වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





මෙවර දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සම්මාන දිනූ පිරිස මෙන්න

මෙවර දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සම්මාන දිනූ පිරිස මෙන්න

Dangerous

ඉමල්ෂා මධුශානි පසුගියදා නිමා වූ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගාවලයේ ඒකල තරග අංයේ ජයග්‍රාහිකාවයි. ගම්පහ ඩේන්ජරස් එහි කණ්ඩායම් තරග අංශයේ කිරුළු පැළැඳී කණ්ඩායමයි. සරසවිය මේ පිටුවෙහි ලියවෙන්නේ ඔවුන් ගැනය. ඉමල්ෂා සහ ඩේන්ජරස් කණ්ඩායම වෙනුවෙන් එහි නායක ඉමල්ක වෙන්රෝයි සරසවිය හා කතාබහට එක් වුණේ ජයග්‍රාහී සතුට ද දෝත දරා ගනිමිනි.

කොහොමද ගම්පහ ඩේන්ජරස් හැදුණේ?

මම ඇතුළු හය දෙනෙකුගෙන් නර්ථන කණ්ඩායම සමන්විතයි. මම මුලින්ම තනි තරගකරුවෙක් විදිහට නර්තන තරගවලට සහභාගි වුණා. ඊට පස්සෙයි නර්තන කණ්ඩායමක් හදන්න හිතුණේ. අපේ පිරිස එකට එකතු වුණේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරග බිමේදිමයි.

එහි මීට පෙර වටවල ද විවිධ අන්දමින් අපි කට්ටිය තරග වැදුණා. මං ඔවුන්ගේ දස්කම් දැක්කා. ඒ හින්දා සිටි ඔෆ් ඩාන්ස් සීසන් 3 එකේ නර්ථන කණ්ඩායමක් හරහා තරග වැදුණොත් හොඳයි කියලා මට හිතුණා.

ඔබේ අරමුණ සාර්ථක වුණා?

ඇත්තනේම ඔව්. තනියම තරග වදිනවාට වඩා කණ්ඩායමක් වශයෙන් තරග වැදීම අපට මහත් ශක්තියක් වුණා. අප හය දෙනාගේ දක්ෂතා හය විදිහක්. අපි එකා වගේ තරග වැදුණා. මේක තනි ජයග්‍රාහණයක් නෙවෙයි. කණ්ඩායමේ ජයග්‍රහණයක්. ඩේන්ජරස් හි පිරිවර ගැන මතක් කළොත්?

මම තමයි නායකයා හැටියට කටයුතු කරන්නේ. තුවාන් ෆර්සාන්, ජොයෙල් පීටර්, ගිහාන් උමේෂ්, කසුන් අයේෂ් සහ උදාර අකලංක යන අයගේ හැකියාව ඩේන්ජරස් සඳහා ඇතුළත්.

සාමාන්‍යයෙන් කණ්ඩායමක් පවත්වාගෙන යෑමේදී ගැටලු මතුවනවා?

මං හිතනවා අවබෝධයෙන් වැඩ කළොත් එන සෑම ගැටලුවකටම විසඳුම් ලබා ගත හැකියි කියලා. ඒ වගේම හැමෝගෙම අදහස්වලට ගරු කළ යුතුයි. අපේ කණ්ඩායමේ සියලු දෙනා ගිවිසුමකට යටත්වයි කටයුතු කරන්නේ. ඒ අනුව නර්ථන ප්‍රසංගයක් සඳහා මොන ගැටලුව ආවත් සහභාගී ෂය යුතුමයි. මං එහෙම කළේ පිරිස හිර කර ගන්න නෙවෙයි. අපට පහසුවෙන් වැඩ කරන් යන්න.

හොඳම නර්තන කණ්ඩායම හැටියට දැන් වූ මොහොත මතකද?

හොඳට මතකයි. අපි සතුටින් උඩ පැන්නා. කොහොම වුණත් මේ ලද ජයග්‍රහණය ගැන කියන්න තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන ලබාදීමක් හැටියට.

මොනවද වේදිකාවේ ඩේන්ජරස් කළ වෙනස්කම්?

නර්තනයෙන් එහෙම විශේෂ වෙනසක් කළේ නැහැ. අපටත් සාම්ප්‍රදායික රාමුවකට කොටු වෙලයි නර්ථනයේ යෙදෙන්න ලැබුණේ. කොස්ටියුම් හෙවත් ඇඳුම් විලාසිතා පැත්තෙන් වෙනසක් කළා. අපිටම අනන්‍ය වූ විලාසිතාවක් ගොඩ නගා ගත්තා.

හැබැයි ඔබලා කරන විලාසිතාවන්ට බැනුම් මිසක් හොඳක් ලැබෙනවා අඩුයි නේද?

ඒකට අපි මොනවා කරන්නද? තැනේ හැටියටයි අපි විලාසිතාවන් කරන්නේ.

ඩේන්ජරස් යන නම තැබුවේ කවුද?

මං.

ඇත්තටම ඩේන්ජරස් භයානකද?

වේදිකාවේදී භයානකයි.

මොනවද ඩේන්ජරස් කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු?

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගවලට සහභාගි වෙලා ලංකාවේ නම ලෝකෙට ගෙන යාම තමයි අපේ එකම බලාපොරොත්තුව.


තනිකඩකම ගමනට හොඳයි

මීළඟට ඉමල්ෂා සමඟ කතා කරමු.

ඉමල්ෂා ගොඩක් සතුටින් වගෙයි ඉන්නේ?

ඇත්තමයි. මට මේ වෙච්ච දේවල් හීනයක් වගේ.

