වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සම්මානයට මා සරසවියට ණය ගැතියි

ඒ සම්මානයට මා සරසවියට ණය ගැතියි

සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්

හෙළ සිනමාව ඇගයෙන අභිමානවත් සරසවිය සම්මාන උලෙළේ අතීතය තුළ සැරි සරන ගමනේ අපට හමුවන්නේ දේශීය සිනමා වංශ කතාවේ අග්‍රගණ්‍ය සිනමාකාරිණිය යි. ඇය ගැන පවසන්නට අටුවා ටීකා කුමටද, 1960 දශකයේ සිට සිනමාව සමඟින් චාරිකාවේ යෙදෙන ඇය තම නිර්මාණ කාර්යය අභිමුව ජාතික මට්ටමෙන් පමණක් නොව ජාත්‍යන්තරයෙන්ද පිදුම් ලැබූයේ රටටද කීර්තිය ගෙනෙමිනි. හෙළයේ මහා සිනමා කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස් සරසවිය සම්මාන උලෙළේ සුවිශේෂ වන්නේ 1963 වසරේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංස්කරණයට හිමි සම්මානයට පාත්‍ර වීමෙනි. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදී තම ප්‍රථම සංස්කරණ කාර්යය අභිෂේක ලද අවස්ථාවේ මතකය ඇයහට අමරණීය වේ. එපමණක් නොව ලාංකේය සිනමා ඉතිහාසයේ කාර්මික අංශය සඳහා කාන්තාවක් සම්මාන දිනූ ප්‍රථම අවස්ථාවද මෙයයි.

“පළමුවැනි සරසවිය සම්මාන උලෙළ එදා පැවැත්වුණේ කොළඹ අශෝක සිනමා ශාලාවේදීයි. විශේෂයෙන් ප්‍රින්ස් ඔෆ් වේල්ස් වැනි පාරක් ආසන්නයේ මේ වගේ උලෙළක් පැවැත්වීම අපට පුදුමයක් වුණා. නමුත් රීගල් සිනමා ශාලාවටත් වඩා ඒ යුගයේ එමසරසවිය සම්මාන උලෙළ ඉතා සාර්ථකව පැවැත් වූවා කියා මට හිතෙනවා. ඒ වගේම නළු නිළියන්ගේ සහභාගීත්වය උනන්දුවත් අදට වඩා වැඩියි. විවෘත වාහනවල නැඟී කොළඹ වටා ගිහින් නියමාකාර උලෙළක් විදියට පළමු වැනි සරසවිය සම්මාන උලෙළ සංවිධානය කරලා තිබුණා. අනික ඒ කාලයේ අද වගේ සම්මාන උලෙළ වැහි වැහැලා තිබුණෙත් නැහැ. සම්මාන උලෙළක් කියන්නේ ඉතාම දුලබ දෙයක්. නමුත් ඉතාම ආකර්ෂණීය විදියට එය සංවිධානයකර තිබුණා. ”

එදා උලෙළට ඔබේ සූදානම කොහොමද සිදුවුණේ?

ඇත්තටම එදා නම් විශේෂිත දිනයක් වුණා. මට මතකයි එදා පළමු සරසවිය සම්මාන උලෙළට යන්න මාව මේක්අප් කළා. හැබැයි ඒ මගේ උවමනාවට නම් නෙවෙයි. මං එතකොට ගාමිණි ෆොන්සේකාගේ ‘පරසතු මල්’ චිත්‍රපටයේ උප අධ්‍යක්ෂවරියක් විදියට කටයුතු කරමින් සිටියේ. ගම්පහ පිහිටි දර්ශන තලයේ සිට තමයි මං සම්මාන උලෙළට එන්න සූදානම් වුණේ. එහි සිටි වේෂ නිරූපණ ශිල්පියාගේ උනන්දුව මත බලෙන්ම හරියට නිළියක වගේම හැඩවැඩ දාලා මාව මේක් අප් කළා. ඒ නිසා එදා මාවත් සෑහෙන්න කැපිලා පේන්න ඇති.

පළමු සම්මානයේ විශේෂත්වය ඔබට දැනුණේ කෙළෙසින්ද?

එදා මට සුවිශේෂ වන්නේ ‘ගම්පෙරළිය’ වගේ චිත්‍රපටයකට දායක වී මගේ ප්‍රථම සංස්කරණය සම්මානනීයවීමයි. අවුරුදු පනහක් ගත වුණත් අදටත් අගයන ‘ගම්පෙරළිය’ මගේ පළමු සංස්කරණ කාර්යය වෙලා සරසවිය සම්මානය හිමිවීම සරසවියටත් වඩා මට වැදගත්.

නමුත් මගේ සිනමා ජීවිතයේ ආරම්භ එය යැයි මට කියන්න බැහැ. මොකද මම ඊට පෙර ලෙස්ටර්ගේ ‘සන්දේශය’ චිත්‍රපටයේ උප අධ්‍යක්ෂවරියක් ලෙසින් කටයුතු කළා. මෙය වැදගත් වන්නේ සංස්කරණයෙන්. එය සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීම ගොඩක් සුවිශේෂයි.

