වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





Feedback

FEEDBACK

ඔබ එවූ සිය ගණනක් ප්‍රතිචාර අතරින් තෝරා ගත් සටහන් කිහිපයක් අද මෙලෙස ප්‍රතිචාර තීරයේ දිග හැරේ. කලාව ඇතුළේ ඇති ඔනෑම මාතෘකාවක් යටතේ ඔබ සිතෙහි උපන් අදහසක් ප්‍රතිචාර ඉඩට 0757413731 යන දුරකතන අංකයට එස්. එම්. එස්. පණිවුඩයක් මගින් එවිය හැකිය.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස් කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන්පත් වෙනුවෙනි.

දුලීකාට සුබපැතුම්

දෙරණ නාලිකාවේ විකාශය වන මලී ටෙලි නාට්‍යය වඩාත් විචිත්‍ර වී ඇත්තේ ඩිංගිරි මැණිකා නම් අති ප්‍රබල චරිතය නිසාය. එය දුලීකා මාරපන බෙහොම අපූරුවට නිරූපණය කරයි. වැඩිහිටි, ළමා බේදයකින් තොරව රස විඳිය හැකි හොඳ නිර්මාණයක් බව ‘මලී’ සඳහන් කළ හැකිය. දුලීකා, ඔබට රසික අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමමි.
 

හැඳල අල්විස් ටවුම පාරේ

පාලක සමන් පෙරේරා

ආශා සොඳුරුයි

ආශා එදිරිසිංහට,

පුංචි සමනළියක ලෙසින්, ටෙලි සිතුවම් ලෝකයේ, අප හදවත් නැළ වූ, සොඳුරු නිමේෂය නුඹයි. බැඳෙන වැට කඩොලු මායිම් බිඳ දමාගෙන, හසරැල්ල කරා හසර සොයන අපූරු සඳවතිය නුඹයි. රසික නෙත් සිත් නැළැ වූ, ඔවුන් තුළ ආනන්දය රැඳ වූ කාන්තිය නුඹයි. සමනළිය ලෙස ඔබ ඉකි බිඳින විට රසික නෙත් අග කඳුළු බිඳු රැෙඳනවා සත්තයි. රන් සමනල්ලු හි සොඳුරු සමනළී වූ ආශා, ඔබේ රංගනය අප සිත් දැහැන තුළ රැඳි අපූරු සිතුවමකි.

කසුනි නදීකා

පානදුර.

මෙහෙම ගියොත් ටෙලි එපා වෙයි

අද හැදෙන බොහෝ ටෙලි නාට්‍යවල කිසිම හරයක් නැහැ. එකම රාමුවකට කොටු වෙලා ඒ චරිතත් අපට එපා වෙලා තියෙන්නේ. තව සමහර ටෙලි නාට්‍ය බිරිය ස්වාමියාට, ස්වාමියා බිරියට හංගන රහස් තියෙන ඒවා. ඒ නාට්‍ය බලලා හෙම්බත් වෙලා ඉන්නේ. ඔහොම යන කොට ටෙලි නාට්‍ය බැලිල්ලත් අපට එපා වෙයි.

ජාඇල, කලඑලිය - පාතිමා මාවතේ

සරත් සේනාධීර

අද ගීතවල ගායකයා නෑ

බොහෝ ගීතවලට අද නර්තනයන් ද ඉදිරිපත් කරයි. ගායකයා දකින්නට ලැබෙනුයේ අහම්බයෙනි. හඬ පමණක් ඇසෙන විට පටිගත කළ ගීතයකට රඟන බව සිතේ. නර්තන ප්‍රසංගවලදී නර්තන ඉදිරිපත් කළ හැකි නිසා සංගීත වැඩසටහන්වලදී ගායකයාට හෝ ගායිකාවට නිදහසේ තම කාර්යය කිරීමටත්, ගායකයාගේ දැකීම සමඟ ගීතය රස විඳීමට ලැබේ නම් හොඳ යැයි සිතේ.

කඩවත - නිල්මිණි

පැරැණි චිත්‍රපට ටෙලි කරන්න එපා

හැට හැත්තෑව අසූව දශකයේ අති සාර්ථක ලෙස තිරගත වූ කිසිදා මතකයෙන් බැහැර නොවන ගීත රැසක් අඩංගු ජනප්‍රියතම සිනමා සිත්තම් නැරැඹීමෙන් එදා අප ලද වින්දනය අද ද අපගේ හදවත් තුළ පවතින්නේය. ප්‍රවීණ රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් ඇතුළු දැවැන්ත සිනමා අධ්‍යක්ෂවරුන් අතින් නිම වූ මෙම සිනමා සිත්තම් ටෙලි නාට්‍යය ලෙස නිර්මාණය කිරීම දැන් මෝස්තරයක් බවට පත් වී ඇත. මෙයින් පෙනී යන්නේ සමහර ටෙලි නාට්‍යය නිර්මාණකරුවන්ට නව නිර්මාණ කිරීමට ඇති නොහැකියාවයි. පැරැණි සිනමා සිත්තම් ටෙලි නාට්‍යයට නගා විනාශ නොකරන්න. මෙය ප්‍රවීණ සිනමා ශිල්පීන්ට කරන ඉහළම ගෞරවයකි.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

