වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




රස පෙම් හැඟුම් මා ළඟ තබා ඔබ කොහිද යන්නේ පා වෙලා

රස පෙම් හැඟුම් මා ළඟ තබා ඔබ කොහිද යන්නේ පා වෙලා

1932-2015

හරූන් ලන්ත්‍රා මුලින්ම මට මුණ ගැසුණේ මින් විසි එක් වසරකට පෙරය. ඒ මා ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මහතාගේ 'රස' නිවසේ සේවය කළ අවධියයි. ඒ හමුවීමෙන් පසු 1994 සැප්තැම්බර් 'සුමියුරු' කලාපයට මම පිටු දෙකක් පුරාවට ඔහු පිළිබඳ විශේෂාංග ලිපියක් ලියූවෙමි.

ඉන් වසර කිහිපයකට පසු මට යළිත් හරූන් ලන්ත්‍රා මුණ ගැසුණේ වේයන්ගොඩ, කීනවල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදීය. එකී සංගීත ප්‍රසංගයේ ගායක, ගායිකාවන් කිහිප දෙනෙකු සම්බන්ධීකරණය කළේ අපේ හිතවත් ටෙනිසන් එදිරිසිංහය.

ප්‍රසංගය අතරවාරයේ අසල නිවෙසක මධු සාදයක් පැවැත්වෙමින් තිබිණි. ටෙනීගේ ආරාධනයෙන් මමත්, රෝහණ ධර්මකීර්ති හා තවත් මිතුරන් දෙදෙනකුත් එම නිවසට ගොඩ වැදුණේ මධුවිතක රස බැලීම සඳහාය. ඒ වන විටත් හරූන් ලන්ත්‍රා ඇතුළු කිහිප දෙනකු 'ආපු වැඩේ' ආරම්භ කර තිබුණි.

ප්‍රසංගයේ ගී ගැයූ ගායක, ගායිකාවෝ ආපසු නිවෙස් බලා යද්දී හරූන් ලන්ත්‍රා වේදිකාවෙන් බැස යළි අර මධු සාදයට එක් වූයේ අපගේ ද ඉල්ලීම මතය. සාදය අතරතුර වරින් වර ලන්ත්‍රා සිය මියුරු ගායනයෙන් අප රසවත් කළේ එකිනෙකාගේ ඉල්ලීම් නොපැකිලව ඉටු කරමිනි. සියල්ල එසේ සිදු වෙද්දී ඔහුගේ බිරිය ද සියල්ල ඉවසා වදාරමින් එහි රැඳී සිටියේ ලන්ත්‍රාට තිබූ අපිරිමිත සෙනෙහස අපට පසක් කර දෙමිනි.

මේ වන විට හරූන් ලන්ත්‍රා ගේ අවසන් සුසුම් පොද වාතලයට එක්ව අවසන්ය. ඔහු මිය ගිය පුවත ඇසූ විගසින්ම මට සිහිිපත් වූයේ පෙර කී සිදුවීම් මාලාවය.

හරූන් ලන්ත්‍රා යනු අප රටේ බිහි වූ සුවිශේෂී ගායන ශිල්පියෙකි. ඔහුගේ ගායන මාධූර්යය අප දෙසවනට එක් කරන්නේ ස්නිග්ධ වින්දනයකි. ඉතාමත් නිවැරදි ස්වරස්්ථාන මත කිමිදෙමින් ඔහු ගයන විට හදවතට පවන් සලන්නාක් මෙනි. රතන් ජංකර් විසින් සිදු කළ ගුවන් විදුලි සරල ගී ශිල්පීන් වර්ගීකරණ පරීක්ෂණයෙන් හරූන් ලන්ත්‍රා 'ඒ' ශ්‍රේ‍්‍රණියේ ගායන ශිල්පියකු ලෙස සමත් වූයේය. එහිදී රතන් ජංකර්, හරූන් ලන්ත්‍රා හඳුන්වා දී ඇත්තේ 'ආසියාවේ ස්වර්ණමය හඬක් සතු ගායකයා' ලෙසිනි. භාරතයේ මහා ගායකයා වූ මොහමඩ් රාෆි ද හරූන් ලන්ත්‍රාගේ රසිකයකු බැව් වරක් ඔහු විසින්ම පවසා ඇත. අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රියතම ගායකයා වූයේ ද ලන්ත්‍රාමය. එය ජෝති විසින් අවස්ථා කිහිපයකදීම පුන පුනා ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ තලාද් මෙහෙමුද් යනුවෙන් කලක් ඔහු හඳුන්වනු ලැබුවේ ඒ හා සමාන හඬක් හා ගායන විලාසයක් ලන්ත්‍රා සතුව තිබූ නිසාවෙනි. ප්‍රබල, ජවසම්පන්න හඬක් නොව ඔහුට පිහිටා තිබුණේ සංවේදී, ළයාන්විත හඬකි. කිසියම් අනුරාගී ස්වභාවයක් ද ඒ හඬෙහි ගැබ්ව ඇතැයි මට සිතේ.

