|
එක දවසක් රෑ අවදියෙන් සිටින්නරාත්රිය එළඹෙත්ම නගරය පියකරුය. එහි ඇති විදුලි පුවරු නොයෙක විධ අලංකාර මවති. මෙට්‍රෝ සිනමාහලේ මෙන්ම තවත් බොහෝ පුවරුවල ඇති ප්‍රතිදීප්ත බල්බ දැල්ෙවින් නිවෙන්නේ සදෙව් ලොව මිහිමත මවමිනි. රාත්‍රිය එළඹෙත්ම වීදි සරණ ජනගහනය ද එමටය. ඔවුහු මේ සිරි අසිරි විඳිමින් තැන තැන ඇවිද යති. එහෙත් මේ අලංකාරය ද රාත්‍රියේ අඩකට පමණි. රැය තවත් වර්ධනය වූ කල්හි එකී සැණකෙළි අසිරි පලා යන නගරය අනු ක්‍රමයෙන් පාළුවට යයි. එකල්හි එම පාළු වීදියට බසින පොලිස් නිලධාරියකු අවදියෙන් සිටින්න යැයි මහ හඬින් කෑ ගසමින් නිදිගත් නගරය අවදි කරයි. ඔහුගේ රාජකාරිය පාළුවට ගිය නගරයේ සැරිසරන සොරුන්ගෙන් පුරවරය ආරක්ෂා කර ගැනීමය. ඔහු පමණක් නොව එම රාජකාරිය බාර ගත් තවත් පොලිස් නිලධාරින් ද සිටිති. එයින් එකකු රාජකාරිය අතරතුර ඇසෙන අනෙක් නිලධාරියාගේ හඬින් අවදිව කෑ ගසා යළිත් නින්දට වෙයි. පොලිස් නිලධාරියාට හසු වනුයේ මාවතේ ඇති ජල නලය ළඟ ඉඳ එයින් වතුර බොන්නට තැත් කරන්නෙකි. එම නලය මඟීන්ගේ පවස නිවන්නක් නොවේ. හදිසි ගින්නකදී නගරය බේරා ගැනීමට ඇති ජල කඳකි. එය පහසුවෙන් කිසිවතුට හෝ විවෘත කර ගන්නට නොහැක. මුළුමනින්ම නගරයට ආගන්තුකයකු වූ මේ පිටස්තරයා පොලිස් නිලධාරියා විසින් එතැනින් පළවා හරිනුයේ යළි දෑසට නොපෙනෙන ලෙස නියෝග කරමිනි. මේ ආගන්තුකයාට වීදි සරණ බල්ලෙකු ද හමු වෙයි. රාත්‍රියේ සූදුවෙහි නියැළී කන සාක්කුවේ දමා ගන්නා ගානට බීමත් වැදගත් මහත්මයෙකු ඔහුට හමු වෙයි. ආගන්තුකයාගේ අවශ්‍යතාව පානයට ජල බිඳකි. මහත්මයා ඔහුට සූදුවේ යෙදෙන්නට මුදල් හෝ පිපාසයට ළඟ ඇති මත්පැන් දීමට කැමැතිය. එහෙත් ආගන්තුකයා මේ දෙකම ප්‍රතික්ෂේප කරයි. මඟ දමා ඇති තැඹිලි කෝම්බ පිරික්සුව ද ඔහුට බීමට යමක් නොලැබෙයි. ඔහුගේ වෑයම පිපාසයට දිය බිඳකි. මේ අසරණයාගේ නෙත ගැටෙනුයේ දැවැන්ත ගේට්ටුවකින් වැසුණු සුවිසල් නිවාස සංකීර්ණයක මිදුලේ ඇති වතුර පයිප්පයකි. ගේට්ටුවෙන් රිංගා යන ඔහු වතුර බොන්නට පයිප්පයට මුව තැබුවා පමණි. පොලිස් නිලධාරියා සොරෙක් යැයි කෑ ගසයි. බියපත් වන ආගන්තුකයා ආතක් පාතක් නැතිව නිවාස සංකීර්ණයට රිංගා ගනියි. නිලධාරියගේ හඬින් අවදි වන සංකීර්ණ වැසියෝ කැති මුගුරු රැගෙන හොරා ලුහුබඳිති. මේ වූ කලී අදින් වසර 60 කට එපිට ඉන්දියාවේ තිරගත වීම අරඹන ලද චිත්‍රපටයක මුල් මිනිත්තු විසි දෙක ගෙවුණ ආකාරයයි. මේ කළු සුදු චිත්‍රපටය අද ද නැවුම්ය. එය හින්දි පසින් නම් ජග්තේ රාහෝය. නැතහොත් අවදියෙන් සිටින්නය. ධාවන කාලය මිනිත්තු 149 කි. කුඩා වෙනස්කමක් පමණක් සහිතව (එහි එයට බෙංගාලි නළු චාගි බිස්වාස් හා පානි සන්‍යාල් ද රගපෑම් ද ඇතුළත්ය.) බෙංගාලි බසින් තැනූයේ 'ඒක් දීන් රාත්‍රි' යනුවෙනි. එක් දවසක් රෑ එහි සිංහල අර්ථයයි. එහි ධාවන කාලය මිනිත්තු 153 කි. 1957 වසරේ චෙකොස්ලෝවාකියාවේ සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ජග්තේ රාහෝ විසින් දිනාගන්නා ලදී. එම අන්තර් ජාතික උලෙළ සඳහා සැකසු චිත්‍රපටය මිනිත්තු 115 කි. ජගතේ රාහෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සොම්බු මිත්‍රා හා අමිත් මොයිත්‍රාය. ඔවුන් දෙදෙනාම බෙංගලි ප්‍රාන්තයේ පළමු පෙළේ නාට්‍යකරුවන් වූහ. මේ අතරින් මිත්‍රා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධිත ඉන්දියානු ජනතා කලා සංවිධානයේ ක්‍රියාකරියකු විය. රාජ් කපූර් මෙන්ම ප්‍රවීණ සිනමාවේදී බිමල් රෝයි ද එහි සාමාජිකයන් වූහ. කොමියුනිස්ට් පක්ෂයෙන් පන්නරය ලද ජනතා කලා සංවිධානය හතළිහ පනහ දශකයේ ඉන්දියානු සිනමාවේ හැඩරුව වෙනස් කිරීමට විශාල දායකත්වයක් දුන්නේය. ජග්තේ රහෝ චිත්‍රපටය මුලින් නිර්මාණය වූයේ වේදිකා නාට්‍යයක් හැටියටය. රාජ් කපූර් නාට්‍යකරුවන් දෙදෙනාට එය චිත්‍රපටයක් ලෙස තැනීමට ආරාධනා කළේය. කෙසේ වෙතත් චිත්‍රපටය නිර්මාණයේදී ඔවුන් දෙපොළ නාමමාත්‍රිකයන් පමණක් බවට පත් වූ වග ප්‍රසිද්ධය. චිත්‍රපටය නිර්මාණය පුරා තිබෙනුයේ රාජ් කපූර්ගේ දැවැන්ත සෙවණැල්ලයි. රාජ් කපූර් සිය නොනමින් තැනූ චිත‍්‍රපට කිහිපයක් වෙති. ඔහුගේ ජිස් දේශ් මෛන් ගංගා බේති හෛ නිර්මාණය වූයේ කැමරා ශිල්පී රාධු කර්මකාර් නමිනි, රාජ් නවාතේ ආග් සඳහා නමය. බූට්, පොලිෂ් ප්‍රකාශ් අරෝරාය, අබ් දිල්ලි දූර් නහීන්, අමර් කුමාර්ගෙනි. මේ කාගේ නමට චිත්‍රපට ගියත් වැඩේ කෙරුණේ රාජ් කපූර්ට ඕනෑ හැටියටය. එක් පැත්තකින් රාජ් කපූර් යනු ඉන්දියානු සිනමාවට ලැබුණු විශිෂ්ටයෙකි. ජග්තේ රාහෝ සඳහා රාජ් කපූර්ගේ ප්‍රාණ සම මිත්‍රයෙකු මෙන්ම බොහෝ චිත්‍රපට සඳහා තිර රචනයෙන් දායක වූ කේ. ඒ. අබ්බාස් ද දායක විය. ඒ දෙබස් රචනය සඳහාය. මධුමතී ආදී චිත්‍රපටවල සංගීතය මෙහෙය වූ සලීල් චෞද්රී ජග්තේ රහෝ සංගීතය සඳහා දායක විය. චෞද්රී මෙන්ම අබ්බාස් ද ජනතා කලා සංවිධානයේ සාමාජිකයන් වූහ. චෞද්රී හා රාජ් කපූර් එක් වු එකම අවස්ථාව ද ජග්තේ රහෝ විය. එමෙන්ම ජග්තේ රහෝ සඳහා දායක වූ කැමරා ශිල්පී රාධු කර්මකාර්, සංස්කරණ ශිල්පී පී. ජී. මනේක් මෙන්ම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ නාර්ගිස්, මෝතිලාල්, ප්‍රදීප් කුමාර්, නානා පල්සිකාර්, ඩේසි ඉරාණි ඇතුළු බොහෝ දෙනා රාජ් කපූර් සමඟ නිරන්තරයෙන් කටයුතු කළ අය වූහ. ජග්තේ රාහේ චිත්‍රපටය මුළුමනින්ම එක් රැයක් මත දිග හැරෙන්නකි. සුවිසල් නිවාස සංකීර්ණයේ සැඟවෙන ආගන්තුකයාගේ චරිතය රඟපානුයේ රාජ් කපූර්ය. මේ චරිතය මෙන්ම චිත්‍රපටයේ බොහෝ චරිත සඳහා චරිත නාමයන් නොවීය. රාත්‍රියේ සැඟව ගන්නා ආගන්තුකයාගේ ඉරණම චිත්‍රපටය් ඉතිරි කාලයේ අප හමුවේ විදාරණය වෙයි. තම නිවාස සංකීර්ණයට රිංගා ගන්නා 'ආගන්තුකයා' සොරෙකු යැයි විශ්වාස කරන එහි මිනිස්සු ඔහු සොයමින් කලබල කරති. ජීවිත ආරක්ෂාව පතා මේ ගැමියාට සිදු වන්නේ එක් එක් නිවසකින් තවත් නිවසකට ආදී වශයෙන් සංකීර්ණය පුරා සැඟ වෙන්නටය. එහි වෙසෙන්නෝ විවිධ ඡායා ඔස්සේ ආගන්තුකයා පසුපස ලුහුබඳිති. ගෙයින් ගෙට රිංගන ආගන්තුකයා හරහා අපට දැකගන්නට ලැබෙන්නේ මේ සුවිසල් මන්දිර ඇතුළේ සිටින වැදගත් මිනිසුන්ගේ ජීවිත අනු ක්‍රමයෙන් නිරාවරණය කරන්නට සිනමාකරු කරන වෑයමයි. ඔහු ඒ සඳහා උපයෝගී කර ගන්නේ ඉතාම උපහාසාත්මක නාටකීය අවස්ථාවන්ය. මේ සඳහා අනියම් ප්‍රේම සබඳතාවන් වැනි සුළු වැරැදි සිට හොර සල්ලි අච්චු ගැසීම වැනි භයානක අපරාධ මේ නිවාස සංකීර්ණය ඇතුළේ ඇති වග සිනමාකරු අපට පෙන්වා දෙනු ලබයි. මහලින් මහලට පැන පැන යන ආගන්තුකයා දිය පිපාසය සංසඳලීම පසෙක ලා ජීවිත ආරක්ෂාව පතා සැඟ වෙන්නට උත්සාහ කරයි. මේ වන විට අනුක්‍රමයෙන් ගේට්ටුවෙන් සැඟවුණු මිනිසුන්ගේ ජීවිත එළිවෙමින් පවතී. ඔවුන්ට ආගන්තුක සොරා සොයනවාට වඩා තම ජීවිත ආවරණය කර ගැනිමේ අරගලයට මුහුණදීමට සිදු වෙයි. ඒ නිසාම තමා සොයා ලුහුබඳින මිනිසුන් අතරින්ම යන්නට ඔහුට අවස්ථාවක් සැලසෙයි. චිත්‍රපටයේ අවසාන භාගයේදී කුඩා දැරියක් ඔහුට මඟ පෙන්වන්නට ඉදිරිපත් වෙයි. ඇගේ නිවසේ ඇත්තේ (ඒ වන විට නූතන ඉන්දියාව ගොඩනැං වූ මහා පුරුෂයන්) රබීන්ද්‍රනාත් තාගේර්, සුභාෂ් චන්ද්‍රබෝෂ්, මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු ආදීන්ගේ ඡායාරූපය. සම්ප්‍රදායික කොමියුනිස්ට්වාදියා හා නුතන ඉන්දියාව පිළිබඳ බලාපොරොත්තු තබා