|
‘සින්ඩ්‍රෙල්ලා’ ඔස්සේ මම කතා කරන්නේ නාගරික යෞවනයටඉනෝකා සත්‍යංගනී හෙට (05) තිරයට එන සිය නවතම සිනමා කෘතිය පිළිබඳ ආදරණීය කතාබහක...
පුරුෂ කේන්ද්‍රීය නිර්මාණ ක්ෂේත්‍රයක, හුදෙකලා සටනකින් පසු කාන්තාවකට දිනා ගත හැක්කේ කුමක්ද? වෙසෙසින්ම සිනමාව වැනි අභියෝගාත්මක ක්ෂේත්‍රයක නිර්මාණ පාර්ශවයෙන් එසේ ස්වීය, අනන්‍යතාවක් ගොඩ නගා ගත හැකිද? නවක සිනමාවේදීන්ගේ පහසින් නිරන්තරයෙන්ම ප්‍රමුදිත වන ලාංකේය සිනමාවට අපේ කාලයේ පා තැබූ එකම සිනමාවේදිනිය ලෙස ඈ සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම ඒ සියල්ලට පැහැදිලි පිළිතුරක් දෙන්නට සමත් වූවාය. තවත් ලෙසකින් පැවසුවහොත් ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද ‘සුළං කිරිල්ලී’ හරහා ලාංකේය සිනමාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද සිය නිර්මාණශීලී මුද්‍රාව තබන්නට සමත් වූවාය. දිගු විරාමයකට විරාමය තබමින් ඉනෝකා හෙට සිය දෙවැනි සිනමා නිර්මාණය ‘සින්ඩ්‍රෙල්ලා’ සමඟ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණේ. ‘අක්මුල් නැති තාරුණ්‍යයේ උන්මාදය - සීමා මායිම් නැති ආදරයේ චමත්කාරය’ සොඳුරු හද බසකට පෙරළා ඇය මේ සිනමා කාව්‍යය ඔබට තිළිණ කරන්නේ ආදරවන්තයන්ගේ මාසයේ වීම විශේෂත්වයකි. මෙතැන් සිට අප ඉනෝකා සමඟ ‘සින්ඩ්‍රෙල්ලා’ පිළිබඳ හෘදයාංගම කතාබහකට එකතු වෙමු. තරමක දිගු නිහැඬියාවකින් පසුවයි ඔබ නැවතත් සිනමාකරණයට පිවිසෙන්නේ? අපි දන්නවා ගෙවුණු දස වසර ඇතුළත අපේ රටේ සාමාජීය, දේශපාලන, සංස්කෘතිමය වශයෙන් තිබුණු පසුබිම. ඒ කියන්නේ නිර්මාණකරුවන්ට නිදහසේ මේ පොළොව මත තිබෙන ප්‍රශ්න කලා කෘති ඔස්සේ එළි දක්වන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නෑ. කලාව සම්බන්ධයෙන් වෙනම න්‍යාය පත්‍රයක් තිබුණා. අනෙක් පැත්තෙන් ඉතිහාස කතා මුල් කරගත් සිනමා සංස්කෘතියක් තමයි මේ රටේ නිර්මාණය වෙලා තිබුණේ. ඊට අමතරව කිසිදු දේශපාලන, සමාජීය ගැටලුවක් ගැඹුරින් සාකච්ඡා කරන චිත්‍රපට බිහි වුණේ අතලොස්සයි. අපට වඩා ප්‍රමුඛ සිනමාකරුවන්ගේ නිර්මාණ පවා එහෙම උඩින් පල්ලෙන් කරපු ඒවා බවට පත් වුණා. සමහර නිර්මාණ වාරණයට ලක් වුණා. ඔබේ උකටලී ස්වභාවයට හේතු වුණෙත් එකී කරුණු කාරණාමයි? ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටය කරපු නිර්මාණකාරිය හැටියට මට එහෙම ආවාට ගියාට නිර්මාණයක් කරන්න පුළුවන්කමක් නෑ. ‘සුළං කිරිල්ලී’ මම නිිර්මාණය කළේ 2002 දී. ඉන් වසර දහයකට විතර පසුව තමයි මම නිර්මාණය කරන්නේ ‘සින්ඩ්‍රෙල්ලා’. හැබැයි 2011 දී මට එහෙම නිර්මාණය කරන්න වෙන්නෙත් මේ භුමියට ඔරොත්තු දෙන චිත්‍රපටයක්. ඒ හින්දා තමයි මම ප්‍රේමය වැනි සරල, සුලබ, රොමෑන්තික මාතෘකාවක් ස්පර්ශ කරන්න තීරණය කළේ. සැබෑ කලාකරුවා උඩු ගං බලා පිහිනන අයෙක්. දැන් මේ අභියෝගාත්මක සමාජ පසුබිම මැද්දේ විප්ලවකාරී සිනමාවේදිනියක් හැටියට ඇයි ඔබ, ඔබේ තැන හදාගන්න උත්සාහ කළේ නැත්තේ? මෙහෙමයි, මට සිනමා කෘතියක් කරන්න තිබුණා. ඒත් ගෙදර ඇඳ යට තියාගන්න නිර්මාණයක් කරලා වැඩක් නෑනේ. එතකොට ඒ පරිශ්‍රමය, වියදම් කළ මුදල බොල් දෙයක් බවට පත් වෙනවා. මේ සමාජ පරිවර්තනය හදිසියේ සිදු වූ දෙයක්නේ. අපි කවුරුත් හිතුවේ අර පැවැති සමාජ වටපිටාවම ඉදිරියටත් බලගැන්විලා තියෙයි කියලා. එවැනි පරිසරයක චිත්‍රපටයක් වෙනුවෙන් රුපියල් මිලියන පහළොවක් විස්සක් වැය කරන්න කිසිම කෙනෙක් කැමැති වෙන්නේ නෑ. මොකද හොඳ චිත්‍රපටයක් කරන්න ඒ වගේ මුදලක් වැය වෙනවා. හොඳ චිත්‍රපටයක් ලෙස ඔබ අර්ථ ගන්වන්නේ? අවංක සිනමා කෘතියක්. ඒ වගේම සිනමාරූපී බව රැකගෙන කරන නිර්මාණයක්. සමාජය ගැඹුරින් ප්‍රශ්න කරන සිනමා කෘතියක් කළොත් ඒ පුද්ගලයාට රටේ නිරුපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් එදා තිබුණෙත් නෑ. ඔවැනි ප්‍රශ්න හේතු සාධක වුණා මගේ නිහැඬියාවට. නිෂ්පාදකවරු කීිප දෙනෙක්ම ආවා මාව සොයාගෙන. ඔවුන්ගේ නම් පවා මට හෙළි කළ හැකියි. ධම්මික සිරිවර්ධන, යොලන්ඩා වීරසිංහ, සුමිත් තිත්තවැල්ල, සත්‍යජිත් විජේපුර යන නිෂ්පාදකවරු. ඔවුන්ට තිබූ ප්‍රධානම ගැටලුව තමයි තමන් මේ ආයෝජනය කරන මුදල ලාබයක් බවට පත් කරන්න මම වගකියනවද කියන කාරණය. ඔබ ඒ වගකීම බාර ගත්තේ නෑ? වගකීම බාර ගත්තේ නෑ කියන්නේ මෙහෙමයි. නිර්මාණයක් කරන්න අත ගසන මොහොතේම මගේ ඔළුවේ තියෙන්නේ මාකට් එක නම්, ඒ කියන්නේ මේක වෙළෙඳ භාණ්ඩයක් කියන කාරණය නම් එතනදි මට නිර්මාණයට අවංක වෙන්න බෑනේ. අවසානයේදී ඒක අලෙවි කිරීම වෙනම කාරණාවක්. අලෙවි කරන්න වෙනවා අපිට. මොකද අපි කවුරුත් චිත්‍රපටයක් හදන්නේ නෑනේ ගෙදර තියාගෙන ඉන්න. නමුත් අලෙවි කිරීම නම් මගේ ප්‍රමුඛ ඉලක්කය මම සිනමා කෘතිය කෙරෙහි දක්වන අවධානය ද්විතීය එකක් බවට පත් වෙනවා. ඒකයි කාරණය. අවසානයේදී ඔබේ සිතැඟි තේරුම් ගත් නිෂ්පාදකවරයෙක් හමු වෙනවාද? නෑ. ඒ හින්දම තමයි මම මගේ සන්තකේ තිබ්බ ඉඩමක් එක්තරා බැංකුවකට උගස් කරලා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ‘සින්ඩ්‍රෙල්ලා’ ආදරය මුල් කරගත් රොමෑන්තික චිත්‍රපටයක් කියා ඔබ සඳහන් කළා. ‘සුළං කිරිල්ලී’ වැනි ජීවිතය විනිවිද දුටු සිනමා