ස්ටාර් තෑගිවලට මොකද කළේ?

සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, කොමඩි ස්ටාර්, ඩාන්සිං ස්ටාර්, ෂැඩෝ ස්ටාර්, රියල් ස්ටාර් . . . එකී මෙකී නොකී ස්ටාර් තරග අඩුවක් නොවී ගෙවුණු වසර කිහිපය තුළ ටෙලිවිෂණයේ කඩුල්ල පැන අප නිවසට පැමිණියේය.

එම රියැලිටි වැඩසටහන් තුළින් කලා අඹරෙහි වළා වියන් විවර කොට පායා ආ තරු එකිනෙක කරට කර හැපෙමින් ජනප්‍රිය වූයේ අසීමිත වරප්‍රසාද ද හිමි කර ගනිමිනි.

සමහරුනට දරා ගත නොහැකි ත්‍යාග ද එමඟින් පුද කළේ මාධ්‍ය නාලිකා ද එකිනෙකා හා තරඟ වදිමිනි.

අපේ මේ වෑයම ස්ටාර් කිරුළ පැළඳි පිරිසගේ තෑගිවලට මොකද වුණේ යන්න සොයා බැලීමය.

* සල්ලිවලින් ගෙයක් හැදුවා

අජිත් බණ්ඩාර

(සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සුපිරි තරුව)

විප්ලවීය රියැලිටි තරග ඉතිහාසය ඇරැඹෙන තැන පළමු සුපිරි තරුව වූ ඔබ අද පේන්නත් නැහැ?

අලුත් නිර්මාණයක් නොමැතිව නිකම්ම මිනිසුන් අතරට එන්න බැහැනේ. මේ දවස්වල වීඩියෝ එකක් කරනවා. ඒකත් එක්ක අජිත් බණ්ඩාර ආයෙත් එනවා.

තරගය දිනලා ලැබුණු තෑගි මොනවාද?

මුදලින් ලක්ෂ දහයක් ලැබුණා. මගේ ඇල්බම් එක සිරසෙන් කරලා දුන්නා.

මුදල් ත්‍යාගයෙන් මොනවද කළේ?

ගෙයක් හැදුවා. ඉතිරි ටික ගිණුමක දැම්මා.

දැන් සුපුරුදු වඩු කරමාන්තය අතහැරලාද?

ඔව්. දැන් මගේ ජීවිතය සංගීතය.


* අහන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්ද?

ප්‍රදීප් රංගන

(දෙවන අදියරේ සුපිරි තරුව)

දොස්තර පුතා සමඟ තරග වැදි සුරේන්ද්‍ර අද බොහෝ දුර ඇවිත්?

ඒක නම් ඇත්ත. මම සතුටුයි යාළුවා ගොඩක් දුර ආවට.

තරගය දිනලා මොනවද ලැබුණේ?

වාහනයක්. මං හිතන්නේ ඒකේ වටිනාකම ලක්ෂ තිහක් විතර. ඒ වගේම මුදලින් ලක්ෂ දහයක්.

වාහනය තවමත් ඔබ සතුද?

ඔව්.

මුදල්?

ඒවා මගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කළා. ඇත්තටම ඔය කොහෙන්ද කතා කරන්නේ.

සරසවිය පත්තරෙන් . . . ඇයි?

නෑ මං හිතුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කියලා. මේ වගේ ප්‍රශ්නයක් මගෙන් කිසිම පත්තරේකින් අහලා නැහැ.


* මගේ වාහනය හොරෙන් විකුණලා

ශානිකා මධුමාලි

(තෙවැනි අදියරේ සුපිරි තරුව)

වයසින් ඒතරම් මෝරා නොමැති කාලයක ඔබට ලැබුණු සුපිරි තරු කිරුළ කොහොමද දරා ගත්තේ?

මට ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

ඒ කිරුළත් එක්ක ලැබුණු ත්‍යාග?

ලක්ෂ 45 ක වාහනයක්, මුදලින් ලක්ෂ 20 ක්, ස්ට්‍රෝං ඇන්ඩ් ස්ට්‍රිං එකෙන් ලක්ෂ 1 1/2 ක වවුචරයක්.

කෝ දැන් ඒවා?

ඒ වාහනය මට ලොකු වැඩියි. ඒක හින්දා මම කුරුණෑගල සේල් එකකට විකුණන්න බාර කළා.