වර්තමානයේ නම් සම්මාන උලෙළකට ආරාධනා ලැබෙනවිට හැම කෙනෙක්ම පාහේ සම්මාන පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින බව පේනවා. එදත් එහෙමද?

ඒක එහෙමයි කියලා මම හිතන්නේ නැහැ. ඇත්තටම මට නම් එහෙම හිතෙන්න නැතුව ඇති. නමුත් ඒ කාලයේ අද වගේ ගොඩක් ලොකු තරගකාරීත්වයක් තිබුණේ නැහැ. හැබැයි යුගයේ හැටියට හොඳ චිත්‍රපට කිහිපයක්ම පළමු උලෙළට ඇතුළත් වුණා. සම්මාන උලෙළ පිළිබඳ තිබුණේ ප්‍රබෝධයක්. එදා ඒ පැය කිහිපය හරියට සුරංගනා ලෝකයකට ගෙන ගියා වගෙයි දැනුණේ. තරුණ වියේදී පළමු සම්මානය ලැබීම ගොඩක් වැදගත්. ඒක අද ලැබුණා නම් එහි වටිනාකමක් නොවෙන්නත් පුළුවන්.

මම එංගලන්තයේ හා ප්‍රංශයේ අධ්‍යාපනය ලබාගෙන ලංකාවට ඇවිත් ‘සන්දේශය’ චිත්‍රපටයේ උප අධ්‍යක්ෂවරියක් ලෙසින් මගේ සිනමා ජීවිතයේ කටයුතු ආරම්භ කළා. ‘ගම්පෙරළිය’ හදන්න මුදල් හොයන කාර්යයටත් මම කැප වුණා. මගෙත් ඉඩම් ටිකක් විකුණලා සල්ලි දැම්මා. ඒ විදියටත් මම ඒ කටයුත්තේ කොටස්කාරියත් වුණ නිසාත් මේ අවස්ථාව මට වැදගත් වුණා.

සම්මානනීය වීම පිළිබඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසගේ සුබ පැතුම විශේෂයි?

එයත් එදා සම්මානයට පාත්‍ර වුණා. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයත් සුවිශේෂ අන්දමින් සම්මානනීය වුණා. මොන තරම් විදෙස් රටවල අධ්‍යාපනය ලැබුවත් මම කටයුතු කළේ ඔහුගේ උපදෙස් අනුවයි. ඔහුගේ චිත්‍රපටය මට උවමනා ආකාරයෙක් කපන්න අවස්ථාව ලැබුණත් ඔහුගේ රූපරාමු ඔහුට අවශ්‍ය ආකාරයෙන් නිරූපණය වන ලෙසින් සංස්කරණය කරන්න මම වගබලා ගත්තා. ඒ නිසාම ‘ගම්පෙරළිය’ සංස්කරණය කළ සෑම අවස්ථාවකදීම මම ඔහුගේ උපදෙස් අගයකොට සැළකුවා.

එසා අද වගේ නවීණ තාක්ෂණික උපකරණ තිබුණේ නැහැ. ටයිටස් කොටවත්තගේ සංස්කරණ මැදිරියේදී තමයි ‘ගම්පෙරළියේ’ සංස්කරණ කටයුතු සිදු කෙරුණේ. “මං දුන්න උපදෙස් හරි නේද? ජූරියේ අයත් ඔයා තක්සේරු කරලා තෝරා ගෙන තියෙන්නේ ඔයා කළ දේ තුළ තියෙන විශිෂ්ටත්වය නිසා” යැයි කියමින් ඔහු සුබ පැතුවා.

නමුත් සංස්කරණ කටයුත්තේදී කාන්තා දායකත්වය නොමැති තරම්?

කාන්තාවන් සංස්කරණ කටයුතු වලටදායකවීම ඉතාම විරළයි. ඉතිහාසයේ වුණත් කාන්තාවන්ගේ දායකත්වය තිබුණේම නැති තරම්. කාන්තාවක් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් තාක්ෂණික අංශයෙන් ඇයට සුදුසුම අංශය සංස්කරණය යි. එක ස්ථානයක සිට ඇයට පහසුවෙන් ඒ කාර්යය ඉටු කළ හැකියි. අව්වට කර වෙවි, වැස්සට තෙමි තෙමී, රැයක් දවාලක් නැතුව නිදිමරමින් කටුක අත්දැකීම් ලබනවාට වඩා සංස්කරණ කටයුත්තක නිරතවීම ඉතාම පහසුයි. නමුත් එදා මෙදාතුර වෘත්තීය වශයෙන් මෙරට සිනමා සංස්කරණ අංශයට කාන්තා දායකත්වය ලැබුණේ නැහැ. මමත් පසුව අධ්‍යක්ෂණයට පිවිසීමත් සමඟ සංස්කරණයෙන් දුරස් වුණා. මොකද මම මගේම නිර්මාණ සංස්කරණය කරන්න එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් සංස්කරණයෙන් සිනමා ජීවිතයට හොඳ අත්තිවාරමක් ලැබුණා.

