වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





චාමර පියවි ඔස්සේ එයි

චාමර පියවි ඔස්සේ එයි

කිසිදා නොදකින ලද මිනිසුන් පිරිසක් හා අත් නොවිඳී පරිසරයක් දකින විශාල් නම් බොක්සිං ක්‍රීඩාවට ආදරය කරන තරුණයෙකු වටා ගෙතුනු සොඳුරු කතන්දරයක් වුණු ‘පියවි’ අරගෙන අධ්‍යක්ෂ චාමර ජයනාත් පීරිස් නැවතත් සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට ස්වර්ණාවාහිනිය ඔස්සේ පුංචි තිරයට පැමිණ සිටියි.

පසුගිය දිනයන්හි රඟපෑමෙන් පුංචි තිරයෙහි නිහඬව සිටි උමයංගනා නැවතත් පුංචි තිරයට පැමිණෙන්නේ ‘පියවි’ ටෙලි නාට්‍යයෙහි ඉන්දිරා ලෙසිනි.

නිවේදිකාවක් ලෙස මෙන්ම රංගන ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයෙහි පෙනී සිටිනා රේණුකා බාලසූරිය නම් සිතැත්තියගේ රංගනයෙන් පුංචි තිරය හැඩ වෙන්නේ කාලයකට පසුවය.

දිනක්ෂි ප්‍රියසාද්, එරංග ජීවන්ත, යුරේනි නොෂිකා, කාවිංග පෙරේරා යන යොවුන් නළු නිළි කැල මෙන්ම රෙබෙකා නිර්මලී, කුසුම් පෙරේරා, ෆර්නි රෝෂිනී, කමල් දේශප්‍රිය, චින්තක වාස්, භාග්‍යා ගුරුසිංහ, ඉනෝකා පෙරේරා, ප්‍රභාත් පතිරණ යන පිරිසගේ රංගනයෙන් ‘පියවි’ හැඩ වැඩ වේ.

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණයෙන් චන්දන ජයසිංහ, සහාය අධ්‍යක්ෂණයෙන් ඩබ්ලිව්. රවීන්ද්‍ර, අංග රචනයෙන් සංජීව දැරණියගල, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත හා ටෙරස් ඩී. සිල්වා, නිෂ්පාදන කළමනාකරණයෙන් දිලීප සමරසේකර, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ප්‍රභාත් පතිරණ සහාය වේ.

සංගීතය රවිහාන් වැටකේපතයි. ගායනය කසුන් කල්හාරයි. ලක් රුවන් ද සේරම් ගේ සංස්කරණයෙන් හැඩ වන ‘පියවි’ නිෂ්පාදනය විනිල් මැණික්.


ශ්‍රී රූ රංගන නර්තන 13 දා

ශ්‍රීපාලි කලා කේන්ද්‍රයෙන් රංගන නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ.

ශ්‍රී රූ රංගන නර්තන ප්‍රසංගය නමින් නමක් දී ඇති මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ මේ මාසයේ 13 වැනිදා පස්වරු 3.30 ට මොරටුව බෞද්ධ මන්දිරයේදීයි. ශ්‍රීපාලි, ප්‍රසන්න, කිංස්ලි, රේණුකා, රමණී, ගුණසීලි, අර්ජුන, සිරිමල්, රංජනී, කමලා, සුමුදු, මානෙල්, වින්ධ්‍යා, ශ්‍රියාලතා, හේමා, කමණී, ක්‍රිස්ටි, සමන්ත, හසන්ත, කේෂානි, රුවන් ඇතුළු ළමා නළු නිළියන් රැසක් රංගනයෙන් හා නර්තනයෙන් දායකත්වයක් ලබා දෙනවා. ප්‍රාසාංගික අධ්‍යක්ෂණයෙන් ශ්‍රීපාලි අමරවර්ධන සහාය වෙද්දී සංවිධායක කටයුත්ත කරනුයේ ප්‍රසන්න අධිකාරම්. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ අභිනවයෙන් ඉදි කෙරෙන සොයිසා පුර නුගශ්‍රාම සම්බෝධි විහාරයේ නව තෙමහල් මන්දිරයට ආධාර පිණිසයි.


අදිසි 15 දා දොරට වඩී

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වෙලා ඉන්න ජගත් ජේ. එදිරිසිංහ ලිව්ව අදිසි නවකතාව මේ මාසයේ 15 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩිනවා.


නර්තන පූජාවක් 12 වැනිදා

මිරැන්ඩා හේමලතාගේ කලා ආශ්‍රමයෙන් ඉගෙන ගත් ශිෂ්‍යාවන් පස් දෙනෙක් අපූරු නර්තන පූජාවක් පවත්වනවා මේ මාසයේ 12 වැනිදා පස්වරු 5.30 ට මරදාන ටවර් රඟහලේ.