නිර්මාණයක් කළ ඔබ මෙවැනි සරල, ප්‍රේමාන්විත චිත්‍රපටයක් කිරීම ගැන ඇත්තටම මොකද හිතෙන්නේ? මෙය ආත්ම ප්‍රකාශනවාදී සිනමා කෘතියක් නොවුණත් මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී මා විසින්ම තීරණය කර ගත් දෙයක් තිබුණා. ඒ තමයි මම සිනමාත්මක කෘතියක් නිර්මාණය කරනවා කියලා. ඒක ප්‍රධාන ධාරාවටද, විකල්ප ධාරාවට ද කියන එක මට වැදගත් වුණේ නෑ. මේ තුළ මම සිනමාව කියන විෂය පථය හෑල්ලුවට ලක් කරන්නේ නෑ කියන කාරණය තමයි මගේ ඔළුවේ තිබුණේ. 80 දශකයෙන් පස්සේ අපේ සිනමාවේ තිබූ මේ වට්ටෝරු ගණයේ චිත්‍රපටයක් කරන්නත් මගේ අදහසක් තිබුණේ නෑ. මොකද ඒවායේ තියෙන්නේ එකම රාමුවේ එකම ගණයේ අංගෝපාංග ටිකක්. ගීත තියෙනවා, සටන් තියෙනවා, දුෂ්ටයෝ ඉන්නවා, නැටුම් තියෙනවා, ඊට අමතරව ලංකාවේ තියෙන දියඇලි සහිත දර්ශන, ස්ත්‍රීන් පුරුෂයන් ඇස් කඩාගෙන යන ඇඳුම් ආයිත්තම් ඇඳගෙන පෙම් කරනවා, ඒ අතර ඉතාම අභව්‍ය සිදුවීම් වෙනවා. ත්‍රාසය, කුතුහලය, සටන් ජවනිකා මේ හැමදේම ඇතුළත්? ඔව්, නාටකීය ස්වරූපයෙන්, බොහොම වේග රිද්මයෙන් පෙළ ගැසුණු රූප රාමු පෙළක්. එහෙම චිත්‍රපට තමයි 80 දශකයෙන් පසු අපි බොහෝ විට දැක්කේ. ඒ සිනමා සම්ප්‍රදාය අපි කුලියට ගත්තේ දකුණු ඉන්දියානු හෝ උතුරු ඉන්දියානු මසාල සිනමා සම්ප්‍රදායෙන්. අපේ සිනමා ප්‍රේක්ෂකයොත් ඒවාට ඔළු හදාගෙන හිටියා. මට ඕනෑ වුණේ යුරෝපයේ හෝ බටහිර තිබෙන වාණිජ සිනමා ආඛ්‍යානය ලංකාවේ සිනමා කෘතියකට ගෙන එන්න. වාණිජ එසේත් නැතිනම් ජනප්‍රිය සිනමා ධාරාවට නැතිවම බැරි අංගෝපාංගයන් තමයි ඔබ මුලින් සඳහන් කළේ. දැන් එතනින් විනිර්මුක්තව ඔබ මේ චිත්‍රපටයට එක් කර තිබෙන්නේ කිසියම් මන්දගාමී ස්වරූපයක්. එය ග්‍රහණය කර ගැනීමට අපේ ප්‍රේක්ෂකයාට හැකි වේ යැයි කියා ඔබ විශ්වාස කරනවාද? ඔබ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. බටහිර වාණිජ සිනමාවේත් තියෙනවා පළමු පෙළ, දෙවැනි පෙළ ආදී වශයෙන් වර්ගීකරණයට ලක් වූ චිත්‍රපට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රමුඛ පෙළේ ඒ කියන්නේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත්‍රපට. Bodyguard, Pretty women, එහෙම නැතිනම් අපි හිතමු Titanic වගේ ප්‍රේ්ක්ෂකයා ක්ෂණයකින් ආලෝලනයට ලක් කරන වර්ගයේ චිත්‍රපට. එතකොට ඒ චිත්‍රපටවලත් දකුණු ඉන්දියාවේ හෝ උතුරු ඉන්දියාවේ මෙන් කිසියම් සාම්ප්‍රදායික රටාවක් තියෙනවා. එතකොට දෙවැනි පෙළ වාණිජ සිනමාවක් තිබෙන බවත් ඔබ ප්‍රකාශ කළා? එවැනි සිනමා කෘති හුඟක් වෙලාවට කුඩා සිනමා ශාලාවල එහෙම