කරළිය

14 වැනිදා

ඇන්ටන් ජූඩ්ගේ ‘සකිසඳ මඬල’ මීරිගම යොවුන් රඟහලේදී.

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ මහරගම යොවුන් රඟහලේ.

සුනිල් ශ්‍රී ගේ ‘බූවල්ලා’ දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ සමරු රඟහලේ.

16 වැනිදා

ජය ශ්‍රී චන්ද්‍රජිත් ගේ ‘උමතුසංවරුසාව’ ලුම්බිණි රඟහලේ.

17 වැනිදා

යශෝධරා සරච්චන්ද්‍ර සමඟ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී.


ජාතික නාට්‍ය උළෙල 17 ද

නව මුහුණුවර ගැන ශ්‍රියන්තගේ අදහස්

ගිය වසරෙහි දෙසැම්බර් මස පවත්වන්නට යෙදුණු ජාතික නාට්‍ය උළෙල පැවැත් වෙන්නේ 2012 නව වසරේයි. ජනවාරි 17 වැනිදා ආරම්භ කරන ජාතික නාට්‍ය උළෙල මේ මස 31 වැනිදා දක්වා වේදිකා ගත වෙනවා. මෙවර ජාතික නාට්‍ය උළෙල අන් උළෙලයන්ට වඩා නව මුහුණුවරක් අරගෙනද? මේ ගැන දැනගන්න අපි රාජ්‍ය නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති වගේම අපේ ආදරණීය රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ට කතා කළා.

‘ජනවාරි 17 වැනිදා සිට 30 වැනිදා දක්වා දිනපතාම පස්වරු 6.30 ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැත්වෙන්නේ ගිය වසරෙහි පවත් වන්නට යෙදුණු ජාතික නාට්‍ය උළෙලේ අවසාන වටයයි. මෙවර ජාතික නාට්‍ය උළෙලට දිගු නට්‍ය 07 ක්, කෙටි නාට්‍ය 24 ක් හා ආරාධිත නාට්‍ය 2 ක් ඇතුළත්.

මෙවර ජාතික නාට්‍ය උළෙලේ තිබෙන විශේෂත්වය වෙන්නේ කෙටි නාට්‍ය සඳහා දමිළ කෙටි නාට්‍යත් වේදිකා ගතවීමයි. දමිළ කෙටි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක්. ඒ සඳහා ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂාගාරයට හුරු කිරීම බොහොම වැදගත් කාරණයක් ලෙසයි මා දකින්නේ.

ඒ සඳහා අපි පුංචි උපක්‍රමයක් භාවිත කළා. ඒ සිංහල කෙටි නාට්‍ය වේදිකා ගත වන අතර දමිළ වේදිකා නාට්‍යත් වේදිකා ගත කිරීමයි. මෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂීත්වයක් ලෙස මා දකින්නේ තරුණ නාට්‍යකරුවන් වැඩි පිරිසකගේ වේදිකා ආගමනයයි. කුසලතා පූර්ණ තරුණ නාට්‍යකරවෝ වගේම ප්‍රවීණ නාට්‍යකරුවොත් මෙහි රඟපානවා.

ජනවාරි 17 වැනිදා ජාතික නාට්‍ය උළෙල ආරම්භ වෙන්නේ දිගු නාට්‍ය පෙළකින්. ප්‍රියංකර රත්නායකගේ ‘අද වගේ දවසක ඇන්ටිගනී’, 18 වැනිදා හේරත් වනින්ද්‍රසිංහගේ ‘ගුත්තිලය’ වැනි නාට්‍ය වේදිකා ගත වෙනවා. 2012 වසරෙහි පැවැත්වෙන ජාතික නාට්‍ය උළෙල මෙම වසරෙහිම පවත්වන්නට අපි කටයුතු සූදානම් කරගෙන යන බව කියන්නේ සතුටින්.’


රුක්මණී සමරු ගී 15 දා

රුක්මණී දේවියගේ 89 වන ජන්ම දිනය සිහි කරමින් පැවැත්වෙන ‘රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය’ ජනවාරි 15 වැනිදා විජේරාම පාරේ සව්සිරිපායේ ශ්‍රවණාගාරයේදී පස්වරු 2.00 ට පැවැත්වේ.

අයිරින් ලියනගේ, කාංචන මාලා මහවිතාන, නෙළුම් කළුබෝවිල, සිරිමා ඇනස්ටා මර්සලින්, එඩ්වඩ් පෙරේරා, ඇන්ටන් වේවැල්දෙණිය, චිත්‍රා කාන්ති, ශ්‍රීමා රංජනී,

චන්ද්‍රසිරි ඉඹුලාන ලියනආරච්චි, වින්ද්‍යා කුමාරි, ඒ. පී. ජයසූරිය, ශ්‍රියානි මල්ලිකා, සුසිල් වික්‍රමසූරිය, චන්ද්‍රා ගම්හේවා, මාලනී මලවිආරච්චි, රංජනී විජයසුන්දර, බැසිල් කොල්ලඹුනේ, රෝස් පෙරේරා, සුදර්ශනී පෙරේරා, රේනුකා පෙරේරා, සරෝජනී කවිරත්න යන ශිල්පීහු එදිනට රුක්මණී දේවියගේ ගී ගයති.

