වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





උතුම් දිනයක වූ මහඟු පිංකම

උතුම් දිනයක වූ මහඟු පිංකම

රොබින් ප්‍රනාන්දු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වමින්

ජ්‍යෙෂ්ඨ රංගනවේදී රොබින් ප්‍රනාන්දු පසුගියදා සිරි සම්බුදු මඟුල සිහි කරනා වෙසක් දිනයේ දළදා සමිඳුන්ට දානය පිළිගන්වන්න නුවර දළදා මාලිගාවට ගියේය.

ඔහු සුපුරුදු ලෙස සෑම අවුරුද්දකම මැයි මස 5 වැනිදා දළදා සමිඳුන්ට පිළිගන්වනු ලබන මේ දානයේදී එහි වැඩ වසන භික්ෂුන් වහන්සේලාට වගේම දුගී මගී යාචකයින්ටත් දන් පිළිගැන්වීම සිදු කරයි.

දානය පිළිගැන්වීමට දළදා මාලිගාවට ගිය රොබින් ප්‍රනාන්දු හා නෑදෑ පිරිස ඇතුළු කලාකරුවන්

විසි හතර වසරක් පුරා සිරිතක් විදියට කරගෙන ආ මේ උතුම් කටයුත්තේ මේ ගත වෙන්නේ 25 වැනි වසරයි. මෙවර ඒ යෙදී තිබුණ දවස වෙසක් පෝය දිනයක් වීමත් විශේෂත්වයකි.

මේ උතුම් කටයුත්තට දායක වීමට රොබින් ප්‍රනාන්දුත් පවුගේ සාමාජිකයන් සමඟ කලාකරුවන්, කලාකාරිනියන් රැසක් සහභාගි විය. ඒ අනුලා කරුණාතිලක, කුසුම් රේණු, රෙබෙකා නිර්මලී, මල්කාන්ති, නිශානි යන අයයි. පවුලේ නෑදෑ හිත මිතුරන් සමඟ සියලු දෙනාම එකතු වී කළ මේ පින්කමට සම්බන්ධ වූ, උදව් කළ සියලු දෙනාටම ඔහු ස්තූති කිරීමට ද අමතක නොකළේය.


ඉතිරි රුපියල කෝ ?

මේ දිනවල නිමල් ජයවීරගේ ‘භව අරණ’ ටෙලි නාට්‍ය අනුරාධපුරයේ නටබුන්

අතර රූගත කෙරෙනවා. පසුගිය දවසක සරසවිය අපේ පිරිවරත් භව අරණේ

රූගත කිරීම් නරඹන්න ගියා. මේ ගිහින් එන අතර වාරයේදී නිමල් ඇන්තනී හා

මල්ශානි ආපසු එන්න එක රථයකට ගොඩ වෙලා.

අනුරපුර සිට කොළඹ බලා එන මේ පිරිවරේ රස කතා බොහෝමයක් තිබුණා. වැඩිපුරම කතාවට හපන් නිමල් ඇන්තනි මෙහෙම කතාවක් කිව්වා.

‘ඔන්න යාලුවෝ තුන් දෙනෙක් තේ බොන්න ගියාලු. (මල්ශානිත් කට අයාගෙන බලන් ඉන්නවා). දැන් තේ බීලා ඉවර වුණාම කඩේ වේටර් කොලුවා ගාන රුපියල් තිහයි කීවලු.

නිමල් දිගටම කියයි.

යාලුවෝ තුන්දෙනා එකතු වෙලා රුපියල් දහය බැගින් රුපියල් තිහක් එකතු කරලා මුදලාලිට දීලා. අරන් තියෙන්නේ රුපියල් විසි පහයි. ඒ නිසා කොළුවා නැවත රුපියල් තුනක් තුන්දෙනාට බෙදුවලු.

ඉතිරි දෙක කොළුවා සාක්කුවේ දාගත්තලු. (මෙහෙම කියලා නිමල් හැමෝම දෙස බලා) එතකොට එක් කෙනෙක් වැය කරලා තියෙන්නේ රුපියල් නවයයි.

නව වරක් තුන විසි හතයි. කොළුවගේ සාක්කුවේ දෙකයි විසි නමයයි. ඉතිරි රුපියල කෝ. මේ කතාව අහපු මල්ශානි පෙරේරා අහස පොළොව ගැටලන්න කල්පනාවට වැටිලා. ඇය ඉතිරි රුපියල තවම හොයනවලු!


ඔයා මිස් මිසිස් ද?

වාසනා දන්තනාරායන කියන්නේ රංගන ශිල්පිනියක් මෙන්ම ලංකාවේ සිටින අංක එකේ මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඇයට මේ දවස්වල හරිම කාර්යබහුලයි.

ඒ මේ දිනවල ලෝක මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ අධික නිසයි. හැබැයි මේ සියල්ල අතර මිස් ශ්‍රී ලංකා මිසිස් ශ්‍රී ලංකා රූප රාජණිය තේරීමේ තරගයත් පවත්වන්නත් ලෑස්තියි.

ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගෙන සිටින වාසනා මේ තරගයෙන් ලංකාවේ සුන්දර කාන්තාවන් කරළියට ගෙන ඒමට සූදානමින් සිටින්නේ. මේ කටයුත්තට වාසනාගේ දයාබර සැමියා රසික ඇතුළු වී ඇන්ඩ් ආර් එන්ටර්ටේන්මන්ට් සෑහෙන වෙහෙසක් දරනවා කියලයි ආරංචිය.


රට ඉඳන් තෑගි අරන්

සුගත් ජානක ප්‍රසිද්ධ මිලා ටෙලි නාට්‍යයේ ගිණිකුරු පෙම්වතා ලෙසයි. එසේත් නැතිනම් ගැහැනු ළමයි හී මතං ලෙසයි. මේ මතංගේ උපන් දිනෙත් මේ එළැඹෙන 15 වැනිදාට යෙදෙනවා. මේ සුගත් හෙවත් මතංට කොච්චර රසික රසිකාවන් ආදරේද කියලා මේ කතාව අහපු ගමන් තේරේවි.

සුගත්ට කාලයක සිට සයිප්‍රස් සිට ලස්සන කට හඬකින් යුවතියක් දුරකතනයෙන් කතා කරනවා. හැමදාම දුරකතනයෙන් අමතන මේ යුවතිය හිටි හැටියේම සුගත්ගේ උපන් දිනයට ගිය සතියේ ඔහුගේ නිවසට ඇවිත් ගිහින්.

මේ ගැන සුගත්ගෙන් විමසුවාම ඔහු නම් එක එක ජාතියේ උත්තර දෙනවා. හැබැයි අර යුවතියගේ හඬ වගේම රුවත් ලස්සනයි කියලයි ආරංචිය. කැමති අයට මෙය සුගත්ගෙන්ම අහලා දැනගන්න පුළුවන්.