වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





ලංකාවේ සැටර්

ලංකාවේ සැටර්

අපේ රටේ දූ දරුවනට ජැක්සන් ඇන්තනි තිළිණ කරන නාට්‍ය හා රංග කලාව

සැටර් නාට්‍ය ගැන අපි මීට පෙර ද කතා කොට ඇත්තෙමු.

එහෙත් ලංකාවේ නිෂ්පාදනය වූ සැටර් වර්ගයේ නාටක ගැන අපට අසන්න ලැබෙන වාර දුර්ලභයි. සැටර් යන වචනය අපට අසන්න ලැබෙන්නේ ග්‍රීසියෙන්ය. ශ්‍රේෂ්ඨ ග්‍රීක රාජ්‍යයේ පවත්වන ලද ප්‍රකට ඇතැන්ස් හි වාර්ෂික නාට්‍ය උළෙලේ සෑම ට්‍රැජඩි නාටක තුනකටම වරක් සැටර් නාට්‍යයක් පෙන් විය යුතු බවට තීරණය වී තිබුණේය.

එහෙයින් ශ්‍රේෂ්ඨ ට්‍රැජඩි රචකයින් වූ ඊස්කිලස්, සොෆොක්ලීස්, ඇරිස්ටොෆොනිස් හ යුරිපිඩිස් යන සෑම නාට්‍ය රචකයකුම ට්‍රැජඩි නාටක තුනකට පසුව සැටර් නාටකයක් රචනා කොට ඇත.

සැටර් නාට්‍ය යනු හාස්‍යය නාට්‍ය නොව ප්‍රහසන නාට්‍ය යැයි අපි මීට පෙර ද දැක්වීමු. ට්‍රැජැඩිය උත්තම මිනිසුන් මූලාශ්‍ර කොට ගෙන ද, කොමඩිය සාමාන්‍ය මිනිසුන් හා සැටර් නාට්‍ය අධම හෝ අමානුෂික හෝ සත්ව චරිත මූලාශ්‍ර කොට ගෙන ගොඩ නැගී ඇත. සැටර් යන වචනය ඉපැරැණි ග්‍රීක ෆැන්ටසිවල හමුවන වචනයකි. ඉණෙන් පහළ බැටළුවන්ගේ ගාත්‍රා හා කුර සහිත වූද, උඩ කොටස මිනිස් හැඩයෙන් යුක්ත වූද, අමනුෂ්‍ය චරික විශේෂයකට ඔවුන් සැටර්වරු යැයි නම් තබා ඇත. පැරැණි ග්‍රික කැටයම්වල මේ සැටර්වරු හොඳින් කුර සහිතව කැටයම් වී තිබේ.

අතීත ග්‍රීක ෆැන්ටසියේ වාසය කළ ඉණෙන් පහළ කුර සහිත වූ සැටර්වරු ගැන මුළු ලෝකයම අධ්‍යයනය කරති. එහෙත් ලංකාවේ සැටර්වරු ගැන ලෝකය තබා ලංකාවේවත් අධ්‍යයනය නොකිරීම ගැන මම පුදුම නොවෙමි.

අපේ පන්සල් චිත්‍ර අධ්‍යයනය කරන්න. එහි චන්න කින්නර ජාතකය සිතුවම් කර ඇති ස්ථානය නිරීක්ෂණය කරන්න. මේ සඳ කිඳුරා සහ සඳ කිඳුරිය සැටර්වරුන් සේ ඉණෙන් පහළ සත්ත්ව විශේෂයක්ව ඇඳ තිබෙනු ඔබට පෙණෙනු ඇත. සමහර තැනක ඔවුන් මොනරුන්ගේ පාද සහිතව ද ඇඳ තිබේ.

කින්නර යනු කිඳුරන්ය. කිඳුරා මනඞකල්පිත සත්වයෙක්ය. ඩයනෝසිර, මැමත් සහ ගවරා ආදී අතීතයේ සිට වර්තමානයේ වඳව ගොස් ඇති සත්ව විශේෂයකි . තවමත් පුරා විද්‍යාව කිඳුරකුගේ පොසිලයක් සොයා ගෙන නැත.

බටහිර ෆැන්ටසියේ සිටින්නේ දිය කිඳුරා (Merman) සහ දිය කිඳුරිය (Mermaid) පමණ. අපේ ෆැන්ටසියේ දිය කිඳුරන් නැත. ඒ වෙනුවට සිටින්නේ සඳ කිඳුරන්ය. දිය කිඳුරන්ගේ ඉණෙන් පහළ මාළුවෙක්ය. ඉතා රූබර ස්ත්‍රී උඩු කයකට වරල් හා කොර පොතු සහිත මාළු බඳක් එක් වූ කළ බටහිර ෆැන්ටසියේ දිය කිඳුරිය බිහි වෙයි.

අපේ පන්සිය පනස් ජාතක පොතේ 477 වැනි ජාතක කතාව සඳ කිඳුරු ජාතකයයි. මේ සඳ කිඳුරා සහ කිඳුරිය ද ඉතා රූබර මානව උඩ කයකින් යුක්තව සිටී. දඩ කෙළියේ වන වැදුණු බරණැස් රජු පවා වශී වන තරමේ රූප කායකින් හෙබි ස්ත්‍රී නිමිත්තක් සඳ කිඳුරියට තිබී ඇත. බරණැස් රජු මේ කිඳුරිය ලෝකස්වාද රතියට පොළඹවා ගනු වස් බරණැසට ගෙන යාමේ අදහසින් කිඳුරා මරා දමයි. එහෙත් හිමි වියෝවෙන් තැවෙන සඳ කිඳුරිය නේක ඉසුරු පිරි බරණැස් රජ සිරි ප්‍රතික්ෂේප කොට තම සත්‍ය ක්‍රියා බලයෙන් සඳ කිඳුරාගේ ප්‍රාණය යළි ලබා ගනියි.

ස්ත්‍රී පති භක්තිය පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ එන මේ දුර්ලභ කතා ප්‍රවෘත්තිය අළලා ලංකාවේ බිහි වූ දෘෂ්‍ය කලා සම්ප්‍රදාය වනාහී සඳ කිඳුරු නාඩගමයි. මෙය නාඩගමක් සහ කෝලමක් ලෙස නම් වී තිබුණ ද එලෙස නම් පටබැඳී ඇත්තේ පසුකාලීනව විය යුතු යැයි බොහෝ උගත්හු සිතති.

ලංකාවේ නාඩගම් සහ කෝලම් බිහිවෙන්නට පෙර සිටම අප සඳ කිඳුරු රඟපා තිබුණි යැයි මාර්ටින් වික්‍රමසිංහයන් ද දක්වා ඇත. එතුමන්ගේ ‘සිංහල නාට්‍ය හා සඳ කිඳුරුව’ නැමැති විචාර ග්‍රන්ථයේ ඒ බව අවධාරණය කරයි. වික්‍රමසිංහයන්ගේ අදහසේ හැටියට ලංකාවේ අපිට හමුවන ඉපැරැණිම ප්‍රසංග කලාව වන්නේ සඳ කිඳුරු නැටුමයි. එය සැබෑවක් නම් අපේ ජන රඟ මඬලේ ප්‍රසංග රචකයා අතිශයින්ස්ත්‍රීවාදී මානව හිතවාදියෙකි.

අප සම්භාව්‍ය නාට්‍ය කලාව බිහි කර ගැන්මට ප්‍රථම ස්ත්‍රිය ගැන සාකච්ඡා කළ නාටක දෙකක් බිහි කරගෙන තිබුණි. එකක් ස්ත්‍රී ශ්‍රේෂ්ඨත්වය හෙළි කරන සඳ කිඳුරුවයි. අනෙක් ස්ත්‍රී දුර්ගුණය හෙළි කරන මනමේ කතාවයි. වික්‍රමසිංහයන් දක්වන පරිදි මනමෙට පෙර සඳ කිදුරුව අප බිහි කර ගත්තේ නම් මෙරටේ ප්‍රසංග කලාවේ උපත අතිශයින්ම ස්ත්‍රීත්වයට හිත සුව පිණිස සිදු වී ඇත. එය අපේ ප්‍රසංග කලා ඉතිහාසයට ගෞරවයකි.

එහෙත් වත්මන් ලෝකය ග්‍රීසියේ සැටර් නාටකයන්හි ජන මූලයන් පිළිබඳ සිතන විද්‍යාත්මක සිතුවිල්ලෙන් අපේ සඳ කිඳුරාව දෙස විමර්ශනාත්මකව බලන්නේ කවුරුන්ද? ස්ත්‍රී නුගුණ කියූ චුල්ලධනුද්දර ජාතකය (මනමේ නාටකය) සහ කුස ජාතකය අතර ස්ත්‍රී ගුණ කියූ චන්නකින්නර ජාතකය සහ සම්බුලා ජාතකය වැනි කතා මූලයන් ජනකාන්ත නොවූයේ කවර අභාග්‍යයකින්ද?

මනමේ කෝලමෙන් මනමේ නාටකය බිහි කළ සරච්චන්ද්‍රයන්ට සඳ රුව විෂය නොවුයේ මන්ද? ගුණසේන ගලප්පත්තිගේ සඳ කිඳුරු නාටකයමනමේ තරම් ජනප්‍රිය නොවූයේ මන්ද? කුස ජාතකය හරහා කව් සිළුමිණ, කුසදාකව ලියූ දෙවන පරාක්‍රමබාහුට සහ අලගියවන්න මුකවෙට්ටිට සම්බුලා ජාතකය, චන්න කින්නර ජාතකය ඇස නොගැටුණේ මන්ද? අපේ රටේ සැටර් නාට්‍ය කලාව සඳ කිදුරු ගැටුමෙන් අවසන් වුණේ ඇයි?

වර්තමානයේ සිට ලාංකීය ප්‍රාසාංගික අංගයන් හි නාට්‍ය හා රංග කලා වටිනාකම් අධ්‍යයනය කරන ශිෂ්‍යයින් සහ ස්වාධීන බුද්ධිමතුන් මේ ප්‍රශ්න තම අධ්‍යාත්මය තුළ අසා ගන්නවා නම් යෙහෙකැයි මම යෝජනා කරමි.

අපේ රටේ ග්‍රීක සැටර් නාට්‍යයක් අනුසාරයෙන් කළ එකම නිර්මාණයේ මම රඟපා ඇත්තෙමි. ග්‍රීක ශ්‍රේෂ්ඨ නාට්‍යකාර සොෆොලිස් රචනා කළ සැටර් නාටකයකි ‘ඉක්නයුටේ’. එහි සිංහල තේරුම ‘අඩි පාරේ යන්නෝය’. මෙම ග්‍රීක ඉක්නයුටේ නාටකය සිංහලට අනුවර්තනය කළේ බන්ධුල ජයවර්ධනයන්ය. 1965 වසරේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී වේදිකා ගත වූ මේ නාට්‍යයට සිංහලෙන් යෙදූ නම වූයේ ‘බෙර හඬ’ යි.

ඒ දිනවල පේරදෙනිය විශ්වවිද්‍යාලයේ සිට ලූෂන් බුලත්සිංහලයන් 1983 වසරේදී බෙර හඬ පිටපත රැගෙන එය රූපවාහිනී නාටකයක් ලෙස යළි නිෂ්පාදනය කළේය. මම එහි යක් රජා ලෙස රඟපෑවෙමි.

‘හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව් යකෝ’

ග්‍රීක ඉක්නයුටේ හි සිටි ඇපලෝ දෙවියන් බෙර හඬ හිරු දෙවියන් බවට අනුවර්තනය කළේය. ඉක්නයුටෙහි සිටි අර්ධ මනුෂ්‍ය, අර්ධ වෘක සැටර්වරු වෙනුවට ලංකාවේ ගොපලු යකා සහ උගේ පැටව් යොදා ගත්තේය. මම ග්‍රීසියේ සැටර් නැටුම වෙනුවට ලංකාවේ සළු පාලියේ, දෙවොල් නැටුමේ සහ හැන්දෑ සමයමේ සහ දහඅට සන්නිියේ අඩි පෑගුවෙමි.

සැටර් යකා ගොපලු යකා විය.
එහෙයින් එන්න
අපේ සැටර් ගැන සොයා බලන්න
මේ උස්බිම හොඳයි