වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





මයිකල් ජැක්සන් යළි විකිණෙයි

ලින්ඩ්සේ ලොහාන් එහෙම කළාද?

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් දිස්ත්‍රික් අධිකරණයට පසුගියදා නඩුවක් පැවරුණා. ඒ සුප්‍රකට නිළි ලින්ඩ්සේ ලොහාන්ට එරෙහිවයි.

අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සමාජ ශාලාවක කළමණාකරුවෙකු විසින්. තර් කමල් වන මොහු චෝදනා කර තිබුණේ ලින්ඩ්සේ ලොහාන් තමන්ට පහර දී ක්ෂණිකව රථයක නැගී පලා ගිය බවයි.

දිස්ත්‍රික් අධිකරණය පවසන්නේ අදාල පැමිණිල්ලට අදාලව කිසිම විශ්වාසවන්ත සාක්ෂියක් තමන් වෙත ලැබී නොමැති බවයි. මේ නිසාම අධිකරණය තඊර් කමල් නම් තැනැන්තාගෙන් දැඩිව ප්‍රශ්න කරන ලද අතර පසුව ඔහුගේ ප්‍රකාශ පරස්පර වූ බවයි හොළිවුඩය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අධිකරණය අදාල සිදධිය සිදු වූ ස්ථානයේ වීඩියෝ පට පරීක්ෂා කර ඇති අතර එතුළින් ද සාක්ෂි හමු වී නැති හෙයින් ලින්ඩ්සේ ලොහාන්ට සංතෝෂයෙන් ගෙදර යා හැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

ජෙසිකා සිම්සන් උතුම්ම පදවිය ලබයි

පසුගිය සතියේ ජෙසිකා සිම්සන් මවක් වූ බව හොළිවුඩය ඉහළින්ම වාර්තා කළා. ඒ අනුව ජෙසිකාට ලැබුණේ බිළිඳියක්.

මේ වෙන විටත් ජෙසිකා ඇගේ සැමියා එරික් ජොන්සන් සමඟ එකතු වී ඒ කුඩා බිළිඳියට නමකුත් තබලා. ඇය එතැන් පටන් ‘මැක්ස්වල් ඩෲ’ ලෙසයි හැඳින් වුණේ.

ඒ අනුව ජෙසිකා පවසා තිබෙන්නේ තම අලුත උපන් දරුවා බලා ගැනීමට සැමියා වන එරික් ඉතාම හොඳ සහායක් දෙන බවයි.

‘ඇය හඬන විට එරික් කරන්නේ ඇයව දෝතට ගෙන තුරුලු කර ගන්නා එකයි. පුදුමය කියන්නේ ඇය එවිට හඬන එක නවතන නිසයි’. ජෙසිකා සිම්සන් මාධ්‍යයට එසේ පවසා තිබුණා.

මයිකල් ජැක්සන් යළි විකිණෙයි

මීට වසර කිහිපයකට පෙර පොප් ලෝකයෙන් සදහටම සමුගත් මයිකල් ජැක්සන් ගේ රූපය නවතම ආකාරයකට කරළියට ගෙන ඒම සඳහා වන වෑයමක් හොළිවුඩයෙන් වාර්තා වෙනවා.

මයිකල් ජැක්සන් මෙලෙස භාවිත කරන්නට යන්නේ ලෝ ප්‍රකට සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ‘පෙප්සි’ සමාගමයි. ඔවුන් මේ වන විටත් ජැක්සන්ගේ දේපළ භාරකාරත්වයෙන් ජැක්සන්ගේ රූපය භාවිත කිරීමට අවසර අරන්.

ඒ අනුව ‘පෙප්සි’ හි ලෝක ව්‍යාප්ත අලෙවිය වැඩි කර ගැනීමට ජැක්සන්ගේ රූපය භාවිත කරන්නටයි අර අදින්නෙ. කෙසේ වෙතත් පෙප්සි සමාගම ජැක්සන්ව අළෙවි කිරීමේ ක්‍රියාන්විතය තවම පටන් අරගෙන නැහැ.

මෙසේ ජැක්සන්ව විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී දන්වීම් මෙන්ම පෙප්සි කෑන් සඳහා ඔහුගේ රුව යොදා ගන්නටත් නියමිතයි. එනිසාම පෙප්සි සඳහා හොඳ ප්‍රතිචාර ලැබේ යයි පෙප්සි සමාගම විශ්වාස කරනවා.

මළ ජැක්සන් ඉදිරියටත් කෙසේ විකිණේදැයි කියන්නට තවම කල් වැඩි බවයි අපේ හැඟීම.