නැතිනම් හෝම් තියටර් මට්ටමින් වෙනත්ම ප්‍රේක්ෂකාගරයක් මගින් තමයි නරඹන්නේ. හැබැයි ඒ රටවල්වල තිබෙන හොඳ තමයි අර බොක්ස් ඔෆීස් වාර්තා තබන, අමු අමුවේම වාණිජ පරමාර්ථ පමණක් ඉලක්ක කරගත් සිනමා කෘති නරඹන්නට අකැමැති ප්‍රේක්ෂකායට අර දෙවැනි පෙළ සරල, සැහැල්ලු චිත්‍රපට නැරඹීමට තිබෙන නිදහස. ඒ අවකාශය. මේ වින්දනය කියන එකෙත් තියෙනවා එක් එක් වර්ගීකරණයන්. නමුත් ඒ රටවල ප්‍රේක්ෂකාගාරය විශාල නිසා එහෙම දෙවැනි පෙළ සිනමා සංස්කෘතියක් තියෙනවා. එයත් ප්‍රේක්ෂකාගාරය ආසක්ත කර ගන්නට සමත් වූ සිනමා සංස්කෘතියක්? ඔව්. උදාහරණ හැටියට ගත්තොත් efore sunset, After sunrise, Walk to remember, French lieutenant’s women එතකොට අපි ගත්තොත් Notebook. ඒ චිත්‍රපටවල තියනේනේ අපි දකින අර Pretty women හරි එහෙම නැතිනම් Notebook. වගේ චිත්‍රපටවල තියෙන ජීවිතයෙන් දුරස් වෙච්ච රිද්මයට වඩා අපේ ජීවිතයේ සැබෑ ගැහැනුන් මිනිසුන් ජීවත් වන, ඔවුන් හුස්ම හෙළන ජීවන රිද්මයක්. මට හිතුණා ඇයි එවැනි සිනමා රිද්මයක් අපේ පොළොවට ආදේශ කරලා හදන්න බැරි කියලා. මොකද මට ඕනෑ වුණේ නෑ තවත් මෙනවා හෝ චිත්‍රපටයක් කරන්න. ‘සින්ඩ්‍රෙල්ලා’ එහි ප්‍රතිඵලයක්? මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි චන්දුල සහ ඉසංකා. මේ දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තය ගොඩ නැගෙන්නේ දවස් හතක කාලයක් තුළ. සුළි සුළඟක්, භූමිකම්පාවක් ආවොත් හැරෙන්න ඒ දවස් හත ඇතුළත මහා ඛේදවාචකයක් වෙන්න බැහැනේ. මොකද මම මේ කතා තේමාව තෝර ගනිද්දීම දැනගෙන හිටියා සහ මට ඕනෑ වුණා මේක ඇතුළේ මම පවත්වාගෙන යන රිද්මය මේ වස්තු විෂයය ඇතුළේම තිබිය යුතුයි කියලා. ඇත්තම කියනවා නම් මේ නිර්මාණයේදී මම වැඩිපුරම ආශක්ත වුණේ සහ උත්තේජනයක් ලැබුවේ ‘බිෆෝ සන් සෙට්’ කියන චිත්‍රපටයෙන්. ‘සින්ඩ්‍රෙල්ලා’ට වස්තු විෂය වුණේ එතකොට මේ චිත්‍රපටය? මේ චිත්‍රපට දෙක සමාන කරන්න බෑ. මොකද ‘බිෆෝ සන් සෙට්’ කියන්නේ වෙනමම ආකෘතියක චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය මම මෙහෙ කළා නම් මම හිතන්නේ නෑ කවදාවත් මට වාණිජ චිත්‍රපටයක් කරන්න පුළුවන් වෙයි කියලා. මම එයින් ලත් උත්තේජනයෙන් අල්ප මාත්‍රයක් පමණයි මම මේ සිනමා කෘතිය තුළ වෙනත් මානයකින් අත්හදා බලන්න උත්සාහ කළේ. ඒක අර විදිහටම හැදුවා නම් මම හිතන්නේ නැහැ කවුරුවත් බලයි කියලා. ඇයි ඒ? ඉතාම සුළු ප්‍රේම සබඳතාවයකින් ආකර්ෂණය වූ පෙම් යුවළක් වසර දහයකට පස්සේ මුණ ගැසෙනවා නැවත එක්තරා නිමිත්තක් මුල් කරගෙන. එක සුළු මොහොතකට. ඔවුන් දෙදෙනාම විවාහ වෙලා. ඔවුන් එක්තරා තැනක ඉඳන් තවත් තැනකට යන අතරේ ඔවුන්ගේ ජීවිත පිළිබඳ කතා කරන දේ පමණයි මුළු සිනමා පටයටම ඇතුළත් වෙන්නේ. ඔවුන් පෙම්වතුන් නෙවෙයි ඇත්තටම ඒ වෙනකොට. සාමාන්‍යයෙන් ඔබ පාරේ යනකොට පැරැණි පෙම්වතියක් හමු වෙනවා. ඔබ ඇයත් එක්ක යනවා බේක්හවුස් එකට. එතනින් ඔබ ඇය දුම්රියකට ඇරලනවා. ඒ කෙටි කාලය ඇතුළත ඔබ ඇයත් එක්ක ජීවිතය බෙදා හදා ගත්තොත් අන්න ඒ ටික විතරයි සිනමා කෘතියට අතුළත් වෙන්නේ. කිසිම ගැටුමක් නෑ. කිසිම නාටකීය බවක් නෑ. සටන් නෑ. නැටුම් නෑ. හැබැයි ප්‍රේමය තියෙනවා? ප්‍රේමය තියෙනවා සහ ඒක ඇතුළේ ජීවිතය හුස්ම ගන්නවා. ඉතින් මට එච්චර ලොකු අභ්‍යාසයක් කරන්න, අභියෝගයක් කරන්න පුළුවන්කමක් නෑ මේ පොළොවේ. ඒකට හේතුව ලංකාව වගේ රටක සිනමා සංස්කෘතිය එතරම් ප්‍රබල නොවීම. අපේ රටේ හොඳ සිනමාවකට ප්‍රිය කරන යම් පරම්පරාවක් හිටියට ඔවුන් පමණක් මදි අපට ආයෝජනය කරන මුදල නැවත ලබාගන්න. ඉතින් ඔය වගේ තත්ත්වයක් මත මට විශාල අත්හදා බැලීමක් කරන්න බැරි හින්දා මම එයින් අංශු මාත්‍රයක් අරගෙන තමයි ටිකක් වෙනස් මානයක චිත්‍රපටයක් හැටියට ‘සින්ඩ්‍රෙල්ලා’ කරන්නේ. කොහොම වුණත් මේ චිත්‍රපටය ඔබ ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්නේ කිසියම් අවදානමක් දරාගෙන? පැහැදිලිවම, පැහැදිලිවම. ඒ අභියෝගය ජයගන්න කොහොමද ඔබ නිෂ්පාදිකාවක් හැටියට සැළසුම් දියත් කර තිබෙන්නේ? ඇත්තෙන්ම මෙහෙමයි, ඒ අවදානම ජයගන්න මුල ඉඳලම මගේ සැලසුම් තිබුණා. මොකද මම උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම දෙන්නා මෙහි ප්‍රධාන චරිත හැටියට තෝරා ගත්තෙත් ඒ කාරණය මත. උපේක්ෂා ඒ වෙන කොටත් ජනප්‍රිය තරුවක් වෙලා හිටියා ‘පබා’ ටෙලි නාට්‍යයෙන්. ඒ වගේම ඇය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන කොට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක්. අකලංක ගනේගමත් යම්කිසි රූපවාහිනී රියැලිටි වැඩ සටහනක නර්තන තරුවක් වෙලා හිටියා. ඔහු ඒ වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවකට මේ චිත්‍රපටය මුදා හරින්න වසර හතරක පමණ කාලයක් ගත වුණා. එදා ඔවුන් සතුව තිබූ ජනප්‍රියත්වය මේ වෙන කොට තියෙනවාද? මම හිතන්නේ තාම ඒ ජනප්‍රියත්වය ගිලිහිලා නෑ. මොකද දැන් උපේක්ෂාට සහ අකලංකට එකට පෙනී සිටින්න බෑ කියන ප්‍රවෘත්තිය කාගෙන් හෝ එළියට ගියා විතරයි සියලුම සමාජ ජාලා වෙබ් අඩවිවල මේක වයිරල් වෙන්න ගත්තා. එය හුදු ඕපාදූපයක් පමණක් නෙවෙයිනේ? නෑ ඒක සත්‍ය දෙයක්. අපි ඒ ගැන වෙනම කතා කරමු. එතනින් පස්සේ මේ මෑතකදී