වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඩග්ලස් රණසිංහ මගේ ගුරුවරයා විය

ඩග්ලස් රණසිංහ මගේ ගුරුවරයා විය

'හෙට උදේ අපි පොඩි ගමනක් යමුද? හොඳ චරිතයක් අඳුන්වලා දෙන්නම්' කිංස්ලි දිසානායක මට කීවේය.

'කවුද?'

'ගිහිල්ලා අඳුන්නලා දීලාම කියන්නම්'

අපි පහුවෙනිදා බම්බලපිටියේ ග්ලේන් ආබර් පෙදෙසේ 'සිංහල ජාතිය' පුවත්පත් කාර්යාලයට ගියෙමු. එහි එක අංශයක 'සිංහල මහජන පක්ෂය' නම් ආර්. ජී. සේනානායක මහතාගේ අලුත් දේශපාලන පක්ෂයේ කාර්යාලය ද විය. සේනානායක මහතා අලුත් පක්ෂය පිහිටුවා 'සිංහල ජාතිය' පත්‍රයේ අයිතිය අත්පත් කරගෙන එහි ප්‍රධාන කර්තෘ ලෙස ප්‍රකට කවියකු වූ පී. මලල්ගොඩ මහතා තෝරා ගෙන තිබුණි. පාසල් යන කාලයේ සිටම ඔහු ගැන මා අසා තිබුණි. ආන්දෝලනාත්මක 'ලේ සලකුණ' හා 'වේදිකාව' නම් කවි පොත් කියවා තිබූ මට 'මලල්ගොඩ' නම වඩාත් මතක බණ්ඩාරනායක නඩුවේ ඔහු නීතිඥයන් නොමඟ යවමින් කළ හාස්‍යජනක ප්‍රකාශ 'දිනමිණ' පත්‍රයෙන් කියවීම නිසාය.

'මෙන්න මම කිව්ව මිනිහා' කිංස්ලි මට මලල්ගොඩ හඳුන්වා දෙමින් කිවේය.

'මූ පොඩි එකෙක් නේ' මලල්ගොඩ මා දෙස බලමින් කීවේය.

'මට කිංස්ලි අයියා ඔබතුමා ගැන ගොඩාක් දේ කිව්වා'

'හොඳක් කියන්න නම් නෑ. මා ගාව හොඳක් නැති නිසා . . .' ඔහු සිනසෙමින් කියමින් නැගිට්ටේය.

ජාතික ඇඳුමක් ඇඳි ඔහුගේ බැනියම දනිස්සටත් පහළ තෙක් වැටී ඇත.

'අපි යමු, සේනානායක මහතා හම්බවෙන්න' කියා ඔහු මාවත්, කිංස්ලිවත් කාමරයකට කැටුව ගියේය.

'අපි යන්නේ ආර්. ජී. සේනානායක මහත්තයා හම්බ වෙන්න. අහල තියෙනවද උන්නැහේ ගැන' මගේ සාමාන්‍ය දැනිම දැනගන්නා රිසියෙන් දෝ මලල්ගොඩ මහතා ඇසීය.

'මොකද නැත්තේ. එතුමා ජාතික වීරයෙකු වූ ඇෆ්. ආර්. සේනානායක මහත්තයාගේ පුතා. ලංකා පාර්ලිමේන්තුවේ එතෙක් මෙතෙක් අපරාජිත මන්ත්‍රීවරයෙක්. ඇමැතිවරයෙක් . . .'

'ඇති, හොඳටෝම ඇති'

කාමරයක් තුළ විශාල මේසයක දිනපතා පුවත්පත් දිග ඇරගෙන කියවමින් සිටි මහා කළු සිංහලයා ප්‍රතාපවත් ලෙස විරාජමානව සිටී.

ආර්. ජී. මැතිතුමා ජීවමානව එදා දුටු මට දඹදෙණිය ආසනය මතක් විය. ඔහු දඹදෙණියේ රජ්ජුරුවෝය. මලල්ගොඩ මහතා මා ගැන රෙකමාදාරුවක් දුන්නේය.

'මෙයා සිනමාව ගැන උනන්දු ළමයෙක්. 'දවස'ටත් ලියනවා'

'මලල්ගොඩට හොඳ නං එච්චරයි. අපි තරුණ පරපුරට උදව් කරන්න ඕනෑ. අපි පුංචි ගෙවීමක් කරන්නම්'

'සල්ලි එපා මහත්තයා. මට ලියන්න ලැබුණොත් ඇති'

මම දෑත් එක්කොට 'ආයුබෝවන්' කියා මලල්ගොඩගේ කාමරයට ගියෙමි.

