වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




චමින්දල කියල කොල්ලො කීවත් විහිළුවට විසි අටේ තිහේ කෙල්ලො තාමත් අතවනනව අපට

චමින්දල කියල කොල්ලො කීවත් විහිළුවට විසි අටේ තිහේ කෙල්ලො තාමත් අතවනනව අපට

වයසට ගියාම අපට හඳ පායන්නේ නැද්ද . . .

පිං දහම්ම කරගෙන විතරක් හිටියා නම් ඇද්ද? . . .

චමින්දලා කියල කොල්ලෝ කීවත් විහිළුවට . . .

විසි අටේ තිහේ කෙල්ලෝ තාම අතවනනවා අපට . . .

නුපුරුදු පද වැලක් ඇති අපූරු ගීතයක් ගයමින් දේහදාරී පුරුෂයකු සමඟ කොණ්ඩය වවාගත් තවත් අමුත්තකු අප සරසවිය ඡායාරූපාගාරයට ඇතුළු වූවා. බැලූ බැල්මට එකවරම හඳුනාගත නොහැකි වුවත් ඔහු මෙරට ජනප්‍රිය කලා තරුවක්.

කුමාර තිරිමාදුර.

ඔහුගේ අනන්‍යතාව වූ දිගු කෙස් කළඹට සමු දී කොණ්ඩය කොටට කපා තිබූ නිසා එකවරම ඔහු හඳුනාගත නොහැකි වූවා. දිවයිනේ නන් දෙසින් පැමිණි අපේ පාඨක හිතවතුන් වූ,

හෝකන්දර ගිල්බට් පෙරේරාත්, නාත්තන්ඩියේ ගීතාංජලී මාලා වසන්තිත්, කඩුගන්නාවේ සිතාරා විජේරත්න දියණියත්, ජේ. සී. කුමාරසිංහත් ඒ වන විටත් සරසවිය ඡායාරූපාගාරයට වී සිටියේ කුමාරගේ පැමිණීම අපේක්ෂාවෙන්.

නියමිත වේලාවටත් කලින් පැමිණි කුමාර ඊට පෙර දිනයකදී දෙරණ ටී. වී. නාලිකාව මෙහෙය වූ දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලද්දෙක්. සියල්ලන්ම හඳුනාගත් කුමාරට පළමු පැනය යොමු කළේ සරසවිය පැරැණි පාඨකයකු වූ ගිල්බට් පෙරේරායි.

ඔබ සම්මානයෙන් පිදුම් ලැබීම ගැන යමක් කියනවද?

‘වසර ගණනක සිට වේදිකාව, පුංචි තිරය, සිනමාව හරහා කළ රංගනය අමතක කරන්න බැහැ. සිනමාවට වඩා මම වේදිකාවේ හා පුංචි තිරයේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් මේ වේදිකාව හා පුංචි තිරය පසු කරමින් ඊට ඉහළින් පිම්මක් පැනලා සිනමාව සඳහා මට සම්මාන ලැබුණා. හැබැයි මම සිනමාවට වඩා රංගනයෙන් වැඩි දායකත්වයක් දැක් වූවේ වේදිකාවට හා පුංචි තිරයට. මේ මොහොතේ මගේ හැකියාවන් අගය කිරීම ගැන හා සම්මානයක් ලැබීම ගැන පුංචි සතුටක් හිතේ තියෙනවා.

ගාමනී චිත්‍රපටයේ හොඳම සහාය නළුවා වීමත් සතුටක්. ඒ වගේම යථාර්ථවාදී රංගනයක් ඉදිරිපත් කරන්නට යුද හමුදාවෙන් ලැබුණු සහාය අත්දැකීම් ගැන නම් මතක් කරන්නම ඕනේ. රියර් අද්මිරාල් සරත් වීරසේකර නොවන්නට මට අද මේ සම්මානය නෑ. ඒ වගේම තමයි මගේඅම්මා. එතුමිය තමයි මගේ ජීවිතයේ රංග පාසල වුණේ. මේ හැම දේම අතරේ යුද හමුදා පුහුණුව ලබා දුන් කර්නල් රත්නප්‍රිය ඇතුළු යුද හමුදා කණ්ඩායමට විශේෂ ස්තුතියක් හිමි විය යුතුමයි. ඒ සඳහාත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

ස්ටුඩියෝ එකෙන් ඇතුළු වෙනකොටම ගායනා කළ ගීතය කාගේද?

ඒ ගීතය මගේ. ළඟදීම නිකුත් කරන මගේ සී. ඩී. එකේ තියෙන ගීතයක්. ඒ ගීතයේ පද රචනය කර සංගීතවත් කළේ අර මාත් එක්ක ඇවිත් ඉන්න විමල්ජිත් දොඹගහවත්ත.

ඔය විදියට ලස්සනට සිංදු කියන ඔයාට සංදර්ශනවලට ආරාධනා ලැබුණාම රඟපෑමෙන් ඈත් වෙයිද? අපට අර හොඳ නළුව නැති වෙයි ද දන්නේ නැහැ. ඒ මාලා වසන්ති නිහඬව සිට ඇසූ පැනයයි.

ඇත්තමයි මාලා ඔය ප්‍රශ්නයම මගෙන් සංජීවනී වීරසිංහත් ඇහුවා. ඇයට මගේ ගීතයක් අහලා නෙතට කඳුළුත් පිරුණා. ඒ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී. ඔයා අහපු ප්‍රශ්නයට උත්තරේ නම් මම ගායනයෙන් කොපමණ කාර්යබහුල වුණත්, රංගනයට නම් තිත තියන් නැහැ.

එහෙනම් අර සිංදුව, සංජීවනී ඇන්ටිගේ ඇස්වලට කඳුළු ඉණුවේ. අනේ ඒක කියන්නකෝ?

ඒ සිතාරාගේ ඉල්ලීමයි.

රන් මාල මගුල් මුදු උකස් කළා . . .

කර පාළු වෙලා බොහෝ කල් වෙලා . . .

ඔය පබළු මාල ගෙලට වටින් නෑ . . .

දුක් නොවෙන් සින්න වෙන්න දෙන්නේ නෑ . . .

මේ ගීතයේ පද රචනය අපේ දොඹ්ගේ. සංගීතය විශිෂ්ඨ සංගීතවේදියකු වූ එච්. එම්. ජයවර්ධනගේ.

ජනප්‍රිය වෙන්න වෙන්න සමහරු කඩේකටවත් යන් නෑනේ. ඔබත් එහෙමද? නිහඬව සිටි කුමාරසිංහ විමසුවා.

මෙහෙමයි කුමාරසිංහ මහත්තයෝ, ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒ ජනප්‍රියත්වයෙන් අධිමානයට පත්වෙනවා නම් ඒ අදාල කෙනාගේ බුද්ධියේ තියෙන අඩුවක්. මම මහරගම පොළ තියෙන දවසට, කොට කලිසමක් ඇඳලා රබර් සෙරප්පු දෙකක් දාලා පොළේ යනවා. හැමෝම එක්ක කතා කරනවා. රංගන ශිල්පියෙක් වුණාම මේ සමාජය සමඟ ගැටෙන්න ඕනෑ. හුදකලා වෙලා රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න බෑ. ජෝ අබේවික්‍රම මහත්තයා කියන්නේ එවැන්නෙක්. ඔහු වරක් ප්‍රකාශ කරලා තිබුණා ලේල්ලෝපිටිය ඔහුගේ ගමේ ඉඳලා කොළඹ එනකොට දැක්ක චරිත ඔහුගේ ජීවිත කාලේදීම රඟපාලා ඉවර කරන්න බැරි වුණා කියලා. ඒ කතාවම ඇති රංගන ශිල්පියෙකුගේ සමාජගත වීමට.

ඔබ හාස්‍ය රංගනය සහ දුෂ්ඨ චරිත පුංචි තිරයේදී එකට රඟපානවා. නමුත් සමහරුන්ට හාස්‍ය නම් හාස්‍ය විතරයි. ඒකාකාරී චරිතවලට කොටු වෙලා. මේ ගැන මොකද හිතෙන්නේ? ගිල්බට්ගෙන් නැවත පැනයක්.

අපේ ගිරිරාජ් කෞෂල්‍ය මිතුරා කියනවා කුමාර උඹ තමයි වාසනාවන්තයා. හාස්‍ය, දුෂ්ඨ ආදී විවිධ චරිත උඹට රඟපාන්න ලැබුණා කියලා. අපේ රටේ යමෙක් හාමුදුරු චරිතයක් රැඟුවොත් ඔහු හැමදාම හාමුදුරුවෝ. හාස්‍ය රංගන ශිල්පිියෙක් වුණොත් හාස්‍ය. මම වසුදා නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය රඟපෑවට පස්සේ විවිධ ඒකාංගික හා දීර්ඝ ටෙලි නාට්‍යවල හාමුදුරු චරිත 21 ක් රඟපෑවා. අපේ රටේ සමහර දක්ෂ නළු නිළියෝ ඉන්නවා, හැබැයි ඔවුන්ව ඒකාකාරී චරිතවලට කොටු කරලා කියලයි මගේ හැඟීම.

ඔබ ක්ෂේත්‍රයේ වඩාත් ගරු කරන හා අනුගමනය කිරීමට කැමැති රංගන ශිල්පීන් කවුද? ඒ පැනය මාලාගෙන්.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වගේ ප්‍රවීණයන්. ඇත්තටම බලන්න අපේ ජෝ අබේවික්‍රමයන් තමයි සිංහල සිනමාවේ හිටපු එකම හාස්‍ය හා දුෂ්ඨ චරිත එකවර කළ හැකි නළුවා. ඔහු වැලිකතරේ එක ආකරයක රංගයක යෙදෙනවා. අනිත් පැත්තෙන් අල්ලපු ගෙදර තවත් ආකාරයක හාස්‍ය රංගයක්. බලන්නකෝ එකම රංගන ශිල්පියෙකු මේ විශිෂ්ඨ රඟපෑම. සාරවිට චිත්‍රපටයේ තවත් විදියක වෙනම රඟපෑමක්. පුරහඳ කළුවර තවත් රඟපෑමක්. ඉතින් අපි විදේශ නළුවන්ගෙන් යම් කිසි දේවල් උකහා ගන්නට පෙර අපේම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ නේද? මේක තමයි රංගනයේ ආශ්චර්ය.

රඟපෑම කුමාර අයියගේ වෘත්තියද? නැවතත් මාලාගෙන් පැනයක්.

කලක් මගේ රැකියාව වුණේ පුවත්පත් ආයතනයක සෝදුපත් බලන්නෙකු හැටියට සේවය කිරීමයි. එහිදී මට පත්තරවල යන මරණ දැන්වීමේ සිට මහාචාර්යවරුන්ගේ විද්වත් ලිපි දක්වා විවිධ තරාතිරමේ ලිපි කියවන්න ලැබෙනවා. එයින් මගේ දැනුමට ලොකු පන්නරයක් ලැබුණා. වසර දහඅටක ඒ රැකියාවට සමු දී තමයි මම රංගන වෘත්තියට එළැඹුණේ. දැන් මගේ සම්පූර්ණ කාලය රංගනයට යොදවලා තියෙන්නේ.

ඔබ රංගනයට පිවිසුණේ කොයි කාලේද? නැවතත් ගිල්බට් විමසුවා.

පාසල් යන කාලේ ඉඳන්ම රඟපාන උණ තිබුණා. හැබැයි මොරටුව මගේ ගමේ දවසක් දහම් පාසලේ රංගන තරගයක් තිබුණා. ආර්. ආර්. සමරකෝන්, ජගත් මාරසිංහ ඇතළු පිරිසක් විනිශ්චයට ඇවිත් හිටියා. පසුව ජගත් මාරසිංහ මාව විවිධ නාට්‍ය වැඩමුළුවලට යොමු කළා. පසු කාලයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිට විවිධ නාට්‍යවේදීන් යටතේ, තේ හදන කෙනාගේ සිට රංගන ශිල්පියා දක්වා විවිධ කටයුතුවල නිරත වුණා. ඒ තමා මගේ රංගනයේ ආරම්භය.

ඔබ අපේ ප්‍රකට රංගවේදියකු වූ නිහාල් සිල්වා සමඟ රඟපාලා තියෙනවාද? ගිල්බට් නැවතත් ඇසුවා.

එතුමා අවාසනාවන්ත ලෙස මිය ගියා. එදා රාත්‍රියේ වේදිකාගත වූ පුන්තිලා නාට්‍යයත් මම නැරැඹුවා. නමුත් එතුමත් එක්ක කවදාවත් මට එකට රඟපාන්න ලැබිලා නැහැ.

අනේ තව සිංදුවක් කියන්නකෝ . . . සිතාරාගෙන් නැවතත් ඉල්ලීමක්.

දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන . . .

මොනර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන . . .

හතර අතට කරක කරක හැම නෙතටම රිංගන . . .

මහරගමදී හම්බ වුණේ මේ උඩැක්කි කෝළම . . .

මේ ගීතයත් රචනා කරලා සංගීතවත් කළේ අපේ මේ විමල්ජිත් දොඹගහවත්ත මගේ මිතුරා.

සිනහවෙන් හා ගීතයෙන් පිරුණු මියුරු තරු හමුවක් හෙමිහිට ගෙවී යමින් තිබුණා.

තරු මිහිරේ තෑගි අනුග්‍රාහකයා වන ‘ලක්සළු සල’ ආයතනයෙන් ලැබෙන තෑගි වවුචර කුමාර අතින් අපේ පාඨකයන් ලබා ගත්තේ අපමණ සෙනෙහසින්. එමෙන්ම කුමාරට ද තෑගි භෝග පාඨකයන්ගෙන් ලැබුණා. අපේ ටෙනිසන්ගේ තෙවැනි ඇසින් හැඩවුණ කුමාරගේ ලස්සන සේයාරුවක් ඔහුගේ අත්සනින් යුතුව පාඨකයන්ට ද ලැබුණා.

අපි අවසාන වශයෙන් අපේ රෝමා රෝෂි ලක්සළු සල මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි මතක් කරන ගමන්ම දොඹේ අයියගේ ‘මඩකලපුවේ’ අලුත්ම සිංදුව අහමු කියූ කුමාර ද විමල්ජිත් දොඹගහවත්ත සමඟ තරු මිහිරේ රස හෝරාවේ අවසන් භාගය ගීතයෙන් මිහිරිමත් කළා. මඩකලපුවේ පොඩි කඩයක් දාගෙන මුල් ගායකයා වන දොඹගහවත්ත හරිම අපූරුවට අලුත් ගීත කිහිපයක්ම ගැයුවා.

කුමාර තිරිමාදුරගේ ආගමනයෙන් හැඩ වූ තරු මිහිරක නිමාව එසේ සනිටුහන් වූයේ සුන්දර මොහොතක මිහිරි මතක සැවොම සිත් සතන්හි සඟවා ගනිමිනි.

කුමාරසිංහ, ගිල්බට් ගේ අත්පොලසන් නදට කුමාර ගී ගයයි. සිතාරා පුංචි දියණියට කුමාරගෙන් රස කෑමක්.
ගීතාංජලීට, කුමාරගෙන් සමරු තිළිණයක්. සැවොම තුටු වී ගී ගයද්දී.
ගීතාංජලීගේ සොහොයුරාටත් තිළිණ. ගිල්බට්ගෙන් කුමාරට පැනයක්.
මාලාටත් සමරු තිළිණ. පුංචි සිතාරාට ලක්සළුසල තෑගි, කුමාර ගේ අතින්.

ගිල්බට්ගේ හදපිරි සෙනෙහස.