වෙච්ච සිදුවීම් ගම්මු. උපේක්ෂා ගේ ගෙදරට රෑ කවුද තරුණයෙක් ඇතුළු වුණා කියන එක රටේ තිබෙන ලොකුම ජනප්‍රිය මාතෘකාව වුණා. ඊට පස්සේ උපේක්ෂාගේ විවාහය දින නියමයක් නැතිව කල් ගියා කියන එක සියලුම ටැබ්ලොයිඩ් පුවත්පත්වල පිටු පුරවපු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. එතකොට ඒකෙන් තේරෙනවා තාම මොවුන්ගේ ජනප්‍රියත්වය සිඳී ගිහිල්ලා නැති බව. දැන් ඔවුන් මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එකට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිෂ්පාදිකාව හැටියට ඔබ මූණපාන තවත් ගැටලුවක් නේද? බොරු කියන්න ඕනෑ නෑ. එකට පෙනී නොසිටීම මට ගැටලුකාරී තත්ත්වයක් වුණා. ඇත්තම කිව්වොත් මට දැන් ‘සරසවිය’ පුවත්පතේ කවරයටවත් මේ දෙන්නා එකට ඉන්න ඡායාරූපයක් ගන්න බෑනේ. ඇත්ත කතා කළොත්. එතකොට මට තවත් ටැබ්ලොයිඩ් පුවත්පත්වලින් කතා කරනවා. දර්ශන තලයේදී ගත් පැරණි ඡායාරූප තමයි ඔවුන්ට දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට රූපවාහිනී වැඩසටහන්වලට ඔවුන් එකට පෙනී සිටින්නේ නෑ. ඇයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ? ඇත්තටම ඒක උපේක්ෂාගේ පැත්තෙන් ආපු ගැටලුවක් නොවේ. අකලංක මෑතකදී විවාහප්‍රාප්ත වුණා. ඒ තුළ තිබූ යම් හේතුවක් මතයි මේ තත්ත්වය නිර්මාණය වුණේ. ඉතින් ඔවුන්ගේ ඒ පෞද්ගලික කාරණා මට සියල්ලම කියන්න බෑ පුවත්පතකට. කොහොම වුණත් ඒක මට ගැටලුවක් වෙලා තියෙනවා. ඒත් මම හිතනවා ඔවුන් වෙන වෙනම ඇවිත් හරි මට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. කොටස් දෙකකින් යුත් වැඩි ධාවන කාලයක් සහිත සිනමාපටයක් ලෙසයි ඔබ ‘සින්ඩ්‍රෙල්ලා’ ප්‍රේක්ෂකයා වෙත මුදා හරින්නේ. මේ අතිධාවනකාරි සමාජ රටාව තුළ ප්‍රේක්ෂකයාට සංහිඳියාවක් තියෙනවාද එබඳු නිර්මාණයක් හා ඒකාත්මික වන්නට? ඒකත් විශාල අභියෝගයක්. ඇත්තෙන්ම මම මේ චිත්‍රපටයේ සුළු අත්හදා බැලීමක් කර තිබෙනවා පැවැති සාම්ප්‍රදායික රටාවෙන් එලියට පැනලා වෙනත් රිද්මයේ වාණිජ සිනමා කෘතියක් කරන්න. ඉතින් මේ සිනමා කෘතිය නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස් මේකේ තියෙන රසයට කැමැති වුණොත් තමයි ඇත්තෙන්ම දෙවැනි සිනමා කෘතිය නරඹන්නේ. ඒක තරමක අභියෝගයක්. නමුත් මම ඒ අභියෝගයට මුහුණ දෙන්න ලෑස්තියි. අනෙක තමයි මේ සිනමා කෘතියේ මාතෘකාව ඔස්සේ මම කතා කරන්නේ නාගරික යෞවනයට. හුඟක් වෙලාවට අප සිනමාවෙන් කතා කරන්න පෙළඹෙන්නේ පහළ පංතික හේ මධ්‍යම පාන්තික සමාජ අරගලයේ පැටලී ඉන්න ජිවන රිද්මයන්ටනේ. ඔබ මේ නිර්මාණය හරහා