'හොඳයි දැන් කාරණේ පැහැදිලිනේ. ඔයා සතිපතා සිංහල ජාතියට ලියන්න. සිනමා පිටුව ඔබට බාරයි. ඉස්සෙල්ලාම කවුරු ගැන ද ලියන්නේ'

'මහත්තයා, සිංහල සිනමාව ගැන අලුත්ම ආරංචිය තමයි සුගතපාල සෙනරත් යාපාගේ 'මිනිසා සහ කපුටා' කෙටි චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මානයක් ලැබීම්' මම කීවෙමි.

'මම දන්නවා සුගත්ව' මලල්ගොඩ කීය.

කිංස්ලි ද එය අනුමත කළේ සුගත්, එල්. එම්. පෙරේරා හා මූ. අරුක්ගොඩ තම උපන් ගම වූ රක්වාන අසල උපන් කලාකරුවන් වීම නිසාය.

පසුදා සුගත් අයියා හමු වී සම්මුඛ සාකච්ඡාවක් කොට චිත්‍රපටයේ පින්තූරත් සමඟ මම මලල්්ගොඩට භාර දුනිමි. ඔහු ලිපිය දිගටම කියවාගෙන ගොස් රතු පෑනක් ගෙන 'ලංකාවට කීර්තිය ගෙනා පුංචි මිනිසා' යයි හෙඩිම දැම්මේය. එතැන් පටන් මම සතිපතා සිනමා පිටුවට අවශ්‍ය ලිපියක් හා පින්තූර සැපයුවෙමි.

'සිංහල ජාතිය' පත්‍රයේ සුගතපාල සෙනරත් යාපා ගැන ලියූ ලිපිය පිටුවක් පුරා පළ වී තිබුණි.

'මල්ලියෝ උඹේ ලිපිය කියෙව්වා. මේ වගේ දේවලින් අපිට කොච්චර අනුප්‍රාණයක් ලැබෙනවාද?' සුගත් අයියා කිවේ 'විසිතුර' පත්‍රයේ දී හමු වූ අවස්ථාවකය.

'සිංහල ජාතිය' පත්‍රයත් මිනිස්සු කියවන බව එදා මට වැටහිණි. එයට ප්‍රමුඛ හේතුව වූයේ මලල්ගොඩගේ ප්‍රබල කතුවැකි, කවියෙන් ලියූ දේශපාලන විචාරය.

'සිංහල ජාතිය' පුවත්පතේ සිටි එකම උප කතුවරයා වූයේ සමන් චන්ද්‍රනාත් වීරසිංහය (හිටපු ලංකාදීප - දිනමිණ - ජනතා නියෝජ්‍ය කර්තෘ, ගීත රචක) සමන් අප එකල 'රසවාහිනී' සඟරාවෙන් කුතුහලයෙන් කිය වූ යුද බිමක අත්දැකීම් ලියූ පත්‍රකාලවේදියකු වූ විමල් වීරසිංහගේ පුත්‍රයෙකි. මට ඔහු අසලින් මේසයක් හා පුටුවක් ලැබිණ. එය ස්ථිර පත්වීමක් නොවීය.

මේ අතර ගුවන් විදුලි සංස්ථාවට ක්‍රියාකාරී සහායකවරු බඳවා ගන්නා දැන්වීමක් පළ වී තිබුණි. මම ද ඉල්ලුම්පතක් යැව්වෙමි. සාහිත්‍යයට, කලාවට ළැදි 'ශ්‍රවණය' ගැන අවබෝධයක් ඇති අයට වැඩි ඉඩකඩක් ඇති බව ආරංචි විය. සම්මුඛ පරික්ෂණය දින අද නම ගිය කවියන්, ලේඛකයන්, ගායක ගායිකාවෝද ඉදිරිපත් වී සිටියහ. පරීක්ෂණ මණ්ඩලයේ සිටියේ තේවිස් ගුරුගේ, එච්. එම්. ගුණසේකර හා නන්දා ජයමාන්න මහත්ම මහත්මීන්ය.

මට දෙවන වටයට තේරීමේ වාසනාව ලැබිණ. මට මතක හැටියට පසුව ශබ්ද පරිපාලනයේ විශිෂ්ටයන් වූ තරුණ නිලධාරීන් රැිසක් මා සමඟ සිටියෝය. ඒ අතරින් සුප්‍රකට ගායිකා සුජාතා අත්තනායක පමණි මා දැන සිටියේ. සුජාතා අක්කාත්, චිත්‍රා නම් රූමත් තරුණිය ද මා ද හැම විටම පුහුණුවිම්වල එකට ගියෙමු. අපි හොඳම මිත්‍රයන් වීමු. සරල ගී වැඩසටහනක් පටිගත කරන සැටි, ගුවන් විදුලි නාට්‍යයක් පටිගත කරන හැටි අපිට පුහුණුවක් ලැබිණ. අපේ ගුරුවරුන් වූවේ එකල ලංකා ගුවන් විදුලියේ ප්‍රවිණ ශබ්ද පරිපාලන නිලධාරින් වූ ඩග්ලස් රණසිංහ, යූ. ආරියවිමල්, දයා තෙන්නකෝන්, රංජිත් එදිරිසිංහ. (සරල ගී පටිගත කිරීමේ ප්‍රවීණයා වූ අකාලයේ මිය ගියේය).

