වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

බොලිවුඩ් සිනමාවේ වත්මන් පරපුරේ අයගෙන් ඔබ වඩාත් කැමැති නළුවා සහ නිළිය කවුද?

සුජාතා ගුණවර්ධන – කඩවත

මම පෞද්ගලිකව අමීර් ඛාන්ට වඩා කැමැතියි. පොදුවේ ගත්තාම ඉන්දියානු සිනමාවේ නළු නිළියන්ට වඩා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ටයි මා කැමැති.

*

ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පී ඩැනී ඩබ්. පතිරණ මහතා චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේද?

දයාරත්න ගනේගොඩ – කැලණිය

චන්දිරා, බයිසිකලේ, සීත සමීරේ, අහිමි දඩමං, ඉන්ස්පෙක්ටර් ගීතා චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ඔහුය.

*

‘රේඛාව’ චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධය කළ ගරු මර්සලින් ජයකොඩි පියතුමා වෙනත් චිත්‍රපටවලට ගීත ප්‍රබන්ධය කර තිබේද?

එම්. ෆෙ‍්‍රඩී ප්‍රනාන්දු – කල්දේමුල්ල

එතුමන් හිතක පිපුණු මල්, රොමියෝ ජුලියට් කතාවක් යන චිත්‍රපටවල ගීත නිර්මාණය කළා.

*

සිංහල සිනමාවේ අති දක්ෂ නිර්මාණකරුවකු වූ ධර්මසේන පතිරාජ රූපවාහිනී හා සිනමා නිර්මාණවලින් බැහැර වී සිටින්නේ ඇයි?

ප්‍රභාත්

රාජපක්ෂ – නාවලපිටිය

බොහෝ විට මේ විශිෂ්ට සිනමාකරුවන් රූපවාහිනී නිර්මාණවලින් බැහැර වී සිටින්නේ දැන් පවත්නා බලු පොරයට එකඟවන්න බැරුව වෙන්න ඇති. පතිරාජයන් වැනි ටෙලිවිෂන් ක්ෂේත්‍රයෙන් නිහඬ වූ විශිෂ්ට නිර්මාණකරුවන් රැසක් සිටිනවා.

*

ඉන්දියානු ජනප්‍රිය නිළියක් වූ බී. සරෝජා දේවි හින්දි චිත්‍රපටවල රඟපා තිබේද?

තිලකරත්න විල්වල – කෑගල්ල

පයි ගාමි, සා සුරාල්, ඔපෙරා හවුස්, හොංකොං, පරීක්ෂා, ප්‍යාර් ක්්‍යා තෝ දර්නා ක්්‍යා, බෙබි බෙටී, දුජිකා චාන්ද්, ප්‍රිත්නා ජාතේ රීත්, දිල්වාර්, හරි දර්ශන්, ශ්‍රී රාම් හනුමන් යුද්, ශ්‍රී රාම් වන වාස් වැනි හින්දි චිත්‍රපටවල ඇය රඟපෑවා

*

හොලිවුඩ් හි අතිශයින් ජනාදරයට පාත්‍ර වූ 1941 වසරේදී තිරගත වූ ‘සිටිසන් කේන්’ සිනමා නිර්මාණය ගැන විස්තරයක් දැන ගැනීමට කැමැත්තෙමි.

ගිල්බට් පෙරේරා - තලවතුගොඩ

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සිනමා විචාරකයන්ගේ සම්මානයට පාත්‍ර වූ ‘සිටිසන් කේන්’ චිත්‍රපටය ඕසන් වෙල්ස්ගේ මුල්ම අධ්‍යක්ෂණයයි.

මෙම චිත්‍රපටය පාදක වනුයේ ඇමරිකානු මාධ්‍ය ප්‍රධානියකු ලෙස ජීවත් වූ විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට් සහ චිකාගෝවේ කෝටිපතියකු වූ සැමුවෙල් ඉන්ස්ල්ගේ ජීවිත සම්බන්ධව යැයි වාර්තා වෙනවා. කෙසේ වෙතත් එහි ප්‍රධාන චරිතය වූ චාර්ල්ස් ෆොස්ටර් කේන්ගේ චරිතය රඟන්නේ ඕසන් වෙල්ස් විසින්මයි.