සඳගෝමි තලගල, සාරංගි තේජානි, ජයනි විජේනායක, අයෝධ්‍යා ජාගොඩආරච්චි, සත්‍යා ගුරුසිංහ කියන දැරියන් පස්දෙනා පවත්වන මේ නර්තන පූජාව බොහොම සුවිශේෂයි.

අපි එහෙම කියන්නේ මේ නර්තන පූජාව පැවැත්වීමෙන් ලැබෙන මුදල් ඔවුන් යොද වන්නේ යහපත් කටයුත්තකට වීම නිසයි.

ඒ සිය ගුරුතුමිය ආරම්භ කරන ලද දිරි දරු පියසේ සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කායික හා මානසික දක්ෂතා වැඩි දියුණු කිරීමට වගේම දැනට ඔවුන් වෙනුවෙන් ඉදි වන නේවාසිකාගාරය ගොඩ නැඟීම සඳහායි.


ගුරු මාරුව අද

‘ගුරු මාරුව‘ කියන්නේ ජගත් චන්ද්‍රසිරිගේ වේදිකා නාට්‍ය නිර්මාණයක්. ජගත් කියන්නේ ගුරුවරයෙක් වගේම රංගන ශිල්පියෙක්, ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. පළමුවෙන්ම ‘තවත් හාදයෙක්’ වේදිකාවට ගෙන ආව ජගත්ගේ ‘ගුරු මාරුව’ කියන්නේ දෙවැනි වේදිකා නාට්‍යයයි. මෙම නාට්‍යයේ මංගල දැක්ම අද (10 වැනිදා) ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වෙනවා.

සෙනට් දික්කුඹුර, රවීන්ද්‍ර කෝදාගොඩ, රන්ජිත් නාඔටුන්න, පුෂ්පා ගුණවර්ධන, ශෙහාන් සමීර, අනුරුද්ධිකා තෙන්නකෝන්, නයෝමි වත්සලා, ඉන්දික මධුශංක, කසුන් මධුශංක, මනෝජ් ප්‍රසන්න, බාජි ප්‍රනාන්දු, කෝසල ලසිත, ප්‍රභාත් පනාගොඩ, කුසල් බිම්සර, ඇන්ටන් කැලුම්, බැසිල් කුමාර කියන රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන්ගේ රංගනය ‘ගුරු මාරුව’ට ආලෝකයක්. වේෂ නිරූපණයෙන් හැඩ වැඩ ගන් වන්නේ සෙනට් දික්කුඹුර. ප්‍රභාත් පනාගොඩ රංගා ලෝකයෙන් වේදිකාව ආලෝකමත් කරනා විට වේදිකාව පරිපාලනය කරන්නේ කෝසල. නාට්‍යයේ තිබෙන නර්තනයන් නිර්මාණය සඳහා බාජි වගේම අනුරුද්ධිකාත් සහාය වුණා. රංග වස්ත්‍රාභරණ නිර්මාණයත් කෝසලමයි.


ජන කරළිය ගාලු යයි

පරාක්‍රම නිරිඇල්ල, දිලිප් රෝහණ සහ ජන කරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙය වන ‘ජන කරලිය නාට්‍ය උළෙල’ පැවැත්වෙන්නේ මේ මාසයේ 10 වැනිදා පටන් 24 දක්වා ගාල්ල බද්දේගම පාරේ දංගෙදර ජයවර්ධන මහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී.

මැයි 10 වැනිදා

පරාක්‍රම නිරිඇල්ලගේ ‘සීතාම්බරපට සහ ‘අන්දර මල්’.

11 වැනිදා-

පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’.

12 වැනිදා -

පාලිත අබේලාල්ගේ ‘පෝරිසාදයා’ හා චාලක රණසූරියගේ ‘හෙලෝ’.

13 වැනිදා

රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතීගේ ‘පයනිහල්’.

අජන්තන් ශාන්ත කුමාර් සහ නිශාන්ත කුලරත්නගේ ‘පරස්තාව’.

14 වැනිදා -

පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’.

16 වැනිදා

ජයන්ත මුතුතන්ත්‍රිගේ ‘දඬුවමත් නරක නෑ’ සහ ‘දෙව්ලොව ගමන’.

අඳුර සහ එළිය. තහනම්.

ජන කරළිය සමූහ නිර්මාණ 03 ක් වන මධුර යාමේ, සිත්තරාගේ සිහිනය සහ සංවාද මණ්ඩප නාටකය.

17 වැනිදා - චරන්දාස්

18 වැනිදා - සෙක්කුව

19 වැනිදා - පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටි කරත්තය’.

20 වැනිදා - චරන්දාස්

24 වැනිදා -

රණසිංහ අධිකාරිගේ ඉයුම නයිඩ්ස්

ඔවුන් ඔබට ආරාධනා කරන්නේ රට පුරා ගමින් ගමට යන රංග යාත්‍රාව සමඟ අලුත් නාට්‍ය අත්දැකීමක් විඳ ගන්නයි.