මගේ හොඳම මිතුරා වූ ඩග්ලස් ගුරු මුෂ්ටියක් නොතබා අපට සියලු ශිල්ප අපට ලබා දුන්නේය. එපමණක් නොව අප තිදෙනා කැන්ටිමට ගියේ ද එකටය. තේ බීම ද දවල්ට ආහාර ගත්තේ ද එකටය. සුජාතා අක්කාට අප සැලකුවේ අපේම අක්කා කෙනෙකු මෙන් ගෞරව ආදරයෙනි.

මගේ ප්‍රියතම ගායකයකු වූ ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ සරල ගී වැඩ සටහනක් ද මුවන්පැලැස්ස නාට්‍යයක් ද තනිවම පටිගත කිරිමේ දුර්ලභ වාසනාව මට ලැබිණ. මේ හැමවිටම ඩග්ලස් මගේ ගුරුවරයා ලෙස මා අසලම සිටියේය. මේ පුහුණුවේ ඊළඟ පියවර වූයේ වෙළඳ සේවයේ වෙළඳ දැන්වීම් සමඟම ගීත වාදනය කිරීමය. එය මට කොහොමවත් නොගැළපෙන මනසට වධ දෙන එකක් විය. හසන් නම් ශබ්ද පරිපාලකයා යටතේ මා ඒවා ගැන පුහුණුවක් ලැබුව ද එය අල්ලා ගැනීම මට දුෂ්කර විය. මේ නිසා වෙළෙඳ දැන්වීම් දෙකක් එකවර වාදනය කිරීම නිසා මට දඩ නියම විය.

'මට මේ වැඩේ අල්ල ගන්න බෑ. ඒ නිසා මම අයින් වෙනවා' මම ඩග්ලස්ට කීවෙමි.

'මටත් අල්ලන්නේ නෑ. අපි සංවේදීව කඩිමුඩියේ ඔහොම වෙළඳ සේවයේ වැඩ කරන්න අමාරුයි' සුජාතා ද කීවාය.

මාත්, සුජාතාත් ඉවත් වූවත් අපේ අනික් හිතවතිය චිත්‍රා නම් වැඩේ අල්ලා ගත්තාය.

මේ අතර ඉතුරු වූ කාලයේ 'කලා' සඟරාවට ලිවීමට මම කැපවීමි. 'කලා'වට එකල ලියූ ලේඛකයන් වූ සිරි කහවල, අර්නස්ට් වඩුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, දයා ආනන්ද රණසිංහ, සුනිල් හොරේෂස්, රේමන්ඩ් සිල්වා, සුනිල් සමරකෝන්, විමල් ජයසිරි, විමල් තිලකරත්න, උපාලි කුරුප්පු, ජගත් කුමාරසිංහ සිනමාස් සමාගමේ හමු වූ මගේ සමකාලීන මිතුරන්ය. ඔවුන් තුළ තිබුණේ නිහාතමානී හා සහෝදරත්වයේ හැඟීම්ය.

මේ අතර දයා ආනන්ද රණසිංහ 'දර්ශන' නමින් පුංචි ප්‍රමාණයේ සඟරාවක් සංස්කරණය කළේය. මේ සඟරාවට 'විසිතුර'ට හා 'කලා'වට ලියූ සිනමා ලේඛකයන් වූ අපට ද ලිවීමට දයා ආනන්ද ආරාධනා කළේය. මම එයට ලිපි ලිව්වා පමණක් නොව එයට අවශ්‍ය බ්ලොක්ස් හැකි පමණ ලබා දීමට උත්සාහ කළෙමි. කවියෙකු වූ දයා ආනන්ද කාගේත් හිත දිනා ගත් කාටත් උදව් කළ හිත හොඳ තරුණයෙකි. ඔහු අද එංගලන්තයේදී 'ලංකා විත්ති' නමින් පුවත්පතක් සංස්කරණය කරන අතර 'රූප කාව්‍ය' නමින් පද්‍ය සංග්‍රහයක් ද පසුගිය වසරේ නිකුත් කළේය.