ඒ අය මං විදෙස් ප්‍රසංගයකට සහභාගි වෙනකම් ඉඳලා මගේ හොර අත්සනක් ද භාවිතා කරමින් ඒක මටත් හොරෙන් විකුණලා.

සිරස ආයතනයේ මැදිහත්වීමෙන් නීති මගට ගොස් මට වාහනයේ වටිනාකමින් අඩකටත් වඩා අඩුවෙන් මුදලක් ඒ සේල් එකෙන් ගන්න පුළුවන් වුණා.

තරගයෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ගෙන මම ගමේ බුදු මැදුරක් හදන්න උත්සාහ කළා. ඒත් ගම්වාසීන් මට ඒක කරන්න දුන්නේ නැහැ.

ඒක හින්දා මං ගමේ මොන්ටිසෝරියක් හැදුවා. ඉතුරු මුදල්වලින් මං අසරණ අයට තවමත් උදවු කරනවා.


* තෑගි මා ගාව

තිසර චානක

(හතරවැනි අදියරේ සුපිරි තරුව)

අනිත් අදියරයන්හී සුපිරි තරු තරම් ඔබ ජනප්‍රිය වූයේ නැහැ කියලා කවුරු හරි කිව්වොත්?

වෙන්න පුළුවන්. රියැලිටි තරග බලලා බලලා මිනිස්සු දැන් හෙම්බත් වෙලා ඉන්නේ.

හිමි වෙච්ච තෑගි බෝග ගැන කතා කළොත්?

ලක්ෂ 40 ක විතර කාර් එකක්, මුදලින් ලක්ෂ 10 ක්. මෝටර් බයික් දෙකක්.

කෝ ඒ තෑගි?

බයික් දෙකෙන් එකක් යාළුවෙකුට විකුණුවා. අනිත් තෑගි සියල්ලම මගේ ගාව.


* අම්මාගේ ශල්‍ය කර්මයට වැය කළා

උදේශ් ඉන්දුල

(දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ සිහින තරුව)

සිහින තරුව වී කාලාන්තරයක් ගත වුණත් ඔබේ ගමන හරිම හිමින් සිදු වන්නේ. ඇයි ඒ?

වේගවත් වෙලා සංගීත ජීවිතේ අවුල් වෙයි කියලා බයයි.

ඔබට ලැබුණු ත්‍යාග ගැන මතක් කළොත්?

ලක්ෂ 28 ක කාර් එකක්, මුදලින් ලක්ෂ 16 ක්.

කෝ දැන් ඒවා?

කාර් එක තවම මා සතුයි. මං සිහින තරුව වී කෙටි කලකින් මගේ අම්මගේ හිසෙහි ඔපරේෂන් එකක් කරන්න වුණා. මුලු ලක්ෂ 16 ම ඊට මං වැය කෙරුවා. මේ ඒ පිළිබඳ පුවත්පතකට කළ පළමු හෙළිදරව්වයි.


* තෑගි ළඟ - මුදල් බැංකුවේ

උපේඛා නිර්මාණි

(දෙරණ ඩ්‍රීම්ස්ටාර් දෙවැනි අදියරේ සිහින තරුව)

ඔබේ පියා වූ චන්දු ද සිල්වා (ජොලි සීයා) ගිය මාවතේ යන්න තීරණය කළ හේතුව පැවසුවොත්?

බලෙන් ඒ මාවතේ ගියේ නැහැ. මාව ඊට ඉබේම තල්ලු වුණා. ඉන් සිහින තරු තරගය මට ඉනිමගක් වුණා ඉහළට යන්න.

ලැබුණු ත්‍යාග මොනවාද?

හොරණින් පර්චස් 10 ක ඉඩමක්, ලක්ෂ 25ක කාර් එකක්, මුදලින් ලක්ෂ 10 ක්.

ඒවා?

සියල්ලම තවම මා සතුයි. මුදල් බැංකුවේ දැම්මා.

ප්‍රසංග වේදිකාවේදී වැඩිපුරම ඇරැයුම් ලැබෙන්නේ ගී ගයන්නද, විසිල් කරන්නද?

දෙකටම.


* පවුලේ ප්‍රයෝජනයට

කෙෂාන් ශෂින්ද්‍ර

(තෙවන අදියරේ සුපිරි තරුව)

තවමත් ඔබේ ජනප්‍රියත්වයේ උණුසුම තියනවාද?

ම් . . . මං හිතන්නේ ඔව්.