ගන්නා රාජ් කපූර් අතරමං වන ජවනිකා පෙළ එය වග මගේ හැඟීමයි. කෙසේ වෙතත් ඒ සමග අපට ඇසෙන්නේ ලතා මංගේෂ්කාර්ගේ සුමියුරු හඬින් ගැයෙන 'ජාහෝ මෝහන් ප්‍යාරේ' ගීතයයි. දරුවාගෙන් සමුගන්නා ආගන්තුකයා තවදුරටත් තමාට අවදානමත් නැතිවග වටහාගෙන ඒ හඬ ඇසෙන දෙසට ගමන් කරයි. දැන් ඔහු සොයන්නෙකු නැත. ගීතය ඇසෙන්නේ යාබද කෝවිලකිනි. දේවදාසිය උදෑසන මල් පැලවලට සාත්තු කරමින් ගීතය ගයන්නීය. රැය පුරා නිදිවර්ජිතව ප්‍රාණ භයෙන් සිටි ආගන්තුකයාට දිය පොඳක් ලැබෙන්නේ ඇය අතිනි. අනුක්‍රමයෙන් උදා අරුණලු විහිදෙනු යාන්තම් පෙනේ. (ඉන්දියානු සිනමාවේ සදා අනුස්මරණීය ප්‍රේම වෘත්තාන්තයක් වූ රාජ් කපූර් හා නාර්ගීස් දෙදෙනා එකට රඟපෑ අවසාන අවස්ථාව එය විය.) එක් තැනකින් ආරම්භ වී සම්පූර්ණ චක්‍රයක් කරකැවෙන මේ සිනමා වෘත්තාන්තය විශිෂ්ට තිර නාටයකින් යුක්ත වූයේය. සමාජ අනාවරණය සඳහා සිනමාකරුට අවශ්‍ය එක් රාත්‍රියකි. සිනමාකරුවකු හැටියට රාජ් කපූර්ගේ චිත්‍රපටවල ඉහළම තැනක් ලබනුයේ සංගීතයයි. මුළු සිදුවීමටම පාදක වනුයේ එක් රාත්‍රියක් බැවින් ජීවිතයේ අඳුරු අහුමුළු සොයන්නට සිනමාකරු හැමවිටම අඳුරට ආලෝකය සමඟ තියුණු අරගලයක යෙදෙනු දැකිය හැකිය. එය අනුක්‍රමයෙන් වෙනසක් වනුයේ අවසාන ජවනිකාවේදී උදා ලා හිරු යන්තම් භාවිතයේදීය. හැට වසරකට පසු 'ජග්තේ රාහෝ' නැවුම් සිනමා කෘතියක් ලෙස දැනෙන්නේ එබැවිනි. කලෝවිවාරි උලෙළේදී 'ජග්තේ රාහෝ' සමඟ තිරගත වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ 'රේඛාව' චිත්‍රපටයයි. එහිදී 'රේඛාව' නැරැඹූ රාජ් කපූර් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඊළඟ චිත්‍රපටය නිර්මාණය කරන්නට බොම්බායේ ආර්. කේ. චිත්‍රගාරයට එන්නට ආරාධනා කළේය. එපමණක් නොව ඒ වන විට සිය දසවැනි සංවත්සරය උදෙසා අලුත් චිත්‍රපටයක් තනන්නට බොම්බායට ගොස් සිටි සීමාසහිත සිනමාස් සමාගමේ සභාපති කේ. ගුණරත්නම්ට අපූරු ඔත්තුවක් දුන්නේය. එනම් සිය සංවත්සරය වෙනුවෙන් චිත්‍රපටයක් තනන්නේ නම් එය එතෙක් කළා මෙන් ඉන්දියානු සිනමාකරුවකු අතින් නොව ලාංකේය සිනමාකරුවකු අතින්ම නිර්මාණය කළ හැකි බව රාජ් කපූර් පෙන්වා දුන්නේය. රාජ් කපූර් ඒ රෙකමාදාරුව දුන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැනය. 'සංදේශය' නිර්මාණය වූයේ එලෙසිනි. කොටින්ම 'ජග්තේ රාහෝ' නිෂ්පාදනය නොවන්නට 'සන්දේශය' බිහි නොවන්නට ඉඩ තිබිණි. |