මලින්ද පෙරේරාට

පබා ටෙලි නාට්‍ය තුළින් මා මුලින්ම ඔහුගේ රංගනය දුටුවෙමි. ඉන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකදීම, මේ දිනවල විකාශය වන අමා ටෙලි නාට්‍යයෙහි ද ඔහුගේ රංගනය දුටුවෙමි. ඇත්කඳ ළිහිණියා ටෙලි නාට්‍යයේ ද ඔහු කැපී පෙනුණු චරිතයක් කළේය. එම චරිතය ඔහු මීට පෙර රංගනයේ නිරත වූ සියලු චරිත අභිබවා යන්නා වූ විශිෂ්ට හැකියාව ප්‍රකට කිරීමකි. මලින්ද, මම ඔබ තුළින් විශිෂ්ට චරිතාංග නළුවකුගේ ලක්ෂණ දකිමි.

අජිත් ලක්මාල්

කට්ටුව, මීගමුව

රෝහණ ඇයි නිහඬ?

ඔබේ අතගෙන පෙර සැඳෑවක, දෑසේ මල් විලේ වැනි ළයාන්විත හඬකින් එදා රසික අපගේ සිත්සතන් පින වූ ආදරණීය රෝහණ සිරිවර්ධන ගායන ශිල්පියාණෙනි, ඇයි ඔබ නිහඬ. ගී මල් පොකුරක් රැගෙන අපගේ හදවත් තුළට වඩින්න. එදා මෙන්ම අදත් රසික සිත් පිනවන්න ඔබට ඇරැයුම් කරමි.

මීගමුව, දළුපහන

එන්. අයි. වීරපුර

ආදරණීය ජූඩ් . . .

අප අතරින් වියෝ වූ ඇන්ටන් ජූඩ් කලාකරුවාට කොට්ටුකච්චිය කුමාර කවිරාජ් ලියා එවූ පද කිහිපයකි මේ.

දකිමින් කලා ලොව තුළ නිසි හරි දැක්ම
ගෙන ආ කුසලතාවෙන් දැක් වූවා වික්ම
සකිසඳ පුර එක සකියකු ගිය නික්ම
ඉර හඳ යටින් ගෙවුණා සති ගණනක්ම

ගිරාලා, දිදාලා, රොඩ්නිල සමඟ රැඳී
ජීවන් ප්‍රියන්තලා කුමාරෙලා ඇසුරෙ බැඳී
ආනන්දලා ෆර්නිලා හා එකට හිඳී
ඔහු නික්මුණා සංවේගය සැමට දිදී

අයිශ් අම්මා ගුංඩු යන ලස්සන වචන තුන
රෑ තිස් පැයේ ඇත දෙසවන වැළඳ ගෙන
ඒ ලස්සන පපුව උවනත ඉදිරි දින
නෑ ඇස් දෙකෙන් දකිනට මට ඔබව පින
 

ලස්සනය

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන හිරු දහසක් යට ඉතාම අනුවේදනීය ඇසට කඳුලක් නංවන ටෙලි නාට්‍යයකි. එහි ඉතාම විශිෂ්ට රංගනයක යෙදෙන නිල්මිණි තෙන්නකෝන්ට මගේ උණුසුම් සුබපැතුම්.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය.

S.M.S.

මේ එස්. එම්. එස්. ප්‍රතිචාරයි

නෙහාරා පීරිස් සිටු මැදුර ටෙලි නාට්‍යයේ රඟපානවා ඉතා හොඳයි.

ගම්ලත්

පාදුක්ක.

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ කරන ඉදිරිපත් කිරීම් හරිම ආකර්ෂණීයයි.

අශානි වේරගම

දඹගොල්ලෑව.

‘සපුමලී’ ඉතාත් කැමැත්තෙන් අප නරඹන ටෙලි නාට්‍යයකි. එහි සුරාජ් – මංජුලා කදිමට ගැලපෙන ජෝඩුවකි.

චමරි

කුරුවිට.

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියණි, නැවතත් ඔබගේ සිනමා සම්ප්‍රාප්තිය අතිශයින්ම සතුටට කරුණකි. නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රති රඟා තුළින් යළිත් අති ප්‍රබල රංගනයක් අප අපේක්ෂා කරමු.

මංජුලා පෙරේරා

පහළ කටුනේරිය.

කලකට පසු චතුරිකා පීරිස්ගේ රංගනය සේපාලිකා තුළින් දුටුවෙමි. ඒ චරිතය ඇයටම ලියවුණු එකක් බව මට හැඟේ.

ශානිකා

කොට්ටාව.

චාමික සිරිමාන්නගේ අලුත්ම ගීතය ‘වෙන් වී දැන් යන්න ඉතින්’ කදිමයි. එහි රූප රචනාව ද ගීතයට මනාව ගැලපේ.

කනිෂ්ක මුතුතන්ත්‍රි- කඩවත.