උත්සුක වුණේ ඉන් ඔබ්බට යෑමටයි? අපට මේ සමාජයේ ජිවත් වෙද්දී මේ ඉහළ පාන්තිකයන් කියලා ඔවුන් බැහැර කරන්න බෑ. දැන් අපි හිතමු ලැම්බෝගිනි රථයකින් යන එන, සමාජ ශාලා සංස්කෘතියට නැඹුරු වෙච්ච පුද්ගලයෙක් කියලා මම මේ චිත්‍රපටයෙන් මවන්නේ. ඔවුන්ගේ ජිවිත හරි වටිනවා, ඊට එබිලා බැලිය යුතුයි කියන එක නෙවෙයි මට අවශ්‍ය. මේ සමාජයේ ඉන්න විවිධ ස්ථරවල මිනිස්සු හැම කෙනාම ප්‍රේමය නම් විෂයේදී හරිම මානුෂීයයි කියා කියන්න. මොන ඇඳුම් ඇන්දත්, මොන රථයේ ගමන් ගත්තත්, මහ පාරේ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ගියත් ප්‍රේමය, ප්‍රේමයමයි. ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ පළමු කොටසේදී ඒ තරුණයා අත් විඳින්නේ ප්‍රේ්මයේ මතුපිට ස්වභාවය පමණයි. ඒ තරුණයා, තරුණිය දුටු පමණින්ම ඇයට ආසක්ත වෙනවා. එය ආදරයට වඩා කිසියම් අනුරාගී හැඟීමක්? දැන් ඔබ යම් තරුණියක් දුටු විට මුලින්ම වසඟ වෙන්නෙ ඇගේ රුවට. ඒ කියන්නේ බාහිර ස්වරූපයට. ඉන් පසු ඒ රූපයේ තියෙන ආසක්ත බව හා හැඩතල අභිබවමින් එක්තරා අදියරක් එනකොට ඔබට ඇතුලාන්තයේ ඉන්න ඒ සැබෑ තරුණිය හමු වෙනවා. මේ නාගරික, දඟකාර, සැහැල්ලු, පරිගණක යුගයේ ජීවත්වෙන තරුණයා මුලින්ම මේ ගැහැනියට ක්ෂණිකව ආසක්ත වෙලා ඇය මත මෝහනය වෙච්ච චරිතයක් වගේ හැසිරුණාට මේ චිත්‍රපටයේ දෙවැනි කොටස තුළදී මොහු ජීවිතයේ කිසිදාක හිතන්නේ නැති අත්දැකීමකට මුහුණ දෙනවා. අර මුලින් තිබූ දඟකාර, සැහැල්ලු බව අභිබවා මොහු ඉතාම හැඟීම්බර පෙම්වතෙක් බවට පත් වෙනවා. චිත්‍රපටයේ පළමු කොටස නැරඹූ ප්‍රේක්ෂකයෙක් හැටියට මට හිතෙනවා ඉසංකාගේ ජීවිතයේ යම් ගුඪ ස්වභාවයක් තියෙනවා කියලා. ඒ රහස හෙළිදරව් වීම මත තමයි ඇගේ අනාගත ඉරණම තීරණය වන්නේ? රහස නෙවෙයි. ඒ රහස හෙළිදරව් වෙන්න කලින් යම්කිසි සුවිශේෂී සිදුවීමක් වෙනවා. මනුෂ්‍යයෙක් ජීවිතයේ වරක්වත් අත් නොවිඳින, ඒ දුර්ලභ සිදුවිමත් එක්ක තමයි මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඒ ස්ත්‍රියට පෙම් කරන්න ගන්නේ. පළමුවැනි කොටසේ අපි දකින්නේ ප්‍රේමය සහ අනුරාගය අතර දෝලනය වන හැඟීම් ජාලාවක් විතරයි. නමුත් එක්තරා අනපේක්ෂිත සිදුවීමකට පසුව තමයි ඒ සැබෑ ප්‍රේමය ඉස්මතු වෙන්නේ. ‘සින්ඩ්‍රෙල්ලා’ අවසානය දුඛාන්තයක් ද, සුඛාන්තයක්ද? ඒක මම මේ වෙලාවේ කියන්නේ නෑ. චිත්‍රපටය නරඹද්දී මට හිතුණා මේ ඉසංකා, ඉනෝකා සත්‍යාංගනී වන ඔබමද කියලා? ඉසංකාගේ යම් යම් සේයාවන් ඉනෝකා තුළ තිබෙනවා. නැතුවා නෙවෙයි. මොකද ස්ත්‍රියක් හැටියට මම හරි විවෘත කෙනෙක්. ඒ විවෘත පැත්ත වගේම මගේ ජීවිතයේ තියෙනවා මම ආරක්ෂා කරගත්ත තව පැත්තක්. වෙලාවකට මට හිතෙනවා මම හරි රැඩිකල් වගේම සාම්ප්‍රදායික ගැහැනියක් කියලා. මොකද මම ආදරය විෂයෙදි හරි පරෙස්සම්. ඒ කියන්නේ ඇතැම් විට මම මගේ ජීවිතයේ බොහෝම නිර්භය තීරණ ගත්තත් මගේ හිත අයාලේ දුවන හිතක් නෙවේ. මම එක තැනක නතර වුණාම මගේ ජීවිතයේ ඒ මත්තෙම ඉන්න ගැහැනියක්. ඉතිං ඒ ගතිය මේ චරිතය තුළත් තියෙනවා. ඒ වගේම මේ චරිතය ගොඩ නැඟීමේදී මම මනඞකල්පනය කරන දේවලුත් තියෙනවා. ඒ හැරුණාම අතිශය පෞද්ගලික අත්දැකීමකුත් මේ චරිතය හරහා නිරූපණය වෙනවා. ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ? ඔව්. ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. චිත්‍රපටයේ චරිත සඳහා ඉතාමත් නිවැරදි නළු නිළියන්ම තෝරා ගත්තා කියා ඔබට සිතෙනවාද? ඒක මම නෙවෙයි ප්‍රේක්ෂකයන් විසින් තීරණය කළ යුතු කාරණයක්. මා ගැන දන්න කියන අයට හා ප්‍රේක්ෂකයන්ට ඒ තීන්දුව ගැනීමේ අයිතිය මා පවරනවා. ‘සින්ඩ්‍රෙල්ලා’ පිළිබඳ අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවාද? ඇත්තෙන්ම මේක පොදුවේ මම හැමෝටම කියන දෙයක්. ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙක් මාව දකින්නේ ඒ ප්‍රතිරූපය හරහා. එහෙම හිතාගෙන සිනමා ශාලාවේ අසුන් ගත්තාම ඔවුන් විශාල සංස්කෘතික කම්පනයකට පත් වෙනවා. ප්‍රදර්ශනයට පෙරාතුව මේ චිත්‍රපටය නැරඹූ යම් පිරිසක් සිටියා. එවැනි තැන්වලදී අත් විඳින්නට ලැබුණු දේවල් නිසයි මම එහෙම කිව්වේ. අපේ ගොඩක් අය හිතනවා සිනමා කෘතියක් වටින්නේ එය ඉතාම බරපතල තේමාවක්, එහෙම නැත්නම් මහ විශාල අන්තර්ගතයක් ගැන ගැඹුරින් කතා කරන විටදී පමණක්ය කියලා. නමුත් සිනමාව කියන්නේ කිසියම් වූ භාෂාවක්. එතකොට අපි එහි පාවිච්චි කරන වස්තු විෂය කියන්නේ එක් අංගයක් විතරයි. අපට පුළුවන් නම් ඉතාම සරල, සැහැල්ලු විෂයක් අරගෙන මිනිස් හදවත ස්පර්ශ කරන්න, සිනමාත්මක බව මරන්නේ නැතිව, එතන අපට සිනමාව පිළිබඳ ගැටුමක් ඇති වෙන්නේ නෑ. අන්තර්ගතය කියන්නේ සිනමාවේ එක් කොටසක් පමණයි? හරියට හරි, නමුත් සිනමාවේ තියෙනවා විවිධාකාර ආඛ්‍යාන ශෛලීන්, ඉදිරිපත් කිරීමේ විලාශය ඇතුළු විශාල තාක්ෂණික ගනුදෙනුවක්. ඉතිං ඒ හින්දා මම කියන්නේ ‘සුළං කිරිල්ලී’ නරඹලා මවා ගත්ත ඉනෝකා සත්‍යංගනී කියන සිනමාකාරිය මේ චිත්‍රපටයෙන් දකින්න උත්සාහ කරන්න එපා. ඒ ප්ලග් ඒක ගලවලා, සම්පූර්ණ නිදහස් මනුෂ්‍යයෙක් විදිහට ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. ඒක තමා මේ සිනමා කෘතියත් එක්ක කරන්න පුළුවන් හොඳම ගනුදෙනුව.
|