වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





ඛාන් රජුන්ගේ රැජන කත්‍රිනා

සුළඟවත් එපා

අමිතාබ් බච්චන් මෙගා තරුවක් වුණත් ආදරයට ඔහුගේ හදවතෙහි ‘මෙගා’ ඉඩක් නම් වෙන්කර ගැනීමට අවසරයක් නැත. අමිතාබ්ගේ ආදරයේ සින්නකර උරුමය ඇත්තේ ජයා බච්චන්ට පමණයි.

රේඛා මේ මෙගා හදවතෙහි උරුමක්කාරිය වන්නට ගත් සියලුම උත්සාහයන් අසාර්ථක වුණේ මීට කලකට ඉහතදීයි.

ජයා, අමිතාබ්ගේ හදවතෙහි අපරාජිත හිමිකාරිය වුණත් රේඛාගෙන් තම ආදරයට එල්ල වූ කැළල කෙසේ නම් අමතක කරන්නද? රජයේ විශේෂ ආරාධනාවෙන් පසුගියදා රාජ්‍ය සභාවට රේඛාගේ නම යෝජනා වුණා. මේ නිර්දේශ වීම ජයාට නම් සුබ පුවතක් වූයේ නැහැ. රේඛා රාජ්‍ය සභාවට පිවිසි පසු ජයා තමන්ගේ ආසනය මාරු කරගෙන තිබෙනවා. මෙතෙක් ජයා අසුන් ගෙන ඇත්තේ අංක 91 දරන ආසනයේයි. රේඛාට හිමි වී ඇත්තේ අංක 99 අසුනයි. අංක 99 ආසනය හරියටම ජයාගේ අසුනට පිටුපසින්ලු තිබෙන්නේ.

රේඛාගේ සුළඟවත් වදිනවාට අකැමැති ජයා වහාම ආසන අංක 143 ට මාරුවෙලා. ජයා සහ රේඛා පොදු කටයුත්තකදීවත් එකට දක්නට නොලැබෙන යුවළක්.

1970 දී රේඛා - අමිතාබ් ප්‍රේමය ගැන යෝධ සිරස්තල පුවත්පත්වල පළ වුණා. ජයා - රේඛා - අමිතාබ් තිදෙනා අවසන් වරට රඟපෑවේ 1981 දී තිරගත වූ ‘සිල්සිලා’ සිනමාපටයේයි. ඉන් පසු ඔවුනොවුන් අතර වෘත්තීය මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් හෝ කිසිදු සබඳතාවක් පැවැත් වුණේ නැහැ.

ජයාගේ ආසන මාරු කිරීමට අමිතාබ් මෑතකදී දැක් වූ අදහසක් හේතු වන්නට ඇති බව බොහී දෙනාගේ අදහසයි. හොඳ පිටපතක් ලැබුණොත් රේඛා සමඟ යළි රඟපාන බව අමිතාබ් ප්‍රකාශකර තිබුණා.

කෙසේ වුවත් සැත්කමට පසු ලොස් ඇන්ජලීස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අමිතාබ්ට නම් මේ හිත රිදවන කාරණයක් වෙනවා නිසැකයි.


පවුල් ගහ දළුලයි

අම්මලාගේ අඩි පාරේ යන දූවරුන්, අක්කලාගේ අඩි පාරේ යන නැගණියන් බොලිවුඩයේ ඕනෑ තරම්. පසුගිය වසරේදී මේ තරු පුරවරයට එක් වුණේ ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරිය, පරිනීති චොප්රායි.

යාෂ් රාජ් සිනමාපටයක් වූ ‘ලේඩීස් වර්සස් රිකී බෙල්’ සිනමාපටයෙන් පරිනීති උරගා බැලූ වාසනාව උදා වුණා. පරිනීති පසුගිය වසරේදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සහය නිළියට නිර්දේශ වුණා පමණක් නොව, හොඳම නවක නිළිය ලෙසින් සම්මානයට ද පාත්‍ර වූවා.

පරිනීති සිය සිනමා ගමන එසේ සාර්ථක කර ගනිද්දී, තවත් සුපිරි තාරකාවකගේ ඥාති සොයුරියක් දොරට වඩිනවා. ඇය භව්නා රූපරල්. භව්නා සෝනක්ෂි සිංගේ ඥාති සොයුරියයි. ‘චලෝ පිච්චර් බනාතේ හයි’ සිනමාපටයෙන් ඇය තරු පුරවරයේ දොරට වඩිනවා.

මේ නවක තාරකාව තිරයට ගෙන එන්නේ නවක අධ්‍යක්ෂවරයකු වූ ප්‍රීතිෂ් චක්‍රබෝර්තියි. ෆේස් බුක් හරහා ලැබුණු ආරාධනාවකින් සම්මුඛ පරීක්ෂණයට ගිය භව්නා ප්‍රධාන චරිතයට තෝර ගෙන.