සිරි කහවල අපේ සමීපතම මිතුරෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි ගෞරව උපාධිධාරියෙකු වූ ඔහු කලක් එහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. හැම විටම අනුන්ට උදව් කරන සිරි, සතු අගනා පුස්තකාලයෙන් මට අපමණ සහාය ලැබිණ. සෑම කලාකරුවකුටම, කලාකාරිනියකටම උපන් දිනයට සුභපතන ඔහු ඒ සඳහා තම අතින් වියදම් දරයි. එහෙත් ඔහුගේ තරම ඔහුට නොතේරේ. ඔහු එකල 'සරසවිය'ට 'කලා'වට ලියූ හින්දි ලිපි මෙන්ම විශේෂයෙන් 'සරසවිය'ට 'ගොළු හදවත' චිත්‍රපටය ගැන එම දර්ශන තලයේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ සිට ලියූ විශේෂාංග ලිපි එකල මම පාසල් යන කාලයේ තලු මර මරා කියවීමි. කවිත්වයත්, ලේඛන ශෛලියත් ඇති ඔහු ඉන් වැඩ නොගන්නේ මන්දැයි මට නම් විමතියකි. කෙසේ වෙතත් ඔහු උපන් දිනයකදී කෙනෙකුට සුභ පැතීමට ටෙලිෆෝනයෙන් හෝ පෝස්ට් කාඩ් යවා ඔවුන්ට ජීවය දීම පින් සිදුවන ක්‍රියාවකි.

එකල 'විසිතුර'ට අපූරු විශේෂාංග යාළුවන් එක් වී සිටියහ. නිව්ටන් ගුණසේකර, ඩී. බී. වර්ණසිරි, ජගත් කුමාරසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, ඩී. කිරගලආරච්චි, බන්දුල පද්මකුමාර, කුමුදු කුසුම් කුමාර, ගුණපාල මල්ලිකාරච්චි, දයාරත්න රටගෙදර, රොඩ්නි විදානපතිරණ, ඩබ්ලිව්. කේ. ඩී. නවරත්න, කුලරත්න ආරියවංශ, ඒ. ජේ. ද සොයිසා, සෑම් පෙරේරා, හෙන්රි ප්‍රිය ශාන්ත මෙන්ඩිස්, සත්‍යජිත් මාපිටිය, වින්සන්ට් පෙරියප්පෙරුම, අනුර සොලමන්ස් මා ද මේ පිරිසය. ඔවුන් එකට එකක් ගොනු කළ මාලයක් වැනිය. මේ අතින් මේ පිරිස සමඟ සිටීමත් කෙතරම් සතුටක්ද?

'නිම්වළල්ල' චිත්‍රපටයේ වැඩ කටයුතු ලහි ලහියේ නිමා වෙමින් තිබිණ. ගාමිණී විජේතුංගගේ නව සංකල්ප මත එම නිර්මාණාත්මක ප්‍රචාරක ශීර්ෂ පාඨ බිහි විය. එය එදා සම්මතයට එරෙහිව නවමු මුහුණුවරක් ගත්තේය. ගාමිණී හා මා 'ළමා මණ්ඩපය' සහ 'යෞවන සමාජයේ' ගුවන් විදුලි වැඩසටහන් අවසන්ව මළ හිරු බැස යන තුරු ගෝල්ෆේස් පිටියේ ඇවිදිමින් ද වරෙක බේරේක් වෝටර් (දිය කඩනය) ළඟ පඩියක වාඩි වී සාහිත්‍ය, කලාව ගැන නොයෙක් දේ කතා කළෙමු. ඇතැම් රාත්‍රිය ඔහු අපේ නිවසේ ගත කරයි. රෑ තිස්සේ මගේ පොත් රාක්කය අවුස්සයි. රස වැටුණු පොතක් හමු වුණෝතින් නිදි මරමින් එය කියවයි. මධ්‍යම රාත්‍රියේ මා අවදි වී බලන විට ද ඔහු කියවයි.

'ඔන්න ඕක බලන එක හෙටට තියලා නිදා ගනිං' මා කියන්නේ මගේ ඇසට විදුලි බුබුලු එළිය වැටෙන නිසාය.

'මේක හරි ඉන්ටර්රෙස්ටින් පොතක් බං. මේක මම හෙට ගෙනි යනවා' ගාමිණී කියයි.

රාත්‍රියේ ඔහු ලියන ඇතැම් කවි සංකල්පනා මගේ මේසය මත තබා යන්නේ එහි රස විඳීමට මට ඉඩහසර සළසාය.

'මචං මේක හොඳ ගීත රචනයක්නේ. මම මේක කේමදාස මාස්ටර්ට දෙනවා' මම කියමි.

'අනේ මන්දා ඕක හරියට ලියවිලා නෑ' ඔහු කම්මැළි ගතියෙන් කියයි.

ගාමිණී අකාලයේ මිය ගිය අපේ පරපුරේ ඉදිරියෙන් සිටි නිර්මාණාත්මක ලේඛකයෙකි. පරිවර්තකයෙකි. 'දෙසතිය' සඟරාව සංස්කරණය කළ සමයේ ඔහුගේ මේ ප්‍රතිභාව අගේට ප්‍රකට විය.