වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රියයාණෙනි . . . ඒ දිනය යළිත් පැමිණ ඇත

ප්‍රියයාණෙනි . . . ඒ දිනය යළිත් පැමිණ ඇත

ස්ටැන්ලි ලියනගේ අනුස්මරණ උළෙල හෙට ටවර්හිදී

ඇගේ දෙනෙත් තවමත් හඬන්නීය. විඩාබර සිත වැලපෙන්නේ ඇයටත් නොදැනීය. ස්ටැන්ලි ලියනගේ නම් වූ ඇගේ දයාබර ස්වාමි පුරුෂයා වියෝ වී මේ වන විට අට මසක් ගෙවී ඇතත් ඔහුගෙන් ලද ආදරය ඇය තවමත් සොයන්නීය.

වසර ගණනාවක් තමා සමඟ ජීවත් වූ ප්‍රියයාණන් සදහටම දෙනෙත් පියා ගත් බව ඇයට තවමත් අදහාගත නොහැකිය. සංගීතඥයෙක්, ගීත රචකයෙක්, ගායකයෙක්, පිටපත් සකසන්නෙක් යන එකී මෙකී නොකී භූමිකාවන් රැසක් නිරූපණය කළ ස්ටැන්ලි ලියනගේ ගේ මතකයන් නිවසෙහි සෑම තැනකය. වරෙක ඔහු ලියූ ගීයක් දෙකක් ඇසෙන්නේය. තවත් මොහොතක ලියන මේසය මත ස්ටැන්ලිගේ පිටපතක්ය. මේ සියල්ල ඇයට සදා අනුස්මරණීය නිර්මාණයන්ය.

ස්ටැන්ලිගේ විවිධ වූ අසහාය නිර්මාණයන් එකතු කොට උපහාර උළෙලක් පැවැත්වීමට ඇය තීරණය කළේ ඒවා අපට ද සොඳුරු සිහිවටනයන් වන නිසාය. හෙට ඊට හොඳම දිනයයි. තැන මරදාන ටවර් රඟහලය. වෙලාව සවස6ය . ඉතිරි විස්තරයත් ඇය පවසනු ඇතිය.

මා මෙතෙක් ඇය යන වචනය යෙදුවේ කාංචනමාලා මහවිතානටය. සංවේදීව ඇගේ හඬ අවදි වූයේ මෙසේය.

අනිද්දා ස්ටැන්ලි අයියගෙ උපන් දිනේ. නමුත් එදා නිවාඩු දවසක්. ඒ හින්දයි මෙම කටයුත්ත හෙට යොදා ගත්තේ. මට හරියටම ගිය අවුරුද්දේ අයියගෙ උපන් දිනය දවස මතකයි. එදා මං ඔහු පිළිබඳ මා ලියූ පොතක් එළි දැක් වූවා. එදා ඔහු බොහොම සතුටු වුණා. ඒත් මේ අවුරුද්දේ . . .

කාංචනමාලා, ස්ටැන්ලි පිළිබඳ තවත් දෑ කීවේ දෙනෙතේ කඳුළැලි හංගා ගනිමින්ය.

ස්ටැන්ලි අයියට බොහෝ කලා හැකියාවන් තිබුණා. ඒත් එයා කැපී පෙනෙන්න උත්සාහ කළ කෙනෙකු නෙවෙයි. සිහිනයෙ මල් පිපිී, මල් මන්දහාසෙන්ම කීවේ වැනි ගීත ලිය වුණේ ඔහුගේ අතින්.

ඒ වගේම පොඩ්ඩේ, ධවල පවුර, ජයග්‍රහණය ඇතුළු චිත්‍රපට ගණනාවකත්, මහෝගය, පූර්ණිමා, දිය සිතුවම් වැනි ටෙලි නාට්‍ය බොහොමයකටත් සංගීතය සැපයුවේ ඔහු. ඉස්සර ස්ටැන්ලි අයියා සංගීත ගුරුවරයෙක්. ඒ කාලයේදීමයි ඔහුට චිත්‍රපට සංගීත වැඩ කටයුතු බහුල වෙන්නේ. සමහර දිනවල රාත්‍රියේ පටිගත කිරීම්වලට සහභාගි වෙලා පාසලට ගියාම උගන්වද්දී පවා ටිකක් නින්ද යනවලු. ඒක නිසා ළමයින්ට අසාධාරණයක් වේවි යැයි හිතා ඔහු ගුරු වෘත්තියෙන් සමුගත්තා. ඊට පසුව පූර්ණකාලීනව කලාවේ යෙදුණා.

ස්ටැන්ලියි මමයි හම්බ වෙන්නේ මීට වසර විසි පහකට විතර කලින්. එදා ඉඳලා මේ වෙනකම්ම ඔහු මාව හොඳින් බලා ගත්තා. මගේ කලා ජීවිතයටත් හොඳ සහයක් දුන්නා. ඇත්තටම ස්ටැන්ලි කියන්නේ දෙවියෙක්.

ස්ටැන්ලි අයියා කළ කලා නිර්මාණ මගේ ළඟ සුරැකිව තියනවා. ඒවා පිරික්සද්දී මට මහත් වූ වේදනාවක් හට ගන්නවා. මේ නිර්මාණ හැමෝටම අයිතියි. හෙට දිනයේ නැවත කල එළියට එන්නේ ආදරණීයයාගේ හැකියාවන් කිව්වොත් මා නිවැරැදියි.

අවසන් කොට ප්‍රසංගය ගැන වැඩි යමක් ඇය කීවේ මෙපරිද්දෙන්ය.

ස්ටැන්ලි අයියා නිර්මාණය කළ ගී ගයනවා ගායක ගායිකාවන් දොළොස් දෙනෙක්. ඊට අමතරව ඔහු චිත්‍රපටයන්ට සෑදූ සංගීත ඛණ්ඩ වාදනය කරනවා. ඒ වගේම ස්ටැන්ලිගෙ ගී ඇතුළත් ‘ඔබ මගේ මන්දිරයයි’ නම් වූ සංයුක්ත තැටියක් ද එදින එළි දක්වනවා. අනුස්මරණ දේශනය සතිස්චන්ද්‍ර එදිරිසිංහගෙන්. කැළුම් ශ්‍රීමාල් සහ දිලීප අබේසේකර උළෙල මෙහෙයවනවා. වාද්‍ය වෘන්දය සරත් ද අල්විස්ගෙන්. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාවත්, ටවර් හෝල් පදනමේ පිරිවරත් මේ වෙලාවේ මතක් කළ යුතුමයි.


ශ්‍රීනිකා විවාහ වූ දා

ගුවන් විදුලි සංගීත ශිල්පී විමලරත්න පෙරේරාගේ දියණිය ශ්‍රීනිකා පෙරේරාගේ විවාහ මංගල්‍යය චාම් අයුරින් පසුගියදා පැවැත්විණ. ශ්‍රීනිකාගේ අතගත් මනමාලයා වූයේ මහේෂ් ගුණරත්නය. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ මහාචාර්ය සනත් නන්දසිරි හා ජිනදාස අදිකාරි යන දෙපළයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ මනාල යුවළ, මනාලයාගේ මව, මනාලියගේ පියා විමලරත්න පෙරේරා හා මල්කාන්ති - සනත් නන්දසිරි යුවළ ඡායාරූපයට පෙනී සිටි අයුරුයි.