පළමු සම්මානය ඔබේ ඉදිරි සිනමා ජීවිතයට කළේ මොන වගේ බලපෑමක්ද?

මං හිතන්නේ කාන්තාවක් මේ ක්ෂේත්‍රයේ සිටිනවා කියන එක කැපී පෙනෙන්න ඒක විශාල රුකුළක් වුණා. ඒ කාලයේ නිළියක් හෝ සහය නිළියක් ලෙසින් කාන්තාවක් සම්මානයට පාත්‍රවීම හැර කාර්මික ශිල්පිනියක ලෙසින් සම්මානයට පාත්‍ර වීම දකින්න ලැබුණේ නැහැ. ඒ වෙනුවෙන් මම සරසවියට ණය ගැතියි. මොකද කාර්මික ශිල්පිනියක් සිටින බව මහජනතාවට දැන්වූයේ පළමු සරසවිය සම්මාන උලෙළයි. ඉන් පසුව සංස්කරණයෙන් දුරස්ව මා අධ්‍යක්ෂණයට පිවිසුනත් අදටත් ඇතැම් ස්ථානවල මා හඳුන්වා දෙන්නේ සංස්කරණ ශිල්පිනියක් ලෙසින්. ඒ නිසා අධ්‍යක්ෂවරියක කියන ස්ථානය තවමත් මට නොලැබුණු බවත් හැඟෙනවා.

එදා පළමු සම්මානය හැමෝගෙම මනසට තදින්ම කාවැදීම එයට හේතුවයි. ඒවගේම එය තිස්ස රණසිංහ විසින් අපූරුවට නිර්මාණය කරලා තිබුණා. නමුත් කාලයත් සමඟ සරසවිය සම්මානයත් වෙනස් වෙලා. මොන තරම් අද ඔප වැටුණත් ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ ප්‍රතිමා ‍්‍රසම්මානයේ තිබූ සුන්දරත්වය අඩු බව නම් කියන්නම ඕනි.

කාලයක් පුරා විදෙස් අධ්‍යාපනය ලද ඔබ විදෙස් අත්දැකීම් සමඟ මෙරට සිනමා සම්මාන අත්දැකීම විඳ ගත්තේ කෙසේද?

ඒ කාලයේදී කාන් සිනමා උලෙළ හෝ ලන්ඩන් සිනමා උලෙළ දකින අවස්ථාවලදී මටත් සම්මාන උලෙළක සම්මානනීය වෙන්න අහසක් පහළ වෙන්නත් ඇති. ඉතිං මේ සම්මාන උලෙළ ගොඩක් වැදගත් වුණා. ඒ සිහිනය සැබෑ වුණේ සරසවිය සම්මාන උලෙළෙන්. ඒ වගේම අපට එය වැදගත් වන්නේ අපේකම තියෙන නිසා. අපේ අය අතරේ ඔවුන්ගේ අත්පොළසන් නද මැද සම්මානයක් ලැබීම විශේෂයි. ඒක හිතට දැනෙන ප්‍රමාණය වැඩියි. මගේ දක්ෂතාවය ඔවුන් අතරේ තහවුරුවීම ගොඩක් වැදගත්. පිටරටදී සම්මාන ලැබුණත් ප්‍රසිද්ධිය ලැබුණත් අපේ රටේදී ලැබෙන පුද්ගලික ආත්ම ගෞරවය තවදුරටත් තහවුරු වෙන්නේ නැහැ. නාඳුනන අය ලක්ෂ ගණනක් අතරේ සම්මාන දිනනවාට වඩා පොඩි රටත් වුණත් අපේම අය අතරේදී සම්මාන ලැබීම විශාල අභිමානයක්.

1980 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළත් ඔබේ සිනමා දිිවියේ එවැනි සුවිශේෂ අවස්ථාවක්?

ඇත්තටම 1980 සරසවිය සම්මාන උලෙළේදී මම අධ්‍යක්ෂණය කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටයට සම්මාන 9ක් හිමි වුණා. ඒක මගේ ජීවිතයේ විශේෂිත දවසක්. අපෙන් වෙන් වූ ටෝනි රණසිංහ ඒ කාලයේ මේ ගැන අපූරු කතාවක් කියනවා. “හැම සම්මානයම ‘ගඟ අද්දරට’ දීලා හරියන්නේ නැහැ කියලා හිතලා අඩු ගානේ හොඳම නළුවාගේ චරිතයටවත් වෙනසක් කරන්න ගිහින් අන්තිමේදී මගේ සම්මානය තමයි නැති වුණේ” කියලා විහිළු කරනවා. ඕනෑම නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණයක් ඇගයෙන විට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අපහසුයි.