ලැබුණු ත්‍යාග මොනවාද?

වාහනයක්, ලක්ෂ විස්සක් සහ ඉඩමක්.

වාහනයේ වටිනාකම?

ඒක කියන්න අවශ්‍ය නැහැනෙ.

තෑගි දැන් කෝ?

එවා ඔක්කෝම පවුලේ ප්‍රයෝජනයට මේ විටත් ගන්නවා.


* අනවශ්‍ය ප්‍රශ්නයක්

අජිත් වීරසිංහ

(මෙගා ස්ටාර්)

අජිත් , ජනප්‍රිය වුණේ මෙගා ස්ටාර් හින්ද නේද?

ඒ කතාව මං පිළිගන්නවා.

ගෙයක් සහ වාහනයක් නේද ත්‍යාග වශයෙන් ලැබුණේ?

ඔව්.

ඒවාහි වටිනාකම කියන්න පුළුවන්ද?

මං හිතන්නේ ඔබ ඇහැව්වේ අනවශ්‍ය ප්‍රශ්නයක්.

කෝ ඒවා?

මගේ ළඟ තියනවා.

ජනප්‍රිය වන්නද මෙගා ස්ටාර් සඳහා දායක වුණේ?

අනිවාර්යයෙන්ම.


* කුලියට දුන්නා

ප්‍රසාද් ගලප්පත්ති

(ෂැඩෝ ස්ටාර්)

වෙන කෙනෙකු අනුකරණය කරලා තරුවක් වුණ ඔබ තවමත් ඒ අනුකරණ චරිතයෙන් මිදී නැති බවක් පෙනෙනවා?

වෙන්න ඇති. ඒත් දැන් මං තනි ගමනක් යන්නේ.

ෂැඩෝ ස්ටාර්ට හිමි වෙච්ච ත්‍යාග?

මාලබේ නගරයෙන් ගෙයක් ලැබුණා.

එච්චරද?

ඔව්.

දැන් පදිංචිය එහෙද?

කාලයක් හිටියා. ඒත් මගේ ළමයි යන්නේ මහරගම පාසලකට හින්දා ඒ ගෙය කුලියට දීලා ආයේ මහරගම පිහිටි මගේ සුපුරුදු නිවසටම ආවා.


* විකුණලා ණය ගෙව්වා

නන්දන හෙට්ටිආරච්චි

(කොමඩි ස්ටාර්)

තරුවක් වුණේ කොමඩි ස්ටාර් නිසා වුණත් කාලයක් ඔබ ක්ෂේත්‍රයේ හිටියා නේද?

ඔව්. එත් මාව කොමඩි ස්ටාර් වෙනකම්ම කවුරුවත් දැනන් හිටියේ නැහැ.

ලැබුණු තෑගි?

කාර් එකක්.

එතකෙට මුදල්?

මොන සල්ලි ද මල්ලි. ඊට වඩා කොමඩි ස්ටාර් වෙලා ලැබුණු පබ්ලිසිටියම මට ඇතිනේ.

කෝ කාර් එක?

මං කොමඩි ස්ටාර් වෙනකම්ම තරගයට සහභාගී වුණේ ණය වෙවී. කාර් එක විකුණලා ඒ ණය බේරුවා.


* ආර්ථිකයට බරක් වුණා

දුෂ්‍යන්ත් වීරමන්

(සිරස ඩාන්සිං ස්ටාර් පළමු අදියරේ තරුව)

ගායනයෙන් වැඩිපුර මිනිසුන් හඳුනා ගත් ඔබව නර්ථනයෙන් තරුවක් වීම ගැන රසිකයෝ මොකද අද කියන්නේ?

ඒ අය මගේ නර්ථනයට පුදුම වුණා. අදටත් එසේමයි.

ලැබුණු ත්‍යාගවලට සතුටුද?

සත්තකින්ම මට මිලියන හයක ජීප් එකක් ලැබුණා.

දැන් ඒක කෝ?

තෑග්ග ලැබුණට සතුටුයි. ඒත් ඒවගේ ලොකු තෑග්ගක් මට පරිපාලය කරන්න අමාරුයි. වාහනයට පෙට්‍රල් ගහන්න අධික මුදලක් වැය වෙනවා. ඒක මගේ ආර්ථිකයට දරන්න බැහැ. ඒක හින්දා එක විකුණුවා.


