මාතා නිර්මාණ පසුබිම

මව් බිමේ හිමිකම් පතා

විශ්වනාත් බුද්ධික කීර්තිසේන නිර්මාණ

කොටි සංවිධානය විසින් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත මුදා හැර තිබූ ත්‍රස්තවාදී ක්‍රියාදාමයත්, ඊට එරෙහිව ආරක්ෂක හමුදා විසින් වරින් වර දියත් කරන ලද ක්‍රියාන්විතයන් හේතුවෙන් පසුගිය තිස් වසරකට අධික කාලයක් තිස්සේ රට තුළ නිර්මාණය වූ යුදමය වාතාවරණය සහිත කාල පරිච්ඡේදය අපගේ ඉතිහාසයේ අඳුරුතම යුගයක් සටහන් කරයි.

මෙවැනි කාල පරිච්ඡේදයන් බොහෝ සිනමාකරුවන් හට තම නිර්මාණ සඳහා වස්තු බීජ සපයන තෝතැන්ක් වන නමුදු අප රටේ මෙම පසුබිම නොවීම කණගාටුවට කරුණකි. යුදමය වාතාවරණය පසුබිම් කරගත් සිනමා කෘති කීපයක් බිහි වූ නමුත් ඒ බොහෝ නිර්මාණ බහුතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට අසමත් විය.

එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ යුද්ධය සම්බන්ධයෙන් එම සිනමා කෘතීන් තුළින් ඉදිරිපත් වූ මතවාදයන් සහ ඒ සම්බන්ධයෙන් බහුතර ශ්‍රී ලාංකිකයින් දැරූ මතවාදයන් අතර වූ පරස්පර විරෝධී භාවයයි.

බොහෝ විට එම සිනමා කෘතීන් තුළින් නිරූපණය කරන ලද්දේ යුද්ධයේ ඇති නිරර්ථක භාවයත්, හමුදා සෙබලුන් යනු විනයක් නැති පිරිසක් බවත්ය. මේ කිසිදු සිනමාකරුකු කොටි සංවිධානයේ ග්‍රහනයට නතුව, අනේකවිධ දුක් කම්කටොලු විඳිමින් අභාග්‍ය සම්පන්න ජීවිත ගත කළ උතුරේ වැසියන් මුහුණ දුන් ජීවන ගැටලු තම නිර්මාණ සඳහා පාදක කර ගන්නට උත්සුක නොවූහ.

එවන් පසුබිමක් තුළ ඇති වූ මේ නිර්මාණ හිඩැස පිරවීමට දැරූ උත්සාහයක ප්‍රතිඵලය ‘මාතා’ චිත්‍රපටයයි.

උතුරේ ජනතාව පසුගිය තිස් වසර පුරාම ජීවත් වූයේ කොටි සංවිධානයේ අත්තනෝමතික තීරණ සහ නියෝග හේතුවෙන් තම බලාපොරොත්තු, අභිලාෂයන් සහ ජීවිත ප්‍රාර්ථනාවන් ඉටු කර ගත නොහැකි, අපේක්ෂා භංගත්වයට පත් අන්ත අසරණ පිරිසක් වශයෙනි.

ඔවුන්ගේ මෙම ජීවන තත්ත්වයත්, එයින් ඔවුන් මුදා ගැනීම සඳහා ආරක්ෂක හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුමත් පසුබිම් කර ගනිමින් නිර්මාණය වූ මාතා චිත්‍රපටයේ තිර නාටකය මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් විසින් රචනා කරන ලද අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විශ්වනාත් බුද්ධික කීර්තිසේන විසිනි.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දරුණු සටන් සිදු වූ පුදුකුඩුඉරිප්පු, වෙල්ලමුල්ලිවයික්කාල්, නන්දිකඩාල් කලපුව, පුදුමාතලන් සහ මුලතිව් මහ වනය ආදී ප්‍රදේශවල සැබෑ සටන් සිදු වූ ස්ථානවලදීම අතිශය දුෂ්කර පාරිසරික තත්ත්වයන් යටතේ රූප ගත කරන ලද ;මම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ අවසන් සටනේ එම යුද පෙරමුණේ සිටි හමුදා සෙබලුන් හාරසියයකට අධික ප්‍රමාණයක් මෙම චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදීමයි. මේ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ලැබුණ අනගි දායකත්වය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉමහත් පිටිවහලක් විය.

හඳුන්වා දෙන නවක නිළියක වූ යශෝධා රාධක්‍රිෂ්ණන් සමඟ දර්ශන් ධර්මරාජ් ප්‍රධාන චරිත නිරූපණය කරන මාතා චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය, මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ජයරත්න, තුමිඳු දොඩන්තැන්න, ධර්මප්‍රිය ඩයස්, රාජා ගනේෂන්, මල්ලිකා කීර්ති, කේ. පවිත්‍රන් ඇතුලු නළු නිළියන් රැසක් සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙති.

HDV තාක්ෂණයෙන EX3 කැමරා තුනක් යොදා රූපගත කළ මෙම චිත්‍රපටයට ඇමරිකානු ජාතික මිල්ටන් කෑම් සමඟ ප්‍රවීණ ශ්‍රීී ලාංකික කැමරා ශිල්පීන් වන ඩොනල්ඩ් කරුණාරත්න සහ කේ. ඒ. ධර්මසේන (නැසී ගිය) කැමරාකරණයෙන් දායකත්වය සැපයීය.

විශේෂ ප්‍රයෝග සහ පිපිරවීම් කටයුතු හොලිවුඩ් සිනමාවේ ඒ පිළිබඳ හසල අත්දැකීම් ඇති ජෝ වෑන් ක්ලයින් සහ ජෝ ඇන්ඩ්‍රියාස් යන ඇමරිකානු ශිල්පීන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු අංශය විසින් සිදු කරන ලදී.

මෙහි තවත් විශේෂත්වයක් වූයේ රූපගත කිරීම් කරන අතරතුරම දෙබස් පටිගත කිරීමයි. නවතම ඩිජිටල් ශබ්ද පටිගත කිරීමේ උපකරණ යොදා ගනිමින් ඇමරිකානු ජාතික ජෝන් ටේලර් මෙහි ශබ්ද පටිගත කිරීමේ ශිල්පියා වශයෙන් කටයුතු කළේය.

මෙහි සංස්කරණ කටයුතු සිදු කරන ලද්දේ යුද චිත්‍රපට සංස්කරණය පිළිබඳ ප්‍රවීණයකු වන කැනේඩියානු ජාතික ස්ටීවන් ෆිලිප්සන් විසිනි.

ශබ්ද සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ ගේ අධීක්ෂණය යටතේ ටීවීටී ආයතනයේ ශබ්දාගාරයේදී සිදු කරනු ලැබූ අතර පරිගණක සජීවිකරණ කටයුතු අධ්‍යක්ෂ විශ්වනාත් බුද්ධික කීර්තිසේන ගේ මෙහෙයවීමෙන් එලිෆන්ට් ඇන්ඩ් මවුස් ආයතනයේදී සිදු කරන ලදී.

වසන්ත විට්ටච්චි වේශ නිරූපණයෙන් ද, ලක්ෂ්මන් ජෝෂප් සේරම් සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වූ මෙහි කලා අධ්‍යක්ෂණය උදයසිරි උපතිස්ස සහ ලයනල් ලියනගේ ගෙනි.

Dolby Digital සහ  DTS තාක්ෂණයෙන් චිත්‍රපටයේ ශබ්ද සංයෝජනය සිදු කරන ලද්දේ ඉන්දියාවේ මුම්බායි හී ෆියෙස්ටා එන්ටටේන්මන්ට් ආයතනය විසිනි.

රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය මුම්බායි හී ප්‍රසාද් චිත්‍රාගාරයේදී සිදු කරන ලදී.

රූ සිනමා ක්‍රියේෂන් හවුස් ඉදිරිපත් කිරීමක් වන මාතා චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ රුවන් ජයසිංහ, සනත් ලංකා රණවීර සහ විජය රත්නායක විසිනි.

සිංහල සිනමාවේ 65 වන සංවත්සරය වෙනුවන් මාතා 2012 ජනවාරි මස 21 සි දිවයින පුරා පිහිටි සී ඊ එල් මණ්ඩලයේ සිනමාහල් 37 ක තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