චිත්‍රපට පසුබිම් ගායනයේදී ලන්ත්‍රාගේ හඬ එකල බහුලව යොදා ගැනිණ. ඔහු පසුබිම් ගායනයට පිවිසියේ 1953 වසරේ තිරගත වූ 'ප්‍රේම තරඟය' චිත්‍රපටයට ගැයූ 'මේ ලෝකේ වාසී සතුන්ගේ හීනේ' ගීතය සමඟිනි. ඉන් පසු පොඩි පුතා, මා ආලය කළ තරුණිය, හිතට හිත, රන් රස, සුදු දුව, දේව සුන්දරී, ගොපළු හඬ, සැනසුම කොතැනද වැනි රැසකටම ලන්ත්‍රා සිය මියුරු හඬ මුසු කළේය.

'මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැඟී එහි පාවෙවී
අමනාපයෙන් පිට වී ගියා'

 

'ගොපළු හඬ චිත්‍රපටයට ලන්ත්‍රා ගැයූ ඒ ගීතය ජනප්‍රියත්වයේ ඉහළම තලයට ඔහු රැගෙන ආවේ එක රැයකිනි. දේශීය සිනමා සංගීතයේ විප්ලවීය වෙනසක් සිදු කළ චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙන 'සැනසුම කොතැනද' චිත්‍රපටයට ලන්ත්‍රා ගැයූ පහත සඳහන් ගීය ද එවැන්නකි.

'සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර ලෝකෙට පාර හොයාගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ . . .'

 

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් 'සැනසුම කොතැනද' චිත්‍රපටයට ලන්ත්‍රාගේ හඬ යොදා ගත්තේ වඩාත් සුඛනම්‍ය අයුරිනි. හින්දි අනුකාරක රැල්ලෙන් මිදී ලන්ත්‍රාට ස්වීය අනන්‍යතාව පිළිබිඹු කරන්නට හැකි වූ විශිෂ්ට ගායනයක් ලෙස එය අද ද සම්භාවනාවට පාත්‍ර වේ.

කලක 'සුළං කුරුල්ලා' යන ආදරබර නාමය ප්‍රසංග වේදිකාවේ ඔහුට පටබැඳී තිබුණි. සැබැවින්ම එකී නමටම ගැළපෙන පරිදි ඔහු ගත කළේ සරල සැහැල්ලු දිවි පෙවතකි. ඔහු හරි හම්බ කළ දෙයක් නැත. සිය බිරිය සමඟ අවසාන කාලයේ ඔහු වාසය කළේ කැළණිය පොල්හේන ප්‍රදේශයේ නිවෙසකය. එම නිවෙස ඔවුන්ට ලබාදීමට මැදිහත් වූයේ ප්‍රවීණ නළු සනත් ගුණතිලකය.

1932 සැප්තැම්බර් 02 වැනිදා මරදාන, මාළිගාකන්ද ප්‍රදේශයේ මැලේ ජාතික පවුලක ඔහු උපත ලබන්නේ සොයුරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙසය. මරදාන සහිරා, දෙමටගොඩ සාන්ත ජෝන් හා ලෝරන්ස් විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ හරූන් කිසි දිනෙක ගායනය හැර වෙනත් වෘත්තියක නියැළී නැත. ජේ. ඒ. පොඩි අප්පුහාමි යටතේ තබ්ලා වාදනය හදාරා ඇති ලන්ත්‍රා එස්. ඩී. එස්. ජයසේකර යටතේ වසර දෙකක් ශාස්ත්‍රීය ගායනය ද ප්‍රගුණ කර තිබේ. හංසරාණී, චන්ද්‍රයා පායා, හද මල් පඳුරේ, පිරුණා හද, මැව්වාද කවුරු ප්‍රේමේ, සමන් ගිරෙන් පායා, රත්තරං කූඩුවේ, සාගරේ සිහිලැල්, ආනන්ද මේ රෑ, කිරි මූද කැලඹීලා, හඳපානේ මල් පිපුණා වැනි හරූන් ලන්ත්‍රා ගැයූ ගී පරම්පරා කිහිපයක රසිකයන් ගේ මතකයේ රැඳී ඇති වග නිසැකය. ලන්ත්‍රාගේ ගී අතර වැඩ්පුරම ඇත්තේ යුග ගීය. ඒ ගී වැඩි හරියක ඔහුගේ සහාය ගායිකාව වූයේ සුජාතා අත්තනායකය.