* ලැබුණත් නොලැබුනා වගේ

අකලංක ගනේගම

(දෙවන අදියරේ නර්ථන තරුව)

ක්‍රිකට් නොගහ නර්ථනයේ යෙදුනා නම් හොඳ නැද්ද?

එහෙම කියන්න එපා. හැමදාම ක්‍රිකට් ගහන්න බැහැනෙ. ඒත් වයස අවුරුදු 50 දි වුණත් නටන්න පුළුන්නේ.

නර්ථන තරුව වෙලා ලැබුණු ත්‍යාග මොනවාද?

මුදලින් ලක්ෂ 10 ක් විතරයි ලැබුණේ.

ඒක මදි වගේ?

එහෙම නෙවේ, තරගාවලිය ඇරැඹියේ අවසන් තරගකරුවාට වාහනයක් දෙනවා කියලා.

දැන් කෝ ලැබුණු මුදල්?

ඩාන්සිං ස්ටාර් වෙද්දිම මට ලක්ෂ දහයට වඩා වැඩි මුදලක් පෞද්ගලිකව වියදම් වෙලා තිබුණා. ඒක හින්දා තරගයෙන් මුදලක් ලැබුණත් නොලැබුණා වගේ.


* ජීවිතේටම මං ළඟ

අනූෂා දමයන්ති

(ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර් ඩාන්ස්)

ඔබට විරුදාවළියක් තියනවා?

ඒ මොකක්ද?

නර්ථනයේ රැජින කියලා.

ඒක හොඳයි.

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වෙලා ලැබුණු තෑග්ගෙන් වගෙයි තවමත් ගමන් බිමන් යන්නේ?

ඔව්. මං ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ. එම වාහනය මං මගේ ඹ්ෂත කාලය පුරා ළඟ තියාගෙන හිඳිනවා.

කවුරුවත් ලංසුවක් කියලා ඒක ඉල්ලුවේ නැද්ද?

අපෝ ගොඩක් දෙනෙක් වාහනයේ වටිනාකමටත් වඩා වැඩි මුදලක් ගෙවා ගන්න ඉදිරිපත් වුණා. ඒත් ඒක ‘නෝ සේල්’.


* වටිනාකම මතක නැහැ

තුෂාර ධනංජය

(රූපවාහිනියේ ශ්‍රී ලංකන් ලයිෆ් හි තරුව)

අන් රියැලිටි ගායන තරු අතර ඔබට හිමි වූයේ සැලකිය යුතු නොවන ප්‍රමාණයක ජනප්‍රියත්වයක් නේද?

ඒක පිළිගන්න අමාරුයි. මං එහෙම කියන්නේ රියැලිටි තරගයකින් ලංකාවේ කෙනකු ලැබූ වැඩිම එස්. එම්. එස්. සංඛ්‍යාවක් ලැබුණේ මට නිසා.

ලැබුණු ත්‍යාග?

කාර් එකක්. එහි වටිනාකම මට මතක නැහැ.

ඒක තවමත් ඔබ සතුද?

ඔව්.


* අක්කාට ෆෝන් එක දුන්නා

තිස්ස ජයවර්ධන

(ස්වාධීන රූපවාහිනියේ ස්වර්ණ සම්මානහි ජනප්‍රියම හා හොඳම ගායන තරුව)

තිස්ස කෝ?

නිහඬව පර්යේෂණයේ යෙදෙමින් ගීත නිර්මාණයේ යෙදෙනවා.

ස්වර්ණ තරුව වෙලා ලැබුණු ත්‍යාග මොනවාද?

මුදලින් ලක්ෂ 4 යි, ජංගම දුරකතන දෙකයි, ටෙලිවිෂන් දෙකයි.

කෝ දැන් ඒවා?

සල්ලි මගේ සංගීත කටයුතු වෙනුවෙන් වියදම් කළා. ටී. වී. දෙක මගේ ගමේ ගෙදර. ෆෝන් දෙකෙන් එකක් මගේ අක්කට දුන්නා.


* දැන් පදිංචිය එහේ

ඩේමියන් ප්‍රනාන්දු

(රණවිරු රියල් ස්ටාර් තරුව)

ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න නැත්තේ ඇයි?

අවසරය ලැබෙන ප්‍රසංගවලට පමණයි මං සහභාගී වන්නේ.

මොනවද රියල් ස්ටාර් වෙලා හිමි වූ ත්‍යාග?

බත්තරමුල්ලෙන් නිවසක්.

දැනට එහෙද පදිංචිය?

ඔව්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