මිනිසකුගේ ජීවිතයේ ළමා විය හා සැඟවුණ අරුත් සොයා යද්දී විවරණය වන මානව සිතුවිලි සමුදායක් සිනමා මාධ්‍ය අති සූර ලෙස භාවිත කරමින් වෙල්ස් විසින් සිනමා කාව්‍යයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම තිර රචනයට සම්මාන හිමිකර ගත්තායින් පසුව චිත්‍රපටය පිළිබඳ විශාල මතවාද ගොඩ නැගෙන්නට වූවා.වර්තමානයේදී මෙම චිත්‍රපටය කිහිපවරක් නරඹද්දී එය අලුත් අරුත් මතු කරන වර්ගයේ චිත්‍රපටයක් බව හැෙඟයි.

වසර හැත්තෑවක් සමරමින් නිකුත් වූ ‘බ්ලුරේ’ සංස්කරණය දකින විට සිටිසන් කේන් යනු තවත් සිනමා කෘතියක් ලෙස නොව ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස එය අලුත් අර්ථයක් ඉස්මතු කරන බව මට හැඟිණ.

පළමු වර්ණ චිත්‍රපටය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘කැලෑහඳ’ චිත්‍රපටය කියා මගේ හැඟීමයි. මෙය නිවැරැදි කරන්න.

ආර්. ඒ අමරසිංහ – පෙතියාගොඩ – කැලණිය

 

*

කැලෑහඳ චිත්‍රපටයේ අන්න සුදෝ ගීතය වර්ණවත්ව රූගතකර තිබුණා. එමෙන්ම ශ්‍රී 296 චිත්‍රපටයේද ගීතයක් වර්ණයෙන් රූගතකර තිබුණා. නමුත් සම්පූර්ණයෙන් පළමුව වර්ණයෙන් රූගත කළේ ‘රන්මුතුª දූව’ චිත්‍රපටයයි.

*

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ හොඳම චිත්‍රපටය කුමක්ද?

උඩලමත්ත - සිසිර කුමාරසිංහ

 

*

ගාමිණී ෆොන්සේකා රඟපෑ හැම චිත්‍රපටයකටම මම කැමැතියි. ඒ අතරින් නිධානයේ විලී අබේනායක ලෙසත්, ගම්පෙරළිය ජිනදාස ළමාහේවා ලෙසත්, සරුංගලයේ නඩරාජා ලෙසත් ඔහු කළ රඟපෑම් අති විශිෂ්ටයි.

මේ සියල්ල මෙන්ම වැලිකතරේ වික්‍රම රන්දෙණියගේ චරිතය තිර නාටකය තුළින්ම රඟපෑමට ඇති ඉඩකඩ අහුරන ලද චරිතය රඟපෑ අයුරු අගය කළ යුතුමයි. පරසතු මල් හී බොනී මහත්තයාද එසේමයි.

*

එච්. ආර්. ජෝතිපාල රඟපෑමෙන් සහ ගායනයෙන් සහභාගි වූ චිත්‍රපට මොනවාද? ඔහු හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන දිනා ඇත්ද?

ජයම්පති නවරත්න – මාතලේ

ඔහු කිසි විටකත් හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන දිනා ගත්තේ නැහැ.

ඒ ඔහු අති විශිෂ්ට ගායකයකු වුවත්, අති දක්ෂ නළුවකු නොවන නිසා. ඔහු ඇතුළුවීම තහනම්, සුනේත්‍රා, සූකිරි කෙල්ල, සුමිතුරෝ, ඇමැතිකම, අබිරහස වැනි චිත්‍රපටවල ගයමින් රඟපෑවා.

*

සිංහල සිනමාවේ ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් අපේ සිනමාවට ඉන්දීය නිළියන් විශාල මුදලකට ගෙන චිත්‍රපට තනන්නේ අපේ නිළියන් ලස්සන, දක්ෂ නැති නිසාද?

