වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





තරුණ ජවය එක්තැන් වී

තරුණ ජවය එක්තැන් වී

සුපර් සික්ස් ඊ. ඒ. පී. මණ්ඩලයේ

තරුණ ජවයෙන් යුතු කණ්ඩායම් හයකි. ඔවුන් එකිනෙක තරඟ වදින්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඒ අතරතුරදී සිදුවන සාධාරණ, අසාධාරණකම්, හාසෝ‍යීත්පාදක සිදුවීම් එමටය. අවසානයේ ජය ගන්නේ කවුරුන්ද?

මේ කතා සරාංශය ඇතුළත් චිත්‍රපටයක් මෙම මස තෙවැනි සතියේ සිට ලිබර්ටි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වනු ඇත. එහි නම සුපර් සික්ස් වේ. ලංකාවේ මෙතෙක් වැඩිම මුදලක් වියදම් කොට තැනූ සුපර් සික්ස් උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයකි.

සුපර් සික්ස් හි නිෂ්පාදිත වියදම රුපියල් ලක්ෂ නවසිය හැත්තෑවකි. ප්‍රධාන නළු නිළියන් එකසිය හැට දෙනෙකු සහ අතිරේකව දහසකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වූ සුපර් සික්ස් සඳහා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, සුනෙත් චිත්‍රානන්ද, පුබුදු චතුරංග, ඇන්ටන් ජූඩ්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චිත්‍රා වරකාගොඩ, මැණිකේ අත්තනායක, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, අරුණි රාජපක්ෂ, හේමාල් රණසිංහ, මලීකා සිරිසේනගේ සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර කිහිප දෙනෙකි.

සුපර් සික්ස් ආර්. සදේෂ් කුමාර්ගේ නිෂ්පාදනයකි.


ඇන්ටන් ජූඩ්ට පින් පමුණුවන

සුනිල් අරුණගේ නිවෙසේ පුණ්‍ය කර්මයක්

වීර්යා චිත්‍රපටයේ දර්ශනයක් රූ ගැන්වෙද්දී, ජූඩ් සමඟ ජගත් චමිල, සුනිල් අරුණ

ඇන්ටන් ජූඩ් අවසන් වරට රංගනයේ යෙදුණ නිවසේදී මෙම 12 වැනිදා උදෑසන ඔහුට පින් අනුමෝදන් කරමින් දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට චිත්‍රපට නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරි සූදානම් වෙයි.

ජූඩ් අවසන් වරට රඟපෑ වීරයා චිත්‍රපටයට දායක වූ සියලු කලාකරුවන් මේ සඳහා සහභාගි වෙයි. ඇන්ටන් ජූඩ් මිය ගියේ වීරයා චිත්‍රපටයේ දර්ශන රූ ගන්වද්දී සුනිල්ගේ මෙම නිවහනේදීය.


සිරි පැරකුම්බාට සෝමරත්න නළු නිළියන් සොයයි

සෝමරත්න දිසානායක සිය නවතම සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. සිංහල රාජවංශයේ එන විශිෂ්ටතම සාහිත්‍ය කෘතියක් වන කව්සිළුමිණ රචනා කළ දෙවන පැරකුම් රජුගේ ළමා විය මේ කෘතියට පාදක වෙයි.

චිත්‍රපටය සඳහා මේ දිනවල නළු නිළියන් තෝරමින් පවතින බවත් සෝමේ පවසා සිටී. වයස අවුරුදු 5 – 10, 10 – 12, 18 – 25 යන වයස් කාණ්ඩයන්හී ළමා සහ තරුණ නවක නළු නිළියන්ට සෝමරත්න දිසානායක, බෝගහවත්ත, පන්නිපිටිය යන ලිපිනයට අයැදුම් පතක් එවීමෙන් සිරි පැරකුම්බා චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.

ඒ අතරින් අවුරුදු කුමර කුමරියන්ට වැඩි ඉඩක් වෙන් කිරීමටත් තෝරා ගත් ආධුනිකයිනට වැඩමුළුවක් මඟින් මනා පුහුණුවක් ලබා දීමටත් සෝමෙ බලාපොරොත්තු වෙයි. සිරි පැරම්බා රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්.

දමින්ද මඩවල සහය අධ්‍යක්ෂණයෙන් හා හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් මෙයට දායක වෙති. එළඹෙන අගෝස්තු පාසල් නිවාඩුවේදී සෝමෙගේ සිරි පැරකුම්බා හි රූගත කිරීම් ඇරැඹීමට නියමිතය.


සියලු කලාකරුවන්ගේ දත්ත අද අන්තර් ජාලයට

ලංකාවේ දැනට වෙසෙන සියලුම කලාකරුවන්ගේ දත්ත ඇතුළත් වෙබ් අඩවියක් මෙම මස 10 වැනිදා එනම් අද අන්තර් ජාලයට මුදා හැරේ.

www.lankaartist.com වූ එයට දැනට කලා ක්ෂේත්‍රයේ ඕනෑම අංශයක් යටතේ සක්‍රීයව ක්‍රියා කරන අයට තමන්ගේ තොරතුරු රිසි පරිදි ස්වයංව ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබේ. එයට අමතරව ආධුනිකයන් සඳහා වෙනමම ඉඩක් මෙහි වෙන්වනු ඇත.


