වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





පුංචි තිරයෙන් මට ලැබුණේ එකම චරිත

පුංචි තිරයෙන් මට ලැබුණේ එකම චරිත

යමුනා වීරසේකර

පනස් වැනි වියට පා තබන සරසවිය එදා මෙදාතුර කලා ලොවට දායාද කළ පිරිස අපමණය. අද අපේ කතා නායිකාව ද ජනප්‍රිය තරුවක බවට පත් වන්නේ සරසවිය හරහාය.

රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමේ ආශාවෙන් පසුවන ඇය සරසවිය පුවත්පතෙහි වූ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූවාය. ඈගේ තිබුණු සැබෑ දස්කම් දැකගත් රත්නසිරි පරණවිතාන අධ්‍යක්ෂවරයා සිය ‘රිදී පෝරු’ ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයකට ඇයව තෝරා ගත්තාය. එතැනින් ඇරැඹි නව මඟ ඔස්සේ අද ඉදිරි ගමන ඇරැඹීය. අද වනවිට ඈ දුර ගමනක් පැමිණි බව නම් සැබෑය. වැඩිපුරම ඇයට ලැබුණේ මවකගේ චරිතයට පණ දීමටය.

‘යමුනා වීරසේකර’

බොහෝ ටෙලි නාට්‍යවලදී ඇයව අපට හමු වනුයේ ඒ මවකගේ චරිතය ඔස්සේයි.

‘ඒත් මම මේ දවස්වල ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒ බර්නාඩාගේ යෙහෙළියක් විදියටයි. ඒ අත්දැකීම කාලයකට පස්සේ ලැබුණු අලුත් බවක් මගේ ජීවිතයට ගෙනාවා. වේදිකාව කියන්නේ මට ආගන්තුක දෙයක් නොවෙයි. රංගනය සඳහා මුලින්ම මා පා තබන්නේ පාසල් වේදිකාවටයි. කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේත්, මීගමුව බෝලවලාන මහා විද්‍යාලයේත්, ශාන්ත පීතර මධ්‍යම මහා විද්‍යාලයෙත් පාසල් වේදිකාව තුළින් කළ රංගනයන් වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස මා මෙතන තබන්නට හේතුවුණු පසුබිමයි. මා සාමාන්‍ය පෙළ කරන අතරතුර මීගමුව ප්‍රදේශයේ තිබුණු සංකල්ප කලා කවයට බැඳුණේ පාසල ඔස්සේ ඇතිවුණු රංගනය පිළිබඳ පිබිදීමයි.

එතැනදි වසන්ත විට්ටච්චි, එච්. ඒ. පෙරේරා, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන කියන ගුරුවරුන්ගෙන් ලැබුණ ගුරුහරුකම් රංගන ජීවිතයට වඩාත් වැදගත් වෙනවා. මේ අතර ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිභාව ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් උදා වෙන්නේ අහම්බෙන්. නියත විවරණ සහ මනුසත්තු කියන වේදික නාට්‍ය මගේ ජීවිතයේ සංදිස්ථානයක්. මනුසත්තු හි ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක්. ඊට පස්සේ භරනිය, වොයිසෙක්, කපුටු බෝ, සකුන්තලා, පුන්තිලා වගේ නාට්‍ය රාශියකටම රංගනයෙන් දායක වීමට ලැබීම මට සතුටක්. ඒ වගේම සකුන්තලා නාට්‍යය සඳහා 2004 වසරේදී රයිගම් නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයකට

හිමිකම් කීමටත් මට හැකි වුණා. එය රංගන ජීවිතයේදී මා ලැබූ ඇගයීමක්. මේ වන විට ටෙලි නාට්‍ය 50 කටත් වඩා රංගනයෙන් දායකවීමට ලැබීමත් මට ලොකු සතුටක්. මෑතකදී විකාශය වුණු රන්ගිර වගේම ඉතිං අපි කතා කරමු, සිහිනයකි ඔබ, ඔබ කවුද, සුජාතා, ගල් පිළිමය සහ බොල් පිළිමය, සදිසිතරණය ඇතුළු ටෙලි නාට්‍ය බොහොමයක් ඒ අතරයි. මේ දවස්වල දහවලට විකාශය වන ආදරණීය පූර්ණිමා හා බොරළු වැස්ස කියන ටෙලි නාට්‍යවලත් මගේ රංගනය දැකගන්න ඔබට පුළුවන්. අක්ෂරය, නිසලගිරි, රෝස කැලේ වැනි චිත්‍රපටවලත් මා රඟපෑවා.

රංගනයෙන් බාහිර ගායනය ළඟත් මගේ සිත නතර වෙලා. සංගීතය, ගායනය කියන්නේ මට නුහුරු දෙයක් නෙමෙයි. මා කැලිෆ්සෝ කණ්ඩායම්වල ගී කියන්නේ අවුරුදු පහළොවේ ඉඳලයි. මේ වෙන කොට ගීත දෙකක් පටිගත කරලා අවසානයි. මගේ යහළුවන් වූ තියඩෝර් සහ ඈන් කියන යුවළගෙන් ලැබුණු සහයෝගය මත හඳුනා ගැනීමට ලැබුණු රොහාන් සහ බන්දු තමයි මගේ ගීතවල නිෂ්පාදකයෝ වුණේ. තවත් ගීත දෙකක් පමණ පටිගත කිරීමෙන් පස්සේ සී ඩී එකක් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මගේ මේ කටයුතුවලට මගේ දරුවන් තුන්දෙනා වූ ෂෙහානා, ලිලේකා, රොවින් පුතාගෙන් ලැබෙන සහයෝගයත් මේ අවස්ථාවේදී මතකයට නැඟිය යුතුමයි. මේ දවස්වල වසන්ත මොරගොඩ ගේ ටෙලි නාට්‍යයක් සඳහා රඟපෑමෙන් සම්බන්ධයි. ඊට අමතරව ආයුර්වේදය ඔස්සේ රූපලාවන්‍ය හදාරන්නත් මා යොමු වී සිටිනවා. මේ ගමන එන්න මට උදව් කළ ක්ෂේත්‍රයේ හැමෝටම හිස නමා ආචාර කරන බව මා කියන්නේ සමුගන්න මත්තෙන්.’