‘සෝනක්ෂිගෙ සොයුරියක් ලෙසින් හැඳීන් වුවොත් ඇතිවන හැඟීම කුමක්දැයි’ කියා විමසීමට මාධ්‍යවේදියෙක් අමතක කළේ නැහැ. ‘එසේ හඳුන්වනවාට කැමැතියි.

සෝනක්ෂි සිනමාවට ආ අලුත හැඳින්නුවේ ශතෘගන් සිංහගේ දුව විදියට. සෝනක්ෂිගේ සොයුරිය ලෙස මාව හඳුන්වනවා නම් එය ආඩම්බරයක්’ ඇය ගත්කටටම පැවසුවා.

සෝනක්ෂිගේ මිත්තණියයි, භව්නාගේ මිත්තණියයි එක කුසඔත් සොයුරියන් නිසා එසේ පැවසීම පුදුමයක් නොවෙයි. කෙසේ වුවත් සෝනක්ෂිගේ කාර්ය බහුලකම නිසා භව්නාට තම චරිතය ගැන තොරතුරු ඇයට පවසන්නට ලැබී නැහැ.

ලේ උරුමයෙන් 2012 වසරේදී රංගනයට පිවිසෙන්නේ භව්නා පමණක් නොවෙයි. සෝනම් කපූර්ගේ ඥාති සොයුරු සහ බොනි කපූර්ගේ පුතු අර්ජුන් කපූර් ද මේ වසරේදී ‘ඉෂ්ක්සාදී’ සිනමාපටයෙන් දොරට වඩිනවා.

අර්ජුන් කපූර්ට තමන්ගේ මංගල සිනමා දර්ශනය නැරැඹීමට සිදුවන්නේ අමිහිරි මතකයක් ද සමඟයි. ඔහුගේ මව, මෝනා කපූර් නොබෝදා මිය ගියා.

සිනමාපටය තිරගත වෙද්දී මව නැතත් කුඩම්මා වන ශ්‍රී දේවියගේ ආශිර්වාදයත් නොඅඩුවම ඔහුට ලැබේවි. බාප්පා වන අනිල් කපූර්ට අර්ජුන් රඟනු දුටු විට සිහියට එන්නේ තම තරුණ කාලෙලු. මහේෂ් බාත්ගේ දියණිය ආලියා සහ ඩේවිඩ් ධවාන්ගේ පුතු වරූන් ද තරු ලෙස දොරට වඩින්නේ මේ වසරේදීයි.


ඛාන් රජුන්ගේ රැජන කත්‍රිනා

මේ වසරේ වාසනාවන්තම තාරකාව කත්‍රිනා කායිෆ්. එසේ පැවසිය හැක්කේ ඇය තරු වර්ගීකරණයේ පෙරමුණේම සිටින නිසා පමණක් නොවෙයි. ඛාන් ත්‍රිත්වයම සමඟ රැඟීමේ දුලබ වරම ඇයට ලැබී ඇති නිසයි.

කත්‍රිනා ‘ඒක් තා ටයිගර්’ සිනමා පටයේ හිටපු පෙම්වතා සල්මන් ඛාන් සමඟ ද, තවම නමක් යොදා නැති යාෂ් රාජ් චිත්‍රපටයක ෂාරුක් ඛාන් සමඟ ද, ‘ඩූම් 3’ හී අමීර් ඛාන් සමඟ ද රඟපෑවා. සිනමාපට තුනම මේ වසරේදී තිරගත වීමට නියමිතයි.

ඛාන් රජුන් තිදෙනා සමඟ රඟපෑමෙන් ලද අමරණීය අත්දැකීම් කත්‍රිනා විස්තර කළේ සම්මානයක සතුටට ද වැඩි සතුටකින්. ‘මේක මට ආශිර්වාදයක් වගෙයි. සල්මන් සමඟ විකට හා ආදර සිනමාපටවල රඟපා තිබෙනවා. මේ වගේ වීර සිනමාපටයකට අප දෙන්නා පළමුවරට සම්බන්ධ වුණේ මෙවරයි.

ෂාරුක් හරිම ළෙන්ගතු, ආදරණීය නළුවෙක්. ඔහු රංගනයට කරන දැඩි කැප කිරීම මං අගය කරනවා.

අමීර් ඛාන් සමඟ ‘ඩූම් 3’ හී රඟපාන්න බලා සිටිනවා. ඉහළ මට්ටමේ ක්‍රියාදාම සිනමාපටයක්. අමීර්ගෙන් රඟපෑම ගැන ඉගෙන ගන්න මම හරිම ආසාවෙන් ඉන්නෙ’ කැට් පවසනවා.