමත් අබිරහසකි. 1974 ගිනස් පොතේ වාර්තාවට අනුව 1948 වසරේ සිට 1974 දක්වා ඇය ගැයූ ගී ගණන විසිපන්දහසකට අධිකය. ඒ අනුව ලතා ඉතිහාසයේ වැඩිම ගී ගණනක් තැටිගත කළ ගායිකාව ලෙස ගිනස් වාර්තා පොතට එක්විණි. තවත් සමහරු පවසන්නේ ඇය ගීත පනස් දහසක් ගයා ඇති බවයි. කෙසේ වුවත් සිය ගණනක් තාරකාවෝ දශක හයහමාරක් පුරා ඒ ලතාවත් හඬින් ළයාන්විත වූහ.

‘මාතා ඒක් සපූත් කි දුනියා බදල් දී තූ’ හින්දි ගීය ගජභාහු (1943) සිනමාපටයට ගයමින් හින්දි ගී ලොවට අවතීර්ණ වූ ලතා, සංගීත අධ්‍යක්ෂ නෞෂාද්ගේ කීමට මුලදී අනුකරණය කළේ නූර් ජෙහාන්ගේ ගායන ශෛලියයි. පසුව ඇය තමන්ගේම ශෛලියක් ගොඩ නගා ගත්තාය.

ඇය ගී ගැයූ මුල් කාල වකවානුවේදී විශිෂ්ට රංගධරයකු වූ දිලිප් කුමාර්ගෙන් ලතාට චෝදනාවක් එල්ල විය.

ඇයගේ හින්දි / උර්දු ගැයුමන්හී මහාරාෂ්ත්‍ර ඌරුව ඇතැයි යනුවෙන් නැගුණු ඒ චෝදනාව ඇය බැහැර වන්නට හැරියේ ෂාගි නම් ගුරුවරයාගෙන් උර්දු හැදෑරීමෙනි.

ලතා මංගේෂ්කාර් යනු ගුරුවරුන් කීප දෙනකුගෙන්ම ඔප වැටුණු මැණිකකි. උස්තාද් අමනත් අලි ඛාන් ඇයට හින්දුස්තානි රාගධාරී සංගීතය කියා දුන් මුල්ම ගුරුවරයායි. 1947 දී ඉන්දියාව, පාකිස්තානය වශයෙන් භාරත දේශය දෙකඩ වූ පසු ඇයගේ ගුරුවරයා වූයේ දේවාස්වාලේය.

ගුලාම් හයිදර් ඇය ගී තරුවක් කළ සංගීත අධ්‍යක්ෂවරයායි. හයිදර් චිත්‍රපට නිෂ්පාදක ශෂාදර් මුඛර්ජිට ලතාව හඳුන්වා දුන්නත්, මුඛර්ජි පැවසුවේ ඇයගේ හඬ පමණට වඩා සිහින් කියායි.

එදින සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස හයිදර් පැවසූ අනාවැකිය පසුව සියයට දෙසියයක් නිවැරැදි විය. ‘ඉදිරි කාලය්දී තමන්ගේ සිනමාපටයට ගී ගයන ලෙස ඉල්ලා අධ්‍යක්ෂවරු ලතාගේ දෙපා මුල වැටී අයදිනවා’ ඒ අනාවැකියයි. 1949 තිරගත වූ ‘මහල්’ සිනමාපටයට මධුබාලාට ලතා ගැයූ ’අයේගේ ආනේ වාලා’ ගීයත් සමඟ ඒ අනාවැකිය සැබෑ විය. ඛේම්චන්ද් ප්‍රසාද් ඇයට ඒ වරම ලබා දුන් සංගීත අධ්‍යක්ෂවරයායි. කිශෝර් කුමාර් ගී ලොවට හඳුන්වා දුන්නේත් ඔහුමය.

ඉන්දියාවේ සෑම සංගීත අධ්‍යක්ෂවරයකුගේම තනුවට ලතාගේ ගීතවත් හඬ අවදි වී තිබේ. එහෙත් එක් සුප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයෙක් ලතාගේ හඬ සිය සංගීතයට මුසු කළේ නැත. ඒ ඕ. පී. නයාර්ය. ඔහු සිය සංගීතයට ලතාගේ හඬ නොපෑහෙන බව සිතූ අයෙකි. එහෙත් ලතාගේ නැගණිය, ආශා බෝස්ලේ ඔහුගේ ප්‍රියතම ගායිකාව වූවාය.

ඒ රිදී සීනු සැළෙන හඬ ඇතැම් සංගීතඥයන්ගේ තනු හා උරණ වූ අවස්ථා ද නොතිබුණා නොවෙයි. 1962 දී පණ්ඩිත් ශ්‍රී ජවහර්ලාල් නේරුගේ නෙතට කඳුළු එක් කළ ‘ආයේ මෙරේ වතන් කි ලෝගන්’ (‘ඕ මාගේ දේශයේ වැසියෙනි’) ගීය නිර්මාණය වූයේ ලතා හා සී. රාමචන්ද්‍ර අධ්‍යක්ෂවරයා අතර සිත් නොහොඳකම් තිබියදීය. 1962 වන විට ලතා, රාමචන්ද්‍රගේ තනුවලට ගී නොගැයුවාය.

ඒ දෙදෙනා එකිනෙකාට නොගැළපීම හේතුවෙන් ඇති වූ මතභේදයක් නිසයි. එහෙත් ගීත ලියූ කවි ප්‍රදීප් තදින්ම කියා සිටියේ මේ ගීතය ගැයිය යුත්තේ ලතා මංගේෂ්කාර් පමණක්මයි කියායි. ගීතයේ පද කිය වූ පසු පෞද්ගලික නොමනාපකම් පසෙක තැබූ ලතා ‘ආයේ මෙරේ වතන්’ පද වැලට හඬ මුසු කළාය. අදට ද ඇයගේ සිනමා ගී නොවන ගී අතරින් එය ජනප්‍රියම ගීතයකි.

1957 වසරේදී ලතා හා සචින් දේව් (එස්. ඩී.) බර්මන් අතර ද එවැනිම ගැටුමක් ඇති විය. මේ ගැටුම කෙතරම් දුරදිග ගියා ද කිවහොත් ලතා, එස්. ඩී. සංගීත අධ්‍යක්ෂවරයාගේ තනුවලට 1962 වනතුරුම ගැයුවේ නැත.

ලතාගේ ගී හඬ තම රංගනයට මුසුවීම සෑම සුපිරි තාරකාවකගේම පැතුමකි. සෑම අධ්‍යක්ෂවරයකුටම අවශ්‍ය ඇයගේ ගීත තම සිනමාපටයට එක්කර ගැනීමටයි. ඒ අතරින් අධ්‍යක්ෂ යාෂ් චොප්රා පෙරමුණේම සිටියි.

ලතා මංගේෂ්කාර්ගේ ගී හඬ නොමැති සිනමාපටයක් යාෂ්ගෙන් නිර්මාණය වී නැත. ඇය ඔහුගේ ආත්මීය සොයුරායි. (දිලිප් කුමාර්ට ද ලතා ආත්මීය සොයුරකු වශයෙන් සලකයි). ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කළ සර්සාරා සිනමාපටයට ඒ හඬින් එක් වූ මාධූර්යය තවමත් රසික දෙසවනින් ඈත් වී නැත.

එහෙත් යාෂ්ගේ, ෂාරුක් සහ කත්‍රිනා රඟන ‘ජබ් තක් හේ ජාන්’ නවතම සිනමාපටයට ප්‍රථම වරට ලතාගේ හඬ එක් නොවන බවට රාවයක් පවතී. ඒ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කත්‍රිනා කායිෆ්ගේ හඬට ලතාගේ හඬ කොහෙත්ම නොගැළපෙන බවට යාෂ් හා කිහිප දෙනකු හැර අන් අය විශ්වාස කරන නිසයි.

ලතා මංගේෂ්කාර් නාමය ගීතයත් සමඟ බැදී තිබුණත්, ඇයට ගායනයෙන් බැහැර වූ ලොවක් තිබේ. ඇය චිත්‍ර අඳින්නට, රූපලාවණ්‍යයට සහ ඡායාරූප ගැනීමට, ගැයුමට සේම කැමැතිය. ලතාගේ ප්‍රියතම නිළිය කාජල්ය. කාජල්ගේ ගතිගුණ තමන්ගේ තරුණ කාලය සිහි ගන්වන බව ඇය පවසන්නීය. කාජල්ගේ ලොකු අම්මා නූටාන්ට, මව තනූජාට ද ඇය ගී ගැයුවාය. කෙදිනක හෝ කාජල්ගේ දියණියට ද සිය හඬ මුසු කිරීම ඇයගේ පැතුමයි.

මේ සියවසේ භාරතයේ බලවත්ම ජන්මපත්‍ර හිමිකරුවන්, හිමිකාරියන් දස දෙනාගෙන් එක් අයකු වන ඇයට ඒ පැතුම ද ඉටුකර ගන්නට ලැබෙනු ඒකාන්තය. ඒ අසූ තුන් වැනි වියට පා තැබීමේදී ඇයගේ මිහිරි හඬ තවත් වසරකින් තරුණ වන නිසයි.

භාරතයේ ගීත කෝකිලාවියනි,

ඔබට සුබ උපන් දිනයක්!