ඇයි එහෙම කියන්නේ?

බලාපොරොත්තු වුණේ නැති කිරුළක් ලැබුණු හින්ද.

කොහොමද මෙච්චර ලස්සනට ඩාන්ස් කරන්නේ?

මම අවුරුදු පහේ ඉඳලා චන්න උපුලි රංග ආයතනයේ නර්ථනය හැදෑරුවා. ඒ ආභාෂයත් මගේ ඇඟේ තියෙන්න ඇති. ඊට අමතරව මං උපතින් ගෙනාව හැකියාව නිසයි මෙතරම් දේවල් කරන්නේ.

සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියේ ඒකල තරඟ අංශය ජයග්‍රාහකයා ඔබ යැයි දැන් වූ මොහොත මතක් කළොත්?

හරිම ආශ්වාදජනකයි. ඒක මා නොසිතු දෙයක්. කලින් කිව්වා වගේ තවමත් ඒක මට හීනයක්.

මේ කිරුළ ඔබේ නෙවෙයි වගේනේ ඔබ කතා කරන්නේ?

එහෙම නෙවෙයි. මං තරග වැදුණේ දිනන්නම නොව මගේ හැකියාව පෙන්වන්න. නමුත් විනිශ්චය මණ්ඩලය මට ගොඩක් හොඳ කිව්වා. රසිකයන් මට කිරුළ ලබා දුන්නා.

ඉමල්ෂාගේ ගම කොහෙද?

කොටහේන.

ඉගෙන ගත්තේ?

කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන්.

උපන් දිනය?

1990. 10. 18

ලග්නය මොකක්ද?

වෘෂභ.

උස?

අඩි 5 යි අඟල් 4 යි.

ඇයි සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියට සහභාගි වුණේ? ජනප්‍රිය වෙන්නද?

අනේ නැහැ. මට වුවමනා වුණේ මගේ හැකියාව ඉදිරිපත් කරන්න පමණයි.

මොනවද ඒ ගමනේදී මුහුණ දුන් අභියෝග?

අභියෝග නම් අනන්තයි. සෑහෙන්න ප්‍රශ්න ආවා. නොයෙක් බලපෑම් ද ඊට දෙවෙනි නැහැ.

ඒත් ඒ සෑම දෙයක්ම මැඬගෙන සිත ධෛර්ය කරගෙන ඉදිරියටම ගියා.

මොනවද අමතක නොවන අත්දැකීම්?

අන්තිම වටයේ මම විනාඩි 3 1/2 ක් ඇතුළත ඇඳුම් ජාති 3 ක් මාරු කරගෙන බෙලි, ලතින් නර්තන අංග උපයෝගී යොදා ගනිමින් නැටුවා.

අන්න ඒ විනාඩි 3 1/2 මට ජීවිතය තියෙන තුරා මතක තියේවි. ඒ අවස්ථාවට මට සහය දුන්නේ ගයාන්, ශ්‍රීමාල්, අනුශාන් සහ සඳුන් යන අයයි.

මොනවද අනාගත බලාපෙරොත්තු?

මට වුවමනා නැටුම් ගුරුවරියක් වෙන්න.

ක්ෂේත්‍රය ගැන මොකද කියන්න තියෙන්නේ?

මුහුද වගේ. නිසලයි, වෙලාවකට චණ්ඩයි.

දිගටම කලාවේ රැඳී ඉන්න හිතක් නැතිද?

කලාවෙන්ම තමයි මං ඉදිරියට යන්නේ.

නර්තනයට අමතරව?

ජීවිතය ලස්සනයි සහ සින්ඩරෙල්ලා යන චිත්‍රපටවල නර්තන දර්ශන කිහිපයක රඟපෑවා.

නර්තනයනට සම්බන්ධ චිත්‍රපටවලට දායක වන්නට කැමැත්තෙන් ඉන්නවා.

කාටද තුති පුදන්න තියෙන්නේ?

දෙරණ කණ්ඩායමට, විනිශ්චය මණ්ඩලයට, මට එස්. එම්. එස්. එවූ සැමට, වර්තමාන මගේ සංගීත ගුරුවරිය ශිරෝමි පෙරේරාට.

ඔබේ නර්තනය ගැන ඔබ අහපු හොඳම වදන මොකක්ද?

චන්දන වික්‍රමසිංහ මහතා මගේ නර්තන අංගයක් අවසන් වුණාම කිව්වා ඉමල්ෂා ඉමල්ෂා වගේ නැටුවා කියලා. මම කැමැති වේදිකාවේ මම විදිහට ඉන්න. ඒක නිසා චන්දන සර් මට පැවසූ දේ මට හුඟක් වටිනවා.

මේ වන විට ආදරවන්තියක්ද?

නැහැ.

ඇයි ඒ?

තනිකඩව ඉන්න එක මගේ ගමනට හොඳයි.

පිරිමි ළමයි කී දෙනෙකු ඉමල්ෂා සමඟ යාළු වෙන්න ඇවිත් තියනවද?

අම්මෝ, සෑහෙන්න ආවා. ඒ අයගෙන් බොහෝ දෙනෙකු ළඟ තිබුණේ ආදරය නොවේ. අවස්ථාවාදීකම. මං හිතනවා මට වුවමනා කෙනා මගේ අම්මාම හොයලා දේවි කියලා.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

මම නර්ථනයට උපන් කෙනෙක්.

ලිපිනය කිව්වොත්?

15/96 ඒ, ශ්‍රී ගුණාන්ද මාවත,

කොටහේන, කොළඹ 13.