රුක්මණී දේවි අනුස්මරණ සංගමය 24 වැනි වරටත් ඉදිරිපත් කරන මේ සමරු ගී ප්‍රසංගය සංගීතවත් කරන්නේ ස්ටැන්ලි ලිියනගේයි.

කථනය තිසංක ඉරෝෂන ගමගේයි. හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සංවිධානය කරයි.


ඇන්කොන්ඩා ඇරැඹුණ

ප්‍රසිද්ධ වේදිකාවට ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක් හඳුන්වා දුන් අසෝක සෙනරත් මුදලිිගේ රචනා කොට නිෂ්පාදනය කරන ‘ඇන්කොන්ඩා’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණ.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතායි. රින්ස්ලි වීරරත්න, දොන් ගයි, උපතිස්ස බාලසූරිය, රෙකිස් හැමිල්ටන්, මහින්ද ශ්‍රී උපුල්, සමන් ඒකනායක, සුමිත් සුරංග, ප්‍රදීප් රාජපක්ෂ, සරෝජනී කවිරත්න ‘ඇන්කොණන්ඩා’ හි නළු නිළි පිිරිසයි. අංග රචනයෙන් කුමාර ගලහිටියාව සහභාගි වේ.


අවුලක් නෑ මුහුරත් උළෙල

‘මැක්කෝ’ නාට්‍යය වේදිකාවට ගෙන ආ සුමනතිලක වීරසූරියගේ ‘අවුලක් නෑ’ නවතම වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී පැවැත්විණ.

මෙහි ගාමිණී සමරකෝන්, නිමල් යටිවැල්ල ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.


කර්නල් කුඩලිගම ස්වයං චරිතාපදානය එළි දකී

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන කර්නල් වී. එස්. කුඩලිගම ලියූ ‘ස්වයං චරිතාපදානය – ආනන්දයීය මතක සටහන්’ ග්‍රන්ථය මෙම මස 18 වැනිදා බදාදා පස්වරු 4.00 ට කොළඹ 10 ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී දොරට වඩී.

මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

දිවියාගහ යසස්සී නා හිමි, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය චන්ද්‍රා ගුණවර්ධන, තිලක් කරුණාරත්න, වත්මන් ආනන්ද විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන යන විද්වත්හු මෙහි දෙසුම් පවත්වති.


බෞද්ධ කාන්තා විද්‍යාලයීය විවිධ ප්‍රසංගය දා ...

බෞද්ධ කාන්තා විද්‍යාලයේ ළමුන් ඉදිරිපත් කළ විවිධ ප්‍රසංගය ගුරුවරුන්, මව්පියන් හා ළමුන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය වේදිකාවේදී පැවැත්විණ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ විශාරද එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී පීරිස් දෙපළව දරුවන් විසින් පිළි ගන්නා අයුරුයි.


සිංහල චිත්‍රපට සහ මුල් යුගයේ පුරෝගාමියෝ දොරට වඩී

සුනිල් ලීනස් ලියූ ‘සිංහල චිත්‍රපට සහ මුල් යුගයේ පුරෝගාමියෝ’ කෘතිය පසුගියදා දොරට වැඩිණ. සිංහල චිත්‍රපට සහ මුල් යුගයේ සිනමාවේ සිහිවටන ගැන කියන්නට අදහස් කළ කෘතියකි.


ධර්මන් ගේ මාධ්‍ය නාමාවලිය දොරට වඩී

ලංකාවේ ජනප්‍රියතම හා ප්‍රමුඛතම මාධ්‍ය නාමාවලියක් වන ධර්මන්ගේ මාධ්‍ය නාමාවලියේ 10 වැනි සංස්කරණය ඉකුත්දා එළි දැක්විණි.

ශ්‍රී ලංකා පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදයේ ප්‍රකාශනයක් වන මෙම මාධ්‍ය නාමාවලිය පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නගේ සංස්කරණයකි.

මෙවර මාධ්‍ය නාමාවලියට මාධ්‍ය සේවා සපයන ආයතන 612 ක මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශවල සම්බන්ධතාවයන් 8437 ක් ඇතුළත්ව ඇත.


මම වෙනම මලක් මහනුවර තුන් දිනක

නාලක ස්වර්ණතිලකගේ ‘මම වෙනම මලක්’ මහනුවර පුෂ්පදාන විද්‍යාලයේ 12 දාත්, මහමායා විදුහලේ 13 දාත්, කිංස්වුඩ් විදුහලේ 14 දාත් වේදිකා ගත වේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