රමේෂ් උවයිස්ගේ පියා මිය යයි

ඩේලි මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සිනමා මාධ්‍යවේදී රමේෂ් උවයිස්ගේ ආදරණීය පියාණන්වූ එම්. ටී. එම්. උවයිස් මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට වයස අවුරුදු හැත්තෑ නවයක් වූ ඔහු නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ විශ්‍රාමික නිලධාරියකි.

ඔහුගේ අවසන් කටයුතු පසුගියදා කොළඹ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කෙරිණ.


සාක් චිත්‍රපට උළෙල තරංගනී ශාලාවේදී

දකුනු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය (සාක්) මඟින් සංවිධානය කරනු ලබන චිත්‍රපට උළෙලක් මෙම මස 16 වැනිදා සිට 20 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

එහිදී ප්‍රදර්ශනය වන චිත්‍රපට මෙසේය.

ශ්‍රී ලංකාව

ආකාස කුසුම් (ප්‍රසන්න විතානගේ)

විදූ (අශෝක හඳගම)

පාකිස්ථානය

බෝල් (ෂොයිබ් මන්සූර්)

රාම් චාන්ඩ් පකිස්ථානි

(මහේර් ජේබර්)

සේවිංෆේස්

ඉන්දියාව

රන්ජනා අමි අ(ර්) අශ්බෝනා

(අංජන් දත්තා)

බියාරි (කේ. පී. සුවිරාන්)

රෙඩ් බිල්ඩින්ග් වෙයාර් ද සන් සෙට්ස් (රේවතී)

ඇන්ඩ් වීපේලේ ඔන්


මහීල් ආර්. පෙරේරාගෙන්

රොහාන් වැලිවිටට පිළිතුරක්

පසුගිය සරසවිය කලාපයක චිත්‍රපට පුවත් තීරයේ පළ වූ ‘රොහාන් වැලිවිට අලුත් කටයුත්තක’ යන ශීර්ෂය යටතේ වූ පුවත සම්බන්ධයෙන් ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂ මහීල් ආර්. පෙරේරා සරසවිය පුවත්පතට ලිපියක් මඟින් කරුණු දක්වා ඇත.

අධි තාක්ෂණයෙන් රූපගත කිරීම, සංස්කරණය සහ වර්ණ සංයෝජනය ලංකාව තුළ නිම කළ හැකි එකම තැන ෆයින්විෂන් ආයතනය ලෙස රොහාන් වැලිවිට පැවසූ කරුණු කෙරෙහි මහීල් පෙරේරා සිය විරෝධය පළ කොට ඇත.

මෙරට අධි තාක්ෂණ රූපගත කිරීම, සංස්කරණය සහ වර්ණ සංයෝජනය හඳුන්වා දී ප්‍රථම වතාවට යොදා ගත්තේ කන්‍යාවි චිත්‍රපටයට බවත්, එම පහසුකම් යටතේ ප්‍රථමයෙන්ම තිරගත වූයේ උත්තරා චිත්‍රපටය බවත් සඳහන් කරන මහීල් එම කාර්යන් සිදු කරන ලද්දේ ඔහුවිසින් බවත් සඳහන් කරයි. අධි තාක්ෂණයෙන් එහා යමින් ලෝකයේ සුපිරි ඩිජිටල් සිනමා කැමරාවක් වන රෙඩ් කැමරාව ලංකාවට හඳුන්වා දුන්නේ ද ඔවුන් බවත් ඒ හා සමඟම හොලිවුඩ් සිනමාවේ භාවිත වන ලෙස 21 ර්.ර් ප්‍රමාණයේ සංස්කරණ හා වර්ණ ගැන්වීම ද ලංකාව තුළ එම ආයතනය මඟින් සිදු කර ඇති බවත් ඔහුගේ ලිපියේ සඳහන් කොට තිබේ.

ඉන්දියානු තාක්ෂණය නොමැතිව ඩිජිටල් සිනමාපට ර්.ර් 35 පටල පටයට පරිවර්තනය කිරීම සඳහා මහීල් පෙරේරාගේ ඩ්‍රීම්ස් ඇන්ඩ් මැජික් ආයතනය නිපද වූ රෙකෝඩරය මගින් ආදරණීය වස්සානයේ සිට මේ දක්වා සිනමාපට 26 ක පටල පරිවර්තනය කොට ඇති බවත් එයින් ඇතැම් චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උත්සවලදී සම්මාන දිනූ බවත් මහීල් පෙරේරා පවසයි.

උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට චිත්‍රපටය සඳහා නිර්මාණය වූ ලංකාවේ ප්‍රථම පරිගණක චරිතය වූ ගොපළු යකා සඳහා සරසවිය සිනමා උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානයකින්ද පිදුම් ලැබූ බව ද ඔහු එහි සඳහන් කරයි. ලාංකේය සිනමා ශාලාවලට දැරිය හැකි මට්ටමේ නවතම ස්ටීරියෝ ත්‍රීඩී ප්‍රක්ෂේපණ පහසුකම් ද යෙදිය හැකි ඩිජිටල් සිනමා ප්‍රමිතීන්ට ගැළපෙන අනවසර පිටපත් වැලැක්වීමේ පියවරක් ඇති මෘදුකාංගයක් සහිතව ඩිජිටල් සිනමා ප්‍රක්ෂේපන ක්‍රමයක් ද තම ආයතනය විසින් නිර්මාණය කොට චිත්‍රපට සංස්ථාවට වසර දෙකකට පෙර ඉදිරිපත් කළ බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරයි.