2011 2012 බොලිවුඩ්

බොඩිගාඩ් ඉහළම ආදායම් උපයයි

2011 වසර බොලිවුඩයට නරක වසරක් නොවීය. චිත්‍රපට රැසක් වාණිජ අතින් සාර්ථක වූ අතර විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ සිනමා පට කිහිපයක් ද බොලිවුඩයෙන් බිහි විය. එදා මෙදාතුර ඉහළම ආදායම් ඉපැයූ චිත්‍රපට 30 ක ලැයිස්තුවට ඇතුළු වීමට 2011 දී නිර්මාණය වූ චිත්‍රපට පහකට හැකි විය.

ගෙවී ගිය වසරේ චිත්‍රපට රැසක් ජාත්‍යන්තර වශයෙන් ද ජනාදරයට පාත්‍ර වූ අතර ඒවා අතරේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට කිහිපයක් ද වූයේය. බොඩිගාඩ්, රෙඩි, රා.වන්., දොන් – 2, සිංගම්, සින්දගි නා මිලෙගි දොබාරා, මර්ඩර් – 2, දිල්ලි බෙලි හා යමාලා පාග්ලා දීවානා එම චිත්‍රපට ගොන්නේ වෙයි. ඩබල් දමාල්, දෝබි ගාත්, දිල් තෝ බච්චා හායි ජි, නෝ වන් කිල්ඩ් ජෙසිකා, චලෝ දිලි, සහීබ් බිවි ඕර් ගැන්ග්ස්ටර් හා යේහ් සාලි සින්දගී ආදායම් අතින් ද සාර්ථක වූ විචාරක ප්‍රසාදය ද දිනා ගත් සිනමා නිර්මාණ ලෙස හැඳින්වීමට පුළුවන.

බොලිවුඩයේ රජ ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන් රඟපෑ චිත්‍රපට දෙකක් පසුගිය වසරේ තිරගත වූයේය. රාවන් හා දොන් – 2 එම චිත්‍රපට දෙකයි.

තාක්ෂණය ඉහළින්ම උපයෝගී කරගෙන තිබූ මෙම චිත්‍රපට දෙක ආදායම් අතින් සාර්ථක වුවත් විචාරක ප්‍රසාදය කිසිසේත්ම ඒවාට හිමි වූයේ නැත. විශේෂයෙන්ම දොන් චිත්‍රපට පෙළේ දෙවැන්න පළමුවැන්නට වඩා බෙහෙවින්ම අසාර්ථක වූයේය.

2011 දෙසැම්බර් 29 දා වන විට ඉහළම ආදායම් ඉපැයූ බොලිවුඩ් චිත්‍රපටය වූයේ බොඩිගාඩ්ය. සල්මන් ඛාන් සහ කරිනා කපූර් ප්‍රධාන චරිත රඟපෑ එම සිනමා පටය උපයා තිබූ ආදායම රුපියල් කෝටි 141 ක් වූයේය.

වසර ගණනාවකට පසු බොලිවුඩයෙන් රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම ලැබූ චිත්‍රපට පහක් වාර්තා වූයේ 2011 වසරේදීය.

බොඩිගාඩ්, රා.වන්, සින්දගී නා මිලෙගි, දොබාරා සහ දිල්ලි බෙලි එම චිත්‍රපට පහ වූයේය. මර්ඩර් – 2 චිත්‍රපටය ද රුපියල් කෝටි 100 ක ආදායම් වාර්තාවට බෙහෙවින් ආසන්න විය.

2011 වසරේ ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට දහයේ ආදායම්වල එකතුව රුපියල් කෝටි 891.47 ක් විය. එය 2010 ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට දහයේ ආදායමට වඩා 21.27% ක ඉහළ යාමකි.

තිරගත වූ පළමු දිනයේ ඉපැයූ ඉහළම ආදායම පිළිබඳ වාර්තාවට හිමිකම් කීවේ දබාන්ග් චිත්‍රපටයයි. 2011 දී එම වාර්තාව බිඳ දමමින් අලුත් වාර්තාවක් තැබීමට බොඩිගාඩ් චිත්‍රපටය සමත් වූයේය. බොඩිගාඩ් තිරගත වූ මුල් දිනයේ රුපියල් කෝටි 21.25 ක් ඉපැයූ අතර එම සති අන්තයේ දින දෙකේ ඉපැයූ ආදායම රුපියල් කෝටි 85.50 ක් වූයේය.

තිරගත වූ පළමු සතිය ඇතුළත රුපියල් කෝටි 109.47 ක් ඉපැයීමට ‘බොඩිගාඩ්’ චිත්‍රපටය සමත් වූයේය. 2009 දී තිරගත වූ ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයෙන් පසු ඉහළම දෙවැනි ආදායම් වාර්තා තැබුවේ ද එම චිත්‍රපටයයි. සල්මන් ඛාන් – කරිනා කපූර් බොලිවුඩයේ වඩාත් සාර්ථකම නළු නිළි යුවළ බවට දැන් පත්ව තිබේ. ඒ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට තුනක්ම එක පෙළට රුපියල් කෝටි සියයේ සීමාව ඉක්මවා ආදායම් ඉපැයූ හෙයිනි.

2011 සල්මන් ඛාන් ගේ සාර්ථකත්වය විහිදා දැක් වූ වසරක් ලෙස හැඳින්වීම වරදක් නැත. කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් රඟපෑ චිත්‍රපට දෙක වූ රා.වන් හා දොන් - 2 අභිබවා සල්මන් රඟපෑ බොඩිගාඩ් හා රෙඩි යන චිත්‍රපට දෙකම රුපියල් කෝටි 100 ඉක්මවා බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය.

රෙඩි රුපියල් කෝටි 121 ක් උපයා බොලිවුඩයේ එදා මෙදාතුර ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට ලැයිස්තුවේ සිවු වැනි තැනට ආ අතර, පස් වැනි තැනට පැමිණියේ රුපියල් කෝටි 114 ක් ඉපැයූ රා.වන්ය.

2011 දී වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට හතරකම ප්‍රධාන නිළිය වූයේ කරීනා කපූර්ය. තවමත් බොලිවුඩයේ නිළි රැජන ලෙස හැඳින්වෙන රානි මුඛර්ජිට කරීනාගෙන් එල්ල වෙමින් පවතින්නේ ප්‍රබල අභියෝගයකි. කරීනාට පෙර බොලිවුඩ් ඉතිහාසයේ එක් වසරක් ඇතුළත වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට හතරක රඟපෑ එකම නිළිය හේමා මාලිනීය.

සිංගම් රුපියල් කෝටි 97.75 ක් උපයමින් එදා මෙදා තුර ඉහළම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවේ අටවැනි ස්ථානයට පැමිණියේය. එය අජේ දේව්ගන් ගේ සිනමා ජීවිතයේ ඉහළම සාර්ථකත්වය ලැබූ චිත්‍රපටය ද වෙයි.

2012 වසර බොලිවුඩය ආරම්භ වූයේ අබ්බාස් - මුස්තාන්ගේ ‘ප්ලේයර්ස්’ චිත්‍රපටය තිරගත වීමත් සමඟිනි. අභිෂේක් බච්චන් හා සෝනම් කපූර් එහි ප්‍රධාන චරිත රඟපාති. ත්‍රාසය පිරි ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ‘ප්ලේයර්ස්’ හැඳින්වීමට පුළුවන. හෙට (13) බොලිවුඩ් චිත්‍රපට හතරක්ම ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. හරිදේ ෂෙට්ටි ගේ ‘චාලිස් චෞරාසි’, සමීර් කාරුක් ගේ ‘චාර් දින් කි චාන්දනි’ ජතින්දර් බේඩි ගේ Qගොස්ට්’ හා අනීස් බස්මී ගේ ‘ඉට්ස් මයි ලයිෆ්’ එම චිත්‍රපට හතරයි.

බොලිවුඩය බොහෝ බලාපොරොත්තු රඳවා ගෙන සිටින චිත්‍රපටයක ප්‍රදර්ශනය ඇරඹෙන්නේ මෙම මස 26 දාය. ඒ කරන් මල්හෝත්‍රා ගේ ‘අග්නීපාත්’ ය. එය 1990 දී ප්‍රදර්ශනය වූ එනමින්ම වූ මුකුල් ආනන්ද් ගේ චිත්‍රපටයක නැවත නිෂ්පාදනයකි.

මුකුල් ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ අමිතාබ් භච්චන් සහ මිථුන් චක්‍රබෝතිය. එදා අමිතාබ් හා මිථුන් රඟපෑ චරිතවලට මෙවර පණ පොවන්නේ බොලිවුඩයේ දැවැන්තයන් වූ රිතික් රොෂාන් සහ සංජේ දත්ය. ප්‍රියංකා චොප්රා එහි ප්‍රධාන නිළිය වන අතර රිෂි කපූර් ද එහි චරිතයක් රඟපායි.

මේ වසරේ තිරගතවීමට නියමිත සිනමා පට අතරින් හයකම ප්‍රධාන චරිත රඟපා ඇත්තේ ආක්ෂේ කුමාර්ය. රෞමි ජෙෆ‍්‍රි ගේ ‘ගාලි ගාලි මේන් චෝර්’, සජීඩ් ඛාන් ගේ ‘හවුස් ෆුල් - 2’, ප්‍රභූ දේවා ගේ ‘රෞඩි රාතෝර්’ මිලන් ලුත්රියා ගේ ‘වන්ස් අපෝන ටයිම් ඉන් මුම්බායි – 2’, ෂිරිෂ් කුන්දර් ගේ ‘ජෝකර්’ හා ආර්. මොහාන් ගේ ‘කිලාඩි 786’ එම චිත්‍රපට හය වෙයි.

ෂාරුක් ඛාන් රඟන එකම චිත්‍රපටයක් හෝ 2012 දී තිරගත වීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ව නොතිබීම විශේෂ කාරණයකි. එසේ වුව 2012 දී තිරගත වීමට නියමිත මෙයට වසර ගණනාවකට පෙර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත් කුච් කුච් හෝතා හෛ සිනමාපටය ඇසුරින් නිර්මාණය වන ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයට ඔහු හඬ සැපයීමට නියමිතය.

ඒ හැර යාෂ් චොප්රා ගේ තවමත් නමක් තබා නැති අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇත්තේද ෂාරුක්ය. ඓශ් රඟන චිත්‍රපට එකක්වත් 2012 දී තිරගත නොවේ.

පසුගිය වසරේ මහත් සාර්ථකත්වයක් ලැබූ සල්මන් ඛාන් රඟන චිත්‍රපට දෙකක් මේ වසරේ තිරගත වෙයි. ඉන් පළමුවැන්න අගෝස්තු 10 දා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත කබීර් ඛාන් ගේ ‘ඒක් තා ටයිගර්’ ය. එහි සල්මන් හා ප්‍රධාන චරිතය රඟපාන්නී කත්‍රිනා කායිෆ්ය. අර්බාස් ඛාන් ගේ දබාන්ග් – 2 ලබන දෙසැම්බරයේදී තිරගත වෙයි. එහි සල්මන් සමඟ ප්‍රධාන චරිත රඟපාන්නේ සෝනක්ෂි සිංහය.

සෝනක්ෂි සිංහ රඟන චිත්‍රපට පහක් මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. ‘ඒක් තා ටයිගර්’, ‘වන්ස් අපෝන ටයිම් ඉන් මුම්බායි 2’, ‘ජෝකර්’, ‘සන් ඔෆ් සර්දාර්’ හා ‘රෞඩි රතෝර්’ එම චිත්‍රපට පහ වෙයි.

2011 දී සාර්ථකම නිළිය වූ කරීනා කපූර් රඟන චිත්‍රපට හතරක් නැරඹීමට ඔබට මේ වසරේදී හැකි වනු ඇත. ෂකූන් භත්‍රා ගේ ‘ඒක් මේන් ඕර් එත්තු, ශ්‍රී රාම් රාඝවන්ගේ ‘ඒජන්ට්’ රීමා කග්ලිගේ ‘තලාෂ්’ හා මධූර් භන්දර්කාර් ගේ ‘හෙරොයින්’ එම චිත්‍රපට හතර වෙයි.

‘ඒජන්ට්’ චිත්‍රපටයේ කරීනා රඟපාන්නේ සිය පෙම්වතා වූ සායිෆ් අලි ඛාන් සමඟිනි. කරීනා ‘තලාෂ්’ චිත්‍රපටයේ රඟපාන්නේ අමීර් ඛාන් සහ බොලිවුඩ් නිළි රැජන කිරුළට තමන් හා තරග වදින රානි මුඛර්ජි සමඟිනි. රානි රඟන චිත්‍රපට අතරින් 2012 දී තිරගත වීමට නියමිතව ඇත්තේ ‘තලාෂ්’ පමණි.

ප්‍රියංකා චොප්රා රඟන චිත්‍රපට තුනක් මේ වසරේ තිරගත වීමට නියමිතය. ‘අග්නීපාත්’, අනුරාග් බාසු ගේ ‘බාර්ෆී’ හා කුනාල් කොහ්ලි ගේ ‘තෙරි මෙරි කහානි’ එම චිත්‍රපට තුන වෙයි. ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය රූ රැජන ජැකලයින් ෆර්නැන්ඩස් රඟන රාස් - 3 තිරගත වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 31 දාය.

මේ වසරේ නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත බොලිවුඩ් චිත්‍රපට අතුරින් ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ‘ඩූම්’ චිත්‍රපට පෙළේ තෙවැන්නටය. විජේ ක්‍රිෂ්ණ ආචාර්ය නිර්මාණය කරන එහි අමීර්, කත්‍රිනා සහ අභිෂේක් බච්චන් රඟපෑමට නියමිත අතර නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ෂාරුක් ඛාන් ද මෙහි චරිතයක් නිරූපණය කිරීමට නියමිත බවය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