වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 30 දා වේයන්ගොඩදී

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 30 දා වේයන්ගොඩදී

2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 30 වැනිදා පස්වරු 2.00 ට වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ටතම නවකතාව, කෙටි කතාව, පද්‍ය සංග්‍රහය, විද්‍යා ප්‍රබන්ධය, නාට්‍ය ග්‍රන්ථය, යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය, පරිවර්තන ග්‍රන්ථය, ළමා සාහිත්‍ය ඇතුළු ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමෙයි.

මීට අමතරව ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ටතම සේවය අගය කිරීම සඳහා පිරිනමනු ලබන සාහිත්‍යරත්න සම්මානයෙන් මෙවර පිරිනමනු ලබන්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග, මහාචාර්ය රංජනී ඔබේසේකර, මහාචාර්ය අරුණාචලම් යන විද්වතුන් සඳහායි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩල එක්ව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට මෙවර ග්‍රන්ථ 1151 ක් ලැබී ඇත.

උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙම උළෙලට සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටී. බී. ඒකනායක හා මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවන් හා සාහිත්‍යකරුවන් රැසක් සහභාගිවීමට නියමිත.

සන්නස්ගල ගේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ එළි දකී

ප්‍රවීණ සිංහල ආචාර්යවරයකු වන සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල ලියූ අලුත්ම නවකතාව ‘පිරිමි ගොඩයි මං විතරයි’ මෙවර සාහිත්‍යය මාසය වෙනුවෙන් එළි දක්වා තිබේ.

මේ සමඟ සන්නස්ගල ලියූ අනෙකුත් නවකතාවල ප්‍රති මුද්‍රණ ද මේවන විට නිකුත්කර ඇත. වස්සාන සිහිනය, සංඟිලි පාලම, සරසවි දියණියෝ, තුඹසක විලාපය, වසන්තය එනවා සත්තයි, නේත්‍රා, මගේ කුලුඳුල් පෙම්වතිය, ආදරේ තරම්ම යසෝදරා, එම කෘති අතර වේ.

සංජුලගේ මායාවෝ 29 ගම්පහ

සංජුල දිවාරත්නගේ ‘මායාවෝ’ වේදිකා නාට්‍යය මෙම මස 29 වැනිදා ගම්පහ සුමේධ රංග ශාලාවේදී වේදිකා ගතවීමට නියමිතය.

මෙම වේදිකා නාට්‍යයේ ජීවන් හඳුන්නෙත්ති, කුමුදුනී අධිකාරි, ඩීමන් හෙට්ටිආරච්චි, මහේන්ද්‍ර විජේරත්න, රංජන් ගලගෙදර, කුමාරි සේනාරත්න, ගයා ක්‍රිෂානි, එම්. එමිල්, උදාර රණසිංහ, ඉන්දික මධුරගේ, නිශ්ශංක ජයරෝහණ යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. වේදිකා පරිපාලනයෙන් සනත් ධම්මික, වේශ නිරූපණයෙන් එම්. එමිල්, වේදිකා ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන්, සංගීතයෙන් ඩබ්ලිව්. ප්‍රේමරත්න සොයිසා, පසුතල නිර්මාණයෙන් උපුල් ප්‍රදීප්, නිෂ්පාදනයෙන් මංගල මඬුගල්ල සහාය වෙති.

34 වැනි රුක්මණී දේවි අනුස්මරණ වැඩසටහන වෙනුවෙන්

ආධුනික ගායක ගායිකාවන්ට සහ නර්තන ශිල්පීන්ට අවස්ථාවක් ලබාදීමට රුක්මණී දේවි ස්වර්ණ පදනම පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන ඔක්තෝබර් 28 වැනි දා රාජගිරිය වික්ටෝරියා නිවාසයේදී පැවැත්වෙන රුක්මණී දේවි 34 වැනි අනුස්මරණ වැඩසටහනේ දී මෙම අවස්ථාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන ආධුනික ශිල්පීන්ට 071 – 7247501 සහ 077 – 7620925 අංක අමතා වැඩි විස්තර ලබා ගන්නා ලෙස රුක්මණී දේවි ස්වර්ණ පදනමේ සභාපති ජයන්ත කඳනආරච්චි දන්වා සිටියි. මේ සඳහා අදාළ කටහඬ සහ නර්තන පරීක්‍ෂණ ලබන මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. රුක්මණී දේවියගේ ඥාති දියණිය වන නීතිඥ කාංචනා ප්‍රනාන්දු සහ ජයන්ත කඳනආරච්චි මේ සඳහා සහභාගි වන ලෙස ඔබ සැමට ඇරයුම් කර සිටියි.

දුලාජ් ගේ අලුත්ම ගීතය ‘මොනාලිසා’

දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි දුලාජ් ධනුෂ්ක සිය අලුත්ම ගීතය ‘මොනාලිසා’ නමින් එළි දක්වා ඇත.

ස්ව සංගීත නිර්මාණයකින් යුතු මොනාලිසා පද රචනය සමන් චන්ද්‍රනාත් විරසිංහ විසිනි. මෙම ගීතයේ රූගත කිරීම් සිංගප්පූරුවේ දී සිදුකර තිබේ. දුලාජ් සිය ප්‍රථම ගීතය මීට වසරකට පෙර ‘මේ රාත්‍රියේ’ නමින් එළි දැක්වීය.

ඩෙන්සිල් ජයවීර අධ්‍යක්‍ෂණය කළ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට ද පිවිසි දුලාජ් සිය පළමු සංයුක්ත ගී තැටිය ලබන වසරේ දී එළි දැක්වීමට සූදානමින් සිටියි. දුලාජ් ධනුෂ්ක – 0777972836 / 0718744770

දී. ග. සෝමපාලගේ ළමා ටෙලි නාට්‍යයට නවකයන්ට අවස්ථාවක්

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන දී. ග. සෝමපාල නිර්මාණය කරන්නට අදහස් කරනා ‘අහස අහිමි කුරුල්ලනේ’ නම් නවතම ළමා ටෙලි නාට්‍යයට දක්ෂතා ඇති දූ දරුවන් අපේක්ෂා කරයි.

ඔබත් වයස අවුරුදු 11 – 13 යන වයස පරාසයේ සිටින රංගනයට දක්ෂ දරුවකු නම් ළඟදීම ලබාගත් ඡායාරූපයක් සමඟ ඔක්තෝම්බර් මස 07 දින පෙරවරු 9.00 ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වන්න.