හරූන් ලන්ත්‍රා පිළිබඳ තවත් සංවේදී කතාවක් මට සිහිපත් වේ. එයද මගේ අත්දැකීමකි. ඔහුගේ 81 වැනි උපන් දිනය නිමිත්තෙන් මා මිත්‍ර මාධ්‍යවේදී රමේෂ් උවයිස් ඇතුළු මාධ්‍ය සගයන් එකතුව හරූන් ලන්ත්‍රා උපහාර ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබුණේ ‘හංසරාණී’ ලන්ත්‍රා ගී මාත්‍රා නමිනි. ලන්ත්‍රා එදා ගැයූ අතිශය ජනපි‍්‍රය ගී එකතුවක් රමේෂ් උවයිස්, සඳුන් ගමගේ, සමන් පි‍්‍රයංකර නම්මුනිගේ හා මවිසින් ගැයීමට නියමිතව තිබුණි. හරියටම ඔහුගේ 81 වැනි උපන් දිනය යෙදී තිබුණ 2013 සැප්තැම්බර් 02 වැනිදා මරදාන ටවර් රඟහලේ එම ගී ප්‍රසංගය පැවැත්වුණේ කලාකරුවන් හා හරූන් ලන්ත්‍රාගේ රසික, රසිකාවන් ගේ සහභාගීත්වයෙනි.

ප්‍රසංගය අතර වාරයේ හරූන් ලන්ත්‍රා හට සොබා දහමේ ආමන්ත්‍රණයකට උත්තර දීමේ අවශ්‍යතාවක් මතුවිණි. ඇවිදීමට තරමක් අපහසුවෙන් සිටි ඔහු දෙපසින් අල්ලාගෙන එකී කාර්යය සඳහා කැටුව ආවේ අජිත් අලහකෝන්, පි‍්‍රයන්ත කොඩිප්පිලි හා සඳුන් ගමගේය. කාරිය අහවර වී නැවත් ඔහු අසුන් ගන්වන්නට යන අවස්ථාවේ පසෙකට වී දුම්වැටියක් උරමින් සිටි මා හට ඔවුන් මුහුණට මුහුණලා මුණ ගැසිණ. හදිසියේම දුම්වැටියක ආශ්වාදය විඳීමට හරූන් ලන්ත්‍රාට සිතින. මම දුම්වැටියක් පිරි නැමුවෙමි. එය දල්වාගෙන දුම් රොටු කිහිපයක් මුවින් පිට කළ හරූන් ලන්ත්‍රා පැවසුවේ මෙවැන්නකි. ඒ ඉතා අපහසුවෙනි.

කාලක් තිබුණා නම් මරු...

ගායකයකු හට කටහඬ අහිමි වීම සමාන කළ හැක්කේ වෙන කුමන කාරණයකටදැයි මම නොදනිමි. එහෙත් ඔහු අපහසුවෙන් තතනමින් කළ ඉල්ලීම එයයි.

එදා හරූන් ලන්ත්‍රාට දහසින් බැඳි පියළි මෙන්ම රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු තවත් ත්‍යාගයන් රැසක් ලැබිණ. එහෙත් ඒ සියල්ලටම වඩා ඔහු කියූ අර කාල තිබුණා නම් ඔහුට වැඩියෙන් වටිනා වග මම දනිමි. ඒ හරූන් ලන්ත්‍රා සරල සොඳුරු අව්‍යාජ මිනිසකු නිසාවෙනි. සමහර විට ශාලිමාර් අවන්හලේ මිතුරු කැල පිරිවරා මධුවිතක පහස ලැබූ ඒ අතීතය ඔහුට මතක් වුණා විය හැකිය.

දැන් ඔහු ඒ අතීතයට, වර්තමානයට මෙන්ම අනාගතයටද සමු දී ඇත. සුළං කුරුල්ලෙක් සේ නුබ ගැබෙහි නිදහසේ පාවී ඈතට ඇදී යන ඔහු ගේ රුව මට පෙනී නොපෙනී යයි. සුළං කුරුල්ලාගේ මල් සුවඳ නැහැපුඬු තෙරපමින් මා හදපත්ලටම කිඳා බසියි.