වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





ලක්ෂ 250 කින් බිරියගෙන් ගැලවෙයි

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -5

ලක්ෂ 250 කින් බිරියගෙන් ගැලවෙයි

චිත්‍රපට නිෂ්පාදක බොබ් ඩාලේ තීරණය කළේ සමකාලීනව මනා ජනප්‍රියත්වයක් ලබා තිබූ අසා කාටර්ගේ ‘දි අවුට් ලෝ ජොසී වේල්ස්’ නවකතාව පසුබිම් කරගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටය.

එහි අමෙරිකානු සිවිල් යුද්ධයේදී නීති නිලධාරීන්ට අවි භාර දී යටත් වීමට නොකැමතිව පලා යන ගරිල්ලා සටන්කාමියා ජොසී වේල්ස්ගේ චරිතය රඟපෑම බොබ් ඩාලේ භාර කළේ ක්ලින්ට් ඊස්ට්වුඩ් හටය. අධ්‍යක්ෂණ කාර්යය භාර කෙරුණේ ෆිලිප් කෝෆ්මන් හටය.

ඒ වන විට හොලිවුඩයේ ප්‍රබලයෙක් බවට පත්ව සිටි ක්ලින්ට් අධ්‍යක්ෂවරයාට අවනත නළුවෙක් නොවීය. ක්ලින්ට් මෙහිදී අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත නොසලකා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වූ ලෝරා ලී චරිතය භාර දුන්නේ 31 හැවිරිදි සොන්ඩ‍්‍රා ලොක් හටය. ඒ හැර තම පුතු වූ කයිල් ඊස්ට්වුඩ් හට ජොසී වේල්ස්ගේ පුතුගේ චරිතය බාර දෙන්නට ද ක්ලින්ට් යුහුසුළු වූයේය. මෙහි ප්‍රතිඵලය වූයේ ෆිල්ප් කෝෆ්මන් කෙළින්ම නිෂ්පාදක බොබ් ඩාලේ හමුවට ගොස් ක්ලින්ට්ට එරෙහිව පැමිණිලි කරමින් තමාට ක්ලින්ට් හා වැඩ කළ නොහැකි යැයි පැවසීමයි.

සොන්ඩ්‍රා ලොක්

බොබ් ඩාලේ කළේ අනවශ්‍ය දේවලට ඇඟිලි නොගසා රංගන කාර්යය පමණක් කරන්න යැයි ක්ලින්ට් හට අවවාද දීම නොවේ. ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂ තනතුරෙන් ෆිලිප් කෝෆ්මන් ඉවත් කොට ‘දි අවුට් ලෝ ජොසී වේල්ස්’ අධ්‍යක්ෂණය කිරීම ක්ලින්ට් හටම පැවරුවේය. සියල්ල පසුපස ක්‍රියාත්මක වූ ප්‍රබල හස්තය ක්ලින්ට්ගේ බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

ෆිලිප් කෝෆ්මන් නිකම් සිටියේ නැත. ඔහු සිද්ධිය පිළිබඳ අමෙරිකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට පැමිණිලි කළේය. කරුණු විමසූ සංසදය නිෂ්පාදක බොබ් ඩාලේට ඩොලර් 60,000 ක දඩයක් නියම කළේ ෆිලිප් ඉවත් කිරීම වැරදි සහගත බව තීරණය කරමිනි.

කෙසේ වෙතත් ‘දි අවුට් ලෝ ජොසී වේල්ස්’ අධ්‍යක්ෂණය ක්ලින්ට්ම කළ අතර ඒ හරහා ඔහු දීර්ඝකාලීන පෙම්වතියක ලෙස සොන්ඩා ලොක් සොයා ගත්තේය.

වැඩි ජනප්‍රියත්වයක් නොතිබුණ ද සොන්ඩ්‍රා එම චරිතයට තෝරා ගැනීම පිළිබඳ කිසිවකුට ක්ලින්ට් හට දොස් පැවරීමට ද හැකියාවක් තිබුණේ නැත. ඒ වන විට ඇය රඟපෑ එකම චිත්‍රපටය වූ ‘ද හාර්ට් ඉස් අ ලෝන්ලි ඛ්න්ටර්’ චිත්‍රපටය පමණක් තිරගත වී තිබූණ නමුත් එහි රඟපෑම් වෙනුවෙන් ඇය 1968 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ ‘හොඳම සහාය නිළිය’ සඳහා වූ සම්මානය වෙනුවෙන් නාම යෝජනා ද දිනා තිබිණි.

1944 දී උපන් සොන්ඩ්‍රා 1967 දී විවාහ වී තිබුණේ ගෝර්ඩන් ඇන්ඩර්සන් සමඟිනි. විවාහ වූ මුල් කාලයේ පටන් අද දක්වාත් සොන්ඩ්‍රා ගෝර්ඩන්ගෙන් වෙන්ව ජීවත් වූවත් තවමත් ඔහුගෙන් නීත්‍යානුකූලව දික්කසාද වී නැත. පසු කලෙක ඇය හෙළි කළේ ගොර්ඩන් සමලිංගිකයකු හෙයින් තමා ඔහුගෙන් ඈත්ව ජීවත් වන බවයි.

කෙසේ වෙතත් ක්ලින්ට් ‘දි අවුට් ලෝ ජොසී වේල්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට සොන්ඩ්‍රා තෝරා ගත්තේ ඇගේ රංගන හැකියාවන් පිළිබඳ සලකා නොවේ. ඔහු ඊට වඩා මූලිකව සලකා බැලුවේ ඇය තම ලිංගික අවශ්‍යතාවන්ට ආසාවන්ට ගැළපෙනවා ද කියාය. චිත්‍රපටයට තෝරා ගත් පළමු දිනයේම ක්ලින්ට් ඇය නිදි යහනට නංවා ගත්තේ තම චිත්‍රපටයක ප්‍රධාන නිළිය හා යහන්ගත වීම තමාගේ පුරුද්දක් ඇබ්බැහියක් වග නැවත සනාථ කරමිනි.
සොන්ඩ්‍රා සහ ක්ලින්ට්

‘අපි මුණගැහුණ මුල් දවසේම අපි දෙන්නා ආදරෙන් බැඳුණා’ සොන්ඩ්‍රා ලොක් පසු කලෙක පැවසුවාය. ‘එදා මුළු දවසම මම ගත කළේ එයා එක්කයි. එදා විතරක් නෙවෙයි 1975 අවුරුද්දේ ජොසී වේල්ස් චිත්‍රපටය රූගත කිරීම්වලටයි. ගත වූ කාලය පුරාම මම හිටියේ ක්ලින්ට් එක්ක. එයාගේ පුතා කයිල් රූගත කිරීම්වලට සහභාගි වෙන්න ආ දවස් තිබුණා. ඒත් ඒක අපට බාධාවක් වුණේ නැහැ. කයිල් එතකොට අවුරුදු අටක නවයක පුංචි දරුවෙක්.’

හොලිවුඩයේ ප්‍රබල නළුවකු හා සම්බන්ධතාවක් ගොඩ නඟාගන්නට ලැබීම ගැන එකල සොන්ඩ‍්‍රා මහත් සතුටට පත්වන්න ඇත. එහෙත් ඇය නොදැන සිටියේ ක්ලින්ට් ඔහුගේ බිරිය හා අන් පෙම්වතියන් මෙන්ම තමාව ද රැවටීමකට හසු කර ගෙන ඇති බවය.

ඉන් පසු ක්ලින්ට් අධ්‍යක්ෂණය කළ ‘ද ගෝන්ට්ලිට්’ (1977), ‘බ්‍රොන්කෝ බිලි’ (1980), ‘සඩ්න් ඉම්පැක්ට්’ (1983) යන චිත්‍රපටවල ප්‍රධාන නිළි චරිත ලැබුණේ සොන්ඩ්‍රාටය. ඒ හැර ඇය ක්ලින්ට් සමඟ ‘එව්රි විච් වේ බට් ලූස්’ (1978 – අධ්‍යක්ෂ ජේම්ස් ෆාගෝ) සහ බඩ් වාන් හෝර්න් අධ්‍යක්ෂණය කළ ‘එනි විච් වේ යූ කැන්’ (1980) චිත්‍රපටවල ද ප්‍රධාන චරිත රඟපෑවාය.

කෙසේ වෙතත් දෙදෙනාගේ ආශ්‍රයේ පළමු වසර හතර ඇතුළත පිටතට ද පෙනුණේ ක්ලින්ට් සොන්ඩ්‍රාට ඇති ආදරයෙන් අන්ධව කටයුතු කරනවා බඳු ස්වරූපයකි. සොන්ඩ්‍රා ලොක් සිතුවේ ක්ලින්ට කිසිම දිනෙක තමා අතහැර නොයනු ඇත කියාය. සොන්ඩ‍්‍රා පසු කලෙක කීවේ ක්ලින්ට් සමහර අවස්ථාවන් හිදී තමා හා යුග දිවියක් ඇරඹීමට පවා කැමැත්ත පළ කළ බවය.

ඒ වන විට ක්ලින්ට් ජීවත් වූයේ මැගී ජොන්සන් ගෙන් වෙන්වය. ඔහු 1978 දී මැගීගෙන් දික්කසාද වීමට නඩුවක් ගොනු කළාය. එම නඩුව වසර හයක් හතක් දිග් ගැස්සුණ අතර 1978 දී සොන්ඩ්‍රා ක්ලින්ට් නිසා ගැබ් ගත්තාය. ක්ලින්ට් තමාව විවාහ කර ගන්නට කැමති නිසාත්, ඔහු මැගීගෙන් දික්කසාද වීමට සූදානම් නිසාත් දරුවා හදා වඩා ගැනීම සොන්ඩ්‍රාගේ අරමුණ වූයේය.

‘නැහැ මේ දරුවෙක් හදන්න නියම කාලය නොවෙයි. ඔයා නිළියක හැටියට තව ඉස්සරහට යන්න ඕනෙ කාලය’ ක්ලින්්ට් සොන්ඩ්‍රාට කිවේය. එවැනි චාටු බස් හරහා ඔහු ඇය ගබ්සාවකට පොලඹවා ගත්තේය.

තවත් වසරකට පසුව ද ඇය නැවත ගැබ් ගත්තාය. එවර ද ඇය ගබ්සාවකට පොලඹවා ගන්නට ක්ලින්ට් සමත් වූයේය. සමහර අවස්ථාවන්හිදී සොන්ඩ්‍රා ක්ලින්ට්ගේ චර්යා රටා පිළිබඳ සැක නොකළා නොවේ. එහෙත් ඒ සෑම අවස්ථාවකම චාටු බස්වලින් සොන්ඩ්‍රා රැවටීමේ හැකියාව ක්ලින්ට් සතු වූයේය.

සොන්ඩ්‍රා නොදැන සිටියත් ඒ සමකාලීනව ද ක්ලින්ට්ගේ ජීවිතයට තවත් කාන්තාවෝ ළං වී සිටියහ. ඒ අතරින් එක් අයෙක් වූයේ ගුවන් සේවිකාවක වූ ජේස්ලින් රීව්ස්ය.

1985 පමණ වන විට සොන්ඩ්‍රා හා ඇසුර ක්ලින්ට් හට වෙහෙසක් වූයේය. ‘මේ සම්බන්ධය නවත්වමු’ යි ඔහු සොන්ඩ්‍රාට කෙළින්ම කීවේ නැත. ඊට වසරකට පෙර 1984 මැයි මාසයේ ඔහු මැගී වෙතින් දික්කසාදය ලබා සිටියත් ඒ ඩොලර් ලක්ෂ 250 ක වන්දි මුදලක් ද ගෙවීමෙන් පසුවය.

සොන්ඩ්‍රාගෙන් ඈත් වන්නට ඔහු අපූරු උපක්‍රමයක් ක්‍රියාවට නැං වූයේය. ඇය පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක් වූ ඔහු වෙනත් කාන්තාවන් හා ප්‍රසිද්ධියේ හැසිරෙන්නට පටන් ගත්තේය. එහෙත් සොන්ඩ්‍රා එසේ පහසුවෙන් තමාගෙන් ගැල වී යන්නට ක්ලින්ට් හට ඉඩ දුන්නේ නැත.

ලබන සතියේ

ජේස්ලින්ගෙන් ක්ලින්ට් හට දරුවන් දෙදෙනෙක්