පුංවි තිරේ පොඩි කතන්දර

සකි සඳ සුවාරිස් ළඟදීම

ස්වර්ණවාහිනියෙන් ළඟදීම ඔබ හමුවට එන ‘සකි සඳ සුවාරිස්’ චන්ද්‍රරත්න මාපිටිගම ගේ අධ්‍යක්ෂණයක් සහ තිර රචනයකි.

විජේරත්න වරකාගොඩ, රොජර් සෙනෙවිරත්න, නිලන්ති විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ, දුලානි අනුරාධා, අනුර ශ්‍රීනාත්, ඇන්ටන් ජූඩ්, ගිරිරාජ් කෞශල්‍ය, රවීන්ද්‍ර මාපිටිගම හා විජය ශ්‍රී ගම්මන ගේ රංගනයෙන් හැඩවන මේ ටෙලි නිර්මාණය බුද්ධික මංගල ගේ කැමරාකරණයක්.

නාරද රත්නායක සහය අධ්‍යක්ෂණයෙන් දායක වන ‘සකි සඳ සුවාරිස්’ රොජර් සෙනෙවිරත්නගේ නිෂ්පාදනයක්.


රණවිරු රියල් ස්ටාර් ගිවිසුම අත්සන් කළදා

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන, ජාතික රූපවාහිනියේ රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුම සඳහා අදාළ අනුග්‍රාහක ආයතන සමඟ නිළ වශයෙන් ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 5 වන දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිදු කෙරිණ.

මෙම අවස්ථාව පැවැත් වුණේ ශ්‍රීී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක, ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් ප්‍රධාන අලෙවි නිලධාරී නුෂාඩ් පෙරේරා, රක්ෂණ සහකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මොහාන් ද අල්විස් mind for ප්‍රචාරක ආයතනයේ සභාපති කල්ප පල්ලියගුරුගේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි, ජගත් ගමනායක, යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් Mind Share ප්‍රචාරක ආයතනයේ සබ්රි හනීස්, සිලෝන් බිස්කට් පුද්ගලික සමාගම වෙනුවෙන් ග්‍රාන්ටීස් ඇඩ්වර්ටයිසින් පුද්ගලික ආයතනයේ මාධ්‍ය කළමනාකරු මනුෂි සේනානායක, ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මමෝහර අතුකෝරල ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

මේ දිනවල ජාතික රූපවාහිනියේ සාර්ථක අන්දමින් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 9.00 ට විකාශය වන රණවිරු රියල් ස්ටාර් දෙවන අදියරේදී ත්‍යාග වශයෙන් මිලියන 04 ක් වටිනා ටොයෝටා ඇවෙන්සා මෝටර් රථයක් ලබාදේ.


භාර්යාවෝ දැන් සිරසේ

‘සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියෙකු ඇත’ යනුවෙන් ප්‍රකට කියමනක් තියෙනවා. එහෙත් එහි විරුද්ධ පැත්තත් අමතක නොකළ යුතුයි.

බුදු දහමේ එන ‘සප්ත භාර්යා’සංකල්පය ඇසුරින් නිර්මාණය කෙරුණු සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වන ‘භාර්යාවෝ’ ටෙලි වෘත්තාන්තය මේ දිනවල සාර්ථක අන්දමින් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00 ට විකාශය වෙනවා.

ලකී ඩයස්, බුද්ධදාස විතානාරච්චි, සබීතා පෙරේරා, දිල්හානි ඒකනායක, චන්න පෙරේරා, කාංචනා මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, මේනක රාජපක්ෂ, සහන් රන්වල, නෙහාරා පීරිස්, නිමන්ති පෝරගේ, පියුමි බොතේජු, නිලන්ති විජේසිංහ, නිරෝෂන් විජේසිංහ, මාධනී මල්වත්ත රංගනයෙන් දායක වන භාර්යාවෝ ප්‍රභාත් රෝෂන් ගේ කැමරාකරණයක් සහ සමන් සමරවික්‍රම ගේ සංස්කරණයක්.

තේමා ගී පද රචනය ශෂී වීරවංශගේ සහ තේමා ගී තනුව නවරත්න ගමගේගෙන්.

පසුබිම් සංගීතයෙන් සහ ගීත ගායනයෙන් නිමල් මෙන්ඩිස් සමඟ නිරෝෂා විරාජිනී දායක වෙන භාර්යාවෝ සුදර්මා නෙත්තිකුමාරගේ නිෂ්පාදනයක්.


ආනන්ද සේනාරත්නගෙන් අලුත් ටෙලි නාට්‍යයක්

රංගනයට කැමැති ඔබට ප්‍රවීණ ශිල්පීන් සමඟ රංගනයේ යෙදෙන්නට වරම් ලබා දෙන්න ආනන්ද සේනාරත්න සූදානම්. රාජ්‍ය සම්මාන දිනූ නාට්‍යකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ද වන ආනන්ද සේනාරත්න ගේ ප්‍රථම ටෙලි නිර්මාණය සඳහා රංගන කුසලතාවෙන් හෙබි ඔබටත් දායක වෙන්න පුළුවන්. වයස අවුරුදු 9 – 11 ත් අතර දරුවකුට ප්‍රධාන චරිතයකට ජීවය ලබා දෙන්නත් අවස්ථාව උදා කර ගන්න හැකි වේවි.


ශ්‍රියාණි වෙරෝනා ආරම්භ කරයි

කිසිදු වියදමක් නැතිව ඉතාලිය, වෙනිස්, මිලානෝ, වෙරෝනා, පොම්පෙ, රෝමය හා පීසා යන ස්ථාන නරඹන්න සවාරියක් යන්න කැමැතිද? ඔබව මේ සවාරිය රැගෙන යන්නට සූදානම් වන ඇය ශ්‍රියාණි අමරසේනයි.

ශ්‍රියානි අමරසේන තිර රචනා කෙට අධ්‍යක්ෂණය කරන ‘වෙරෝනා’ ටෙලි වෘත්තාන්තයේ රූගත කිරීම් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ වගේම මා පළමුව සඳහන් කළ ස්ථානවල බව දැනගන්නට ලැබුණේ පසුගියදා රාජගිරිය සවරින් හෝටලයේදී සංස්කෘතික හා කලා කටයුතු ගරු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘වෙරෝනා’ ටෙලි සිත්තමේ මුහුරත් උළෙලේදීයි.

රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, ඕෂධී හේවාමද්දුම, ජගත් චමිල, සාරංග දිසාසේකර, බුද්දදාස විතානාරච්චි, රත්නා ලාලනී ජයකොඩි, ශිරන්ත ප්‍රේමවර්ධන, සම්පත් තෙන්නකෝන්, ග්‍රේස් ආරිය විමල්, ජනක සම්පත්, උපාලි මෙත්තානන්ද ඇතුළු පිරිස රංගනයෙන් දායක වන වෙරෝනා ප්‍රදීප් බුලත්සිංහල ගේ කැමරාකරණයක්.

වෙරෝනා අධ්‍යක්ෂණය කරන්න ශ්‍රියානි අමරසේනට සහය වෙන්නේ ජගත් චමිල. යූ. කේ. මහින්ද කලා අධ්‍යක්ෂණයෙන් ද, චමින්ද හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සුදත් චානක පෙරේරා, රොෂාන් ප්‍රනාන්දු සහ ඕෂධී හේවාමද්දුම සම නිෂ්පාදනයෙන් දායක වන ‘වෙරෝනා’ පුංචි තිරයේ දිග හැරෙන වෙනස් ආකාරයක ආදර කතාවකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