එඩ්වඩ් ගේ රස කතා

ස්වාමීනි තුවාලද?

සෝමපාල ගුණධීරයන්ගේ ‘උමතුසං වරුසාව’ නාට්‍යයේ ප්‍රවීණ නාට්‍යවේදී ජයශ්‍රී චන්ද්‍රජිත් අධ්‍යක්ෂණය කළ ප්‍රතිනිෂ්පාදනයේ මංගල දර්ශනයන් පැවැත්වුණේ මේ නොබෝදා. එම නාට්‍යය මුල් වරට නිෂ්පාදනය කෙරුණේ 1973 වසරේදීයි.

එය අධ්‍යක්ෂණය කළේ 1971 වසරේදී ‘රට බාරයි නුඹට පුතේ’ නාට්‍යය හා හා පුරා කියල නිර්මාණය කරලා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද පද්මසීල ද සිල්වා.

මෙවර එය ප්‍රතිනිෂ්පාදනය කළ ජයශ්‍රී චන්ද්‍රජිත් මුල් නිෂ්පාදනයේ ‘අතිචාරු’ කුමරු ලෙස එහි ප්‍රධාන චරිතයක් රඟපෑවා. මෙවර නිෂ්පාදනයේ පුරෝහිත චරිතය රඟපෑ චන්ද්‍රසෝම බිංදුහේවා මුල් නිෂ්පාදනයේ ද එම චරිතයම රඟපෑවා. මෙවර නලින් ප්‍රදීප් රඟපෑ එහි ප්‍රධාන භූමිකාවක් වූ රජුගේ චරිතය රඟපෑවේ කලකට පෙර අප අතරින් වියෝ වූ අති දක්ෂ නළුවකු වූ සමන් බොකලවෙල. මුල් නිෂ්පාදනයේ රජ බිසවගේ චරිතය රඟපෑවේ එකල සිංහල වේදිකාවට ආභරණයක් වන් වූ චන්ද්‍රා කළුආරච්චි නමැති ප්‍රවීණ රංගන ශිල්පිනියයි.

වත්මන් උමතුªසං වරුසාව නාට්‍යයේ මෙන්ම මුල් නිෂ්පාදනයේ ද සුවිශේෂත්වය වූයේ ඒ සඳහා භාවිත කළ හනමිචියයි. හනමිචිය ජපන් නාට්‍ය සම්ප්‍රදායයේ එන වේදිකා උපකරණයක්. ප්‍රධාන වේදිකාව වෙත ප්‍රේක්ෂකාගාරය මැදින් හෝ පසෙකින් යා වෙන පිවිසුම් වේදිකාවක් ලෙස හනමිචිය නම් කළ හැකියි.

‘උමතු සංවරුසාව’ එකල කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශවල දර්ශන රැසක් රඟ දැක්වුණු ජනප්‍රිය නාට්‍යයක් වුණා. මෙම නාට්‍යයේ කොළඹින් බැහැර දර්ශනයක් එක් දිනයක පැවැත් වුණා. එහි එක් ජවනිකාවක රජු, කෝපව රාජ පුරුෂයකු පසුපස හනමිචිය දිගේ හඹා යන දර්ශනයක් තිබුණා.

ඉතින් එදත් රජ ලෙස රඟපෑ සමන් බොකලවෙල රාජ පුරුෂයා ලෙස රඟපෑ නළුවා පිටුපස ‘ඔහෙ හිටු’ යයි තර්ජනාත්මකව කියමින් හනමිචිය දිගේ හඹා ගියා. එසේ හනමිචිය දිගේ දුවද්දී එක් වරම ජර බරාස් හඬක් නඟමින් සමන් හනමිචිය තුළ නොපෙනී ගියා.

ඒ වන විට වේදිකාවේ සිටි පුරෝහිතගේ චරිතය රඟපෑ බිංදුහේවා හනමිචිය දිගේ වහා දුව ගොස් අබලන් වී බිඳී ගිය හනමිචිය තුළ ඇද වැටී සිටි සමන්ව අතක් දිගු කොට ඔහුව අසීරුවෙන් උඩට ඇද ගත්තා.

බිඳුණු හාඩ්බෝඩ් ලෑල්ලේ තියුණු තැන්වලට හසු වී රජ ඇඳුමත් එහෙන් මෙහෙන් ඉරිලා. හීරුණු තැලුණු සිරුර වේදනාවෙන් පුපුරු ගහද්දී සමන් අමුත්තක් නොපෙන්වා හනමිචිය දිගේ වේදිකාව දෙසට ගෑටුවා. ප්‍රේක්ෂකයන් සැනසීමට සිතූ බිංදුහේවා රජුට හිස නමා මෙසේ ඇසුවා.

‘තුවාලද මහ රජතුමනි’

වේදිකාවේ සිට මේ සිද්ධිය මුව අයා බලා සිටි චන්ද්‍රා කළුආරච්චිට අසීරුවෙන් ගාටන සමන්ගේ රජ ගමන පෙනුණේත්, බිංදුගේ නුහුරු දෙබස ඇහුණේත් එකට. ඈට බකස් ගාලා හිනා යන්ට ආවත් ඈ වේදිකාවට මඳක් පිටුපස හරවලා හිනාව ආයාසයෙන් මැඩ ගත්තා. මේ බව දුටු එතැනින් යන්නට ආ සමන් හෙමිහිට මෙසේ කිව්වා.

‘මේ මගුලෙන් වැටිල, ඇඟ ලෙලි ගිහින්, මේකිට හිනා!’

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