ගාමා ගාමිණී – හබරාදූව

මම හිතන්නේ එහෙම කරුණක් නෙමේ. අදාළ නිර්මාණකරුවන්ට ගැළැපෙන රුව මෙරට නැති නිසා වෙන්න ඇති. ජැකලයින් ෆර්ඩිනැන්ඩස් වර්තමාන ඉන්දියානු සිනමාවේ ප්‍රචලිත චරිතයක්.

එමෙන්ම අපේ ජැකලයින් හින්දි චිත්‍රපටවල රඟපාන්නේ ඉන්දියාවේ නිළියන් හිඟ නිසා නොවේ නේද ගාමා?

*

පසුගියදාක අපේ ජනප්‍රියයි කියන නිළියක් තම වෙබ් අඩවිය ආරම්භ කළ දිනයේ ඇඳගෙන සිටියේ බ්‍රිජට් බ්‍රාඩෝ වගේ ඇඳුමක්. එය අපේ සමාජයට ගැළැපෙන්නේ නැහැ නේද?

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත

බ්‍රිජට් බ්‍රාඩෝ නමින් වෙබ් අඩවියක් තියෙනවා. ඒ ඇයගේ ඇඳුම් විලාසිතා ගැන නෙවේ. ඇය කළ රඟපෑම් හා ජීවන තොරතුරුයි.

කවුරැන් හෝ නමුත් තරුණ අවධියේ විලාසිතා කිරීම ගැන එතරම් ගණන් ගත යුතු නැහැ.

ඔවුන්ගේ විලාසිතා ගැන විවේචන කරලා සතුටු වෙන්න තරම් මට කුහක වෙන්න බැහැ.

කොටසක් ස්වභාවයෙන්ම විලාසිතාවලට ප්‍රිය කරනවා. ඒ අයගේ සිරුරට ගැළැපෙනවා නම් ඒ ගැන අපට මොකටද ගැටලුවක්. අනෙක් අතට තරුණ කාලේ විලාසිතා කරනවා මිසක් මහලු වෙලා කරන්නද?

*

සරසවිය ‘අර්ජුනගෙන් අහන්න’ ඇතුළු විශේෂාංග සඳහා හැමදාමත් එකම පිරිසකට පමණක් සීමා වෙලාද?

සුනන්ද කුමාර – දංකොටුව

පැහැදිලිව, කෙටියෙන් වැදගත් ප්‍රශ්න ලියන හැමෝටම උත්තර ලැබෙනවා. ඒකාකාරී ප්‍රශ්න නිසා අර්ජුන්ටත් එපා වෙලා.

*

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඔබ කැමැති චිත්‍රපට මොනවාද?

මැණිකේ විල්වල – කෑගල්ල

නිධානය, දෙලොවක් අතර, සංදේශය, රේඛාව, කලියුගය, අම්මාවරුනේ ඇතුළු එතුමාගේ හැම චිත්‍රපටයකටම මම කැමැතියි. සිනමා සංරචනයේදී ඔහු තරම් සමත් වෙනත් සිනමාකරුවකු නැති තරම්.

*

රසික පැනවලට රසවත්ව, නිරවුල් ලෙස පිළිතුරු සපයන ඔබව හඳුනා ගන්න කැමැතියි.

ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

මේ ඉන්න විදියටම මම ඉන්නම්.

*

සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ අහිංසක ප්‍රයෝගය චිත්‍රපටයේ විකට චරිතයක් රඟපෑ ‘ඕම් ප්‍රකාශ්’ කෝ?

1998 පෙබරවාරි 21 ඔහු මිය ගියා.

*

තමරා දිල්රුක්ෂි දැන් පුංචි තිරයේ නැත්තේ ඇයි?

චතුරංග සම්පත් – තුන්තාන

ඇය දැන් විදේශ ගත වෙලා ඉන්නේ.

*

පැරැණි නිළියක් වන ක්ලැරිස් ද සිල්වාගේ ලිපිනය පළ කරන්න.

දීපිකා රණසිංහ – හැඳල

අංක 50 ඒ, පාසල් පටුමග, නාවල